දශක 4ක ක්‍රිකට් අභිමානය බිංදුවට බැස්සවූ ‘මාර පරාජය’

1280

ලෝක සිතියමේ පැන්සල් තුඩකින් වැසිය හැකි තරමේ පුංචි ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ අභිමානයෙන් කතා කළ හැකි දෙයක් පැවතියේ නම් ඒ ‘ක්‍රිකට්’ පමණි.

ගෙවී ගිය සැප්තැම්බර් 17 වැනි දින යනු දශක 4කට අධික මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය නැත්තටම නැති වූ රාත්‍රියක් වූවාට කිසිම සැකයක් නැත. බංග්ලාදේශය හමුවේ පරාජයට පත් වුවද ආධුනික ඇෆ්ගනිස්තානයට එරෙහිව ජය වාර්තා කරමින් තරගාවලියේ ඉදිරියට පැමිණෙනු ඇතැයි හැමදෙනාගේම බලාපොරොත්තුව බවට පත් වුවත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ නීරස ක්‍රීඩා විලාශය, ඒ සියල්ල භංගත්වයට පත් කරවනු ලැබීය. තරගාවලිය ඇරඹී දින 3ක් ඇතුළත හිස් අතින් ගෙදර ආවේ 2014 වසරේ ශූරතා දිනා ගැනීම ද ඇතුළුව පස්වතාවක්ම එම කුසලාන දිනූ කණ්ඩායමය. එසේත් නැතිනම් මෙතෙක් පැවති ආසියානු කුසලාන තරගාවලි 12න් (මෙම තරගාවලිය හැර) 11 වතාවක්ම අවසන් මහ තරග වරම් දිනූ කණ්ඩායමය.

ශ්‍රී ලංකාව ඇෆ්ගන් ක්‍රීඩකයන් ඉදිරියේ දනින් වැටෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන්ට ද යමක් කළ හැකි බැව් ඔප්පු කළ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෝ අද (17) අබුඩාබි හි ෂෙයික් ෂායෙට් ක්‍රීඩාංගණයේ දී පැවැති ශ්‍රී ලංකාව හා තරගයේ දී…

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අරාබි වැලි කතරට පිටව ගියේ කුසලාන දිනා ගැනීමේ දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙනය. බංග්ලාදේශය සහ ආධුනික ඇෆ්ගනිස්තානය පළමු වටයේ ප්‍රතිවාදීන් බවට පත්ව තිබීමත් දකුණු අප්‍රිකාව සම පැවති එක්දින තරගාවලියේ දී දක්ෂතා අතරට පැමිණීමට සමත්වීමත් නිසා තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලැබීම යනු ශ්‍රී ලංකාවට ‘කජු කන’ තරමට පහසු විය. එහෙත් සිදු වූයේ අනෙකකි. කිසිවකුත් නොසිතූ පරිදි කෝඩුකාර ඇෆ්ගනිස්තානය හමුවේ ලද ලකුණු 91ක නින්දා සහගත පරාජය හේතුවෙන් අකමැත්තෙන් වුවද පළමු වටයේ අඩක් හෝ අවසන් වීමට මත්තