ශ්‍රී ලාංකිකයින් අවතැන් කළ නයිරෝබියේ ‘අෆ්‍රිඩි’ සුළි කුණාටුව

192

1996 ඔක්තෝබර් 4 වැනිදා කෙන්යාවේ නයිරෝබි නුවර හරහා චණ්ඩ මාරුතයක් හමා ගියේය. පෙර දැනුම් දීමකින් තොරව හමා ආ ෂහීඩ් අෆ්‍රිඩි නම් ඒ සුළි කුණාටුව ශ්‍රී ලාංකික අප සතු වටිනාම වස්තුවක් අපට අහිමි කර තිබුණි.

ඊට හරියටම මාස පහකට පෙර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවා සිංගප්පූරුවේ පැඩෑං ක්‍රීඩාංගණය දෙවනත් කරමින් පාකිස්තානයට එරෙහිව එක්දින ජාත්‍යන්තර තරග ක්‍රීඩාවේ වේගවත්ම ශතකය තමා නමින් හිමි කරගෙන තිබුණි.

මුතු ඇටය හා බැංකු ලිපිකරුවා

ශ්‍රී ලංකාව අතීතයේ ප්‍රසිද්ධව සිටියේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් ය. (The Pearl of Indian Ocean) එතරම් පිළිගැනීමක් හා වටිනාකමක්…

නමුත් එදා ෂහීඩ් අෆ්‍රිඩි නම් යෞවනයාගේ පිත්තේ සැර කෙසේ ද යත් මාස පහකට පෙර තමන් තැබූ වාර්තාව තමා ඉදිරිපිටම අහිමි වන ආකාරය දකිනවා හැර වෙනත් විකල්පයක් සනත් ජයසූරියට තිබුණේ නැත.

ෂහීඩ් අෆ්‍රිඩිගේ වීර වික්‍රමයෙන් බොහෝ කලකට පසු එවකට පාකිස්තානු කණ්ඩායමේ නායකත්වය දරමින් සිටි වසීම් අක්‍රම් අෆ්‍රිඩ් නම් හිතුවක්කාරයා නයිරෝබි නුවර කලඹන්නට පෙර තිරයෙන් පිටුපස කතන්දරය ලෝකය හමුවේ හෙළි කළේය.

අනෙක් හැම අහඹු, විශිෂ්ට ඝනයේ සොයා ගැනීමක් මෙන්ම ඔහු පැමිණියේත් කණ්ඩායමේ තිබූ අවශ්‍යතාවයක් මත.

1996 වසරේ අප කෙන්යාවේ සිව්කොන් තරගාවලියකට සහභාගී වෙමින් සිටියේ. අවාසනාවක මහත අප සතුව සිටි මුෂ්ටාක් අහමඩ් නම් විශිෂ්ට ඝනයේ පා දඟපන්දු යවන්නා ආබාධයකට ලක්වුණා. අප්‍රිකානු දේශයේ පා දඟපන්දු කරුවෙකු නොමැතිව අසරණ වී සිටි මොහොතක කෙසඟ සිරුරකින් යුත් උස් තරුණයෙක් එවනු ලැබ තිබුණා. අප කිසිවෙකු මින් පෙර ඔහු ගැන වචනයක් හෝ අසා තිබුණේ නැහැ.

තේරීම් කමිටුව ඔහු ගැන යම් බලාපොරොත්තුවක් තබා තිබුණා. ඔවුන් කීවේ ඔහු හොඳට කරාවි යන්න පමණයි. ප්‍රතිවාදී කණ්ඩායම්වලට පමණක් නොවෙයි ඔහු අපේ කණ්ඩායමටත් අභිරහසක් වුනා.

මට මතකයි අපි නයිරෝබි නුවරට ඇවිත් පුහුණු දැල්වල පුහුණුවීමේ නිරත වුණා. අප වෙත එවනු ලැබූ ෂහීඩ් අෆ්‍රිඩි නම් පා දඟපන්දු යවන්නා එහි දී හොඳින් පන්දු යැව්වා. ඔහු සතුව හොඳ ගුග්ලි පන්දුවක්, වේගයෙන් යොමු කරන පන්දුවක්, සහ වේගය අඩාල කර යැවූ පන්දු ඔහුගේ අවි ගබඩාවේ තිබුණා. නමුත් අප ඔහුගෙන් මුෂ්ටාක් අහමඩ් කෙනෙකු දුටුවේ නැහැ.

ඊළඟට ආවේ ඔහුගේ පන්දුවට පහර දීමේ වාරය. ඔහු පමණයි ඉතිරිවී සිටියේ. හොඳටම කළුවර වැටෙමින් තිබූ අවස්ථාවක අපි නැවත හෝටලය බලා යෑමට සෑහෙන උනන්දුවකින් සිටියේ. අනෙක පන්දු යවන්නෙකුට පිතිකරණයේ යෙදීමට නොහැකි වීම ගැන එතරම් සිතිය යුතු කාරණාවක් වුනේ නැහැ.

නමුත් ඉන්පසු සිදු වූයේ විශ්මජනක දෙයක්. නවක ක්‍රීඩකයා පා ආවරණ පැළඳ ගෙන පුහුණු දැලට පැමිණියා. මම ඔහුට පා දඟපන්දු කිහිපයක් යොමු කළා. ඔහු ඒ සෑම පන්දුවකටම වැරෙන් පහර දුන්නා. මා සමඟ සිටි මගේ සගයා වකාර් යුනිස් ඔහුට පිට දඟපන්දු යැවීමට උත්සහ කළත් කිසිම ප්‍රයෝජනයක් වුනේ නැහැ. ඔහුට හැම පන්දුවකට වැරෙන් පහරක් තිබුණා. ඉන්පසු අප දෙදෙනා කෙටි දුරක් දිවවිත් ඔහුට පන්දු යැව්වා. නමුත් ඔහු ඒ පන්දුවලටත් රිදෙන්න පහර දුන්නා.

