දකුණු ආසියානු පාපන්දු විධායක කමිටුව මීගමුවෙන් පිටව යයි

271
SAFF Executive Committee meeting 2016 by Chamila Karawita
ඡායාරූපය - ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ෆේස්බුක් පිටුවෙනි.

දකුණු ආසියානු සභාපති කාසි සාලුදීන් මහතා(වමේ සිට තෙවැන්නා) සභාව අමතමින්. උප සභාපති රංජිත් රුද්‍රිගු මහතා ද(වමේ සිට දෙවැන්නා) ඡායාරූපයේ වෙයි.

දකුණු ආසියානු කලාපයේ පාපන්දු ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා වැදගත් තීරණ තීන්දු ගණනාවක්‌ ගැනීම වෙනුවෙන් පෙරේදා (24 දා) මීගමුවේදී රැස්‌වුණු දකුණු ආසියානු පාපන්දු සම්මේලන විධායක කමිටු රැස්‌වීමේදී වසර 2017 ට යෙදෙන සාක්‌ දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය බංග්ලාදේශයට ලබාදීමට තීරණය කර තිබේ.

මීගමුව ජෙට්‌වින් බ්ලු හෝටලයේ පැවැති අදාළ විධායක කමිටු රැස්‌වීම දකුණු ආසියානු පාපන්දු සම්මේලන සභාපති බංග්ලාදේශ ජාතික කාසි සාලුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්‌තානය, නේපාලනය, භූටානය, මාලදිවයින සහ සත්කාරක ශ්‍රී ලංකාව යන රටවල පාපන්දු ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැති අදාළ රැස්‌වීමේදී පළමු වතාවට යෝජනා වූ දකුණු ආසිsයානු ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලිය මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. එම තරගාවලියේ සත්කාරකත්වයද බංග්ලාදේශයට ලබාදෙද්දී 2017 වසරේ සාක්‌ පාපන්දු කාන්තා ශූරතාවලියේ සත්කාරකත්වය දැරීමට නියමිත වූ ඉන්දියාවෙන් එම තරගාවලිය ඉවත් කොට නේපාලයට හෝ භූටානයට ලබාදීමට පියවර ගැනීම තරමක්‌ විශේෂත්වයක්‌ විය.

කෙසේ වෙතත් අදාළ තරගාවලිය කුමන රටේ පවත්වන්නේද යන්න එම රැස්‌වීමේදී තීරණය වී නොමැති අතර එය දෙරටේ එකඟතාවය පරිදි තීරණය කිරීම සඳහා නේපාලනයට සහ භූටානයට අවස්‌ථාව ලබාදී තිබේ.

ප්‍රථමයෙන්ම 1993 වසරේ නේපාලයේ කත්මන්ඩු නුවරදී පිහිටුවා තිබෙන දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක සභා රැස්‌වීමක්‌ ශ්‍රී ලංකාවේ පැවැති පළමු අවස්‌ථාව මෙය වූ අතර එය හිටපු පාපන්දු සභාපතිවරයකු මෙන්ම වත්මන් දකුණු ආසියානු සම්මේලන උප සභාපතිවරයකු වන රංජිත් රුද්‍රිගු මහතාගේ යෝජනාවකට අනුව ශ්‍රී ලංකාවේ පැවැත්විණ.

පාපන්දු ඉතිහාසයේ සුවිශේෂී අවස්‌ථාවක්‌ බවට පත්වූ එම සම්මේලනයට ශ්‍රී ලංකාවෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා වන අනුර ද සිල්වා මහතා ඇතුලු නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගිවූහ.

ඒ අනුව මීළග දකුණු ආසියානු පාපන්දු සමුලුව ලබන සැප්තැම්බර් මස 26 වැනිදා ඉන්දියාවේ ගෝවේ නගරයේදී පැවැත්වීමට මෙම විධායක සභා සැසියේදී තීරණය වී තිබේ. එය ආසියානු පාපන්දු සුමුලු විධායක හමුවට සමගාමීව පැවැත්වීමට යෝජනා වීම කැපී පෙනෙයි.

එම සැසියේදී දකුණු ආසියානු කලාපීය රටවලට ලබාදෙන මූල්‍යාධාර සංශෝධන හා ජාත්‍යන්තර තරග සඳහා ලබාදෙන ත්‍යාග මුදල් සහ සහභාගිත්ව දීමනා පිළිබඳව ප්‍රධාන වශයෙන් තීරණයන්වලට එළැඹීමට නියමිතව තිබෙන බව මේ පිළිබඳව අදහස්‌ දක්‌වා සිටි උප සභාපති රංජිත් රුද්‍රිගු මහතා සඳහන් කර සිටියේය.

මෙහිදී විගණන හා සහතික නොකළ බව කියන 2014 වසරට අදාළ සම්මේලනය ගිනුම් වාර්තා සම්බන්ධව රුද්‍රිගු මහතා විරෝධතාවයක්‌ ඉදිරිපත් කළ අතර එය විධායක සභාව විසින් පිළිගත් අතර අදාළ වාර්තාව සම්මත කිරීම අත්හිටුවනු ලැබීය.

මේ අතර අදාළ විධායක කමිටු රැස්‌වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සභාපති කාසි සාලුදීන් මහතා ඇතුලු පිරිසට සවස්‌ කාලයේ සාදයක්‌ පිළියෙළ කිරීමට උප සභාපති රංජිත් රුද්‍රිගු මහතා පියවර ගෙන තිබූ අතර එය තම පෞද්ගලික වියදමින් සිදු කිරීම කැපී පෙනෙන සිදුවීමක්‌ බවට පත්විය.