පාකිස්තානු ඉනිමට පණ දුන් පරිගණක ඉංජිනේරුවා

90 දශකයේ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ඇල්මක් දැක්වූ යමෙකුට ඔහු අමතක කළ නොහැකි චරිතයකි. ක්‍රිකට් පිටියේ ඉතාම සියුම්…

ඊට පසුව අප දෙදෙනා සුපුරුදු රිද්මයෙන් දිවවිත් යැවූ පන්දුවලටත් නවක තරුණයා නයිරෝබි ජිම්කානා ක්‍රීඩාංගණය සිසාරා පහර එල්ල කළා. එය ලැජ්ජාවට කාරණාවක්. අඩ අඳුරේ ඔහු ක්‍රීඩා කළේ නිශාචර පක්ෂියෙකු මෙන් තියුණු දෑසක් සහිතව. වැඩි වේලාවක් යන්නට මත්තෙන් මා පුහුණු සැසිය අවසන් කළා.

පසුවදා උදෑසනම මම ඔහුට නියෝග කළා කළින්ම පා ආවරණ දමාගෙන පිතිහරඹයට පැමිණෙන ලෙස. මෙවර නම් වකාර් හෝ මම අවදානමක් ගැනීමට සූදානම්ව සිටියේ නැහැ. අප දෙදෙනාම සුපුරුදු වේගයෙන් පැමිණ පන්දු යොමු කළා. නමුත් අෆ්‍රිඩි නම් තරුණයා පෙරදා රාත්‍රියටත් වඩා බිහිසුණු වී සිටියා. අප කෙතරම් තදින් ඔහුට පන්දු යැව්වා ද ඊට වඩා දෙගුණයක් තදින් ඔහු පෙරළා පන්දුවට පහර දුන්නා. දෙවියන්ට ස්තුති වෙන්න අපි ක්‍රීඩා කළේ පුහුණු දැලක් තුළ. නැත්නම් ඔහු එල්ල කළ පහරවල් නිසා පන්දුව නැති වෙන්න තිබුණා.

ඔව්… මේක විශිෂ්ට සොයා ගැනීමක්. ජීවිත කාලයටම එක්වරක් ලැබෙන අවස්ථාවක්. මේ තරුණයා බොහෝ කලක් පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාව හා රැඳේවි.

ඔහු ගැන බොහෝ බලාපොරොත්තු ඇතිව පුහුණුවීමේ යෙදුණ මට මොහොතකින් අසුබ ආරංචියක් ලැබුණා. ඒ මගේ පියා හෘදයාබාධයක් නිසා රෝහල්ගත කළ පුවත. සියල්ල පසෙකලා මම වහාම ලාහෝරය බලා පිටත් වීමට මගේ ගමන් මළු ලක ලෑස්ති කළා. කලබලයෙන් ලක ලෑස්ති වෙන අතරේ මා වෙනුවෙන් නායකත්වයේ වැඩ බැලූ සයිඩ් අන්වර් වෙත යම් යෝජනාවක් කරන්නත් මම අමතක කළේ නෑ. හැකි නම් අලුත් කොල්ලව උඩින් බැට් කරන්න යවන්න කියා මම ඔහුට කීවා. මා ඉතා සාමාන්‍ය ලෙස කියූ දෙය ඉතිහාසය වෙනස් කරාවි කියා කිසි ලෙසකින්වත් මා සිතුවේ නැහැ.

සයිඩ් අන්වර් නම් මගේ මිත්‍රයා ඔහු කරන්නේ කුමක්ද කියා දැන සිටියා. වැදගත්ම කාරණාව ෂහීඩ් අෆ්‍රිඩි ඔහු කරන්න යන්නේ කුමක්ද කියා හොඳින්ම දැන සිටියා. පළමු කඩුල්ල බිඳ වැටුණ වහාම අන්වර් කවුරුත් නොදන්නා මේ නවක තරුණයා ක්‍රීඩා පිටියට කැඳවා තිබුණා.

පන්දු තිස් හතකින් ශතකයක්. කලකට බිඳ දමන්නට බැරි වාර්තාවක්.

ඇත්තටම මා එම ඉනිම සජිවීව දැක්කේ නැහැ. නමුත් එය මට අසන්නට ලැබුණා. පුවත්පත් වලින් කියවන්න ලැබුණා. නමුත් එය රූපවාහිනි තිරයෙන් නරඹන විට මා අතිශයින්ම උද්දාමයට පත්වුණා. එය ජීවිත කාලයෙන් එක්වරක් පමණක් දකින්නට ලැබෙන ඉනිමක්.

අවංකවම මම කියන්නම් ෂහීඩ් අෆ්‍රිඩි යනු මා විසින් සොයාගන්නා ලද්දෙක් නොවෙයි. ඕනෑම අවස්ථාවක පාකිස්තානු කණ්ඩායම නියෝජනය කිරීමේ හැකියාව ඔහු සතුව තිබුණා. නමුත් ඔහු තරමක ලැජ්ජාශීලී දරුවෙක්. ඉතින් මා තීරණය කළා ඔහුව පාකිස්තානු ක්‍රිකට් වෙනුවෙන් ඉදිරියට රැකබලා ගැනීම මගේ යුතුකමක් කියා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<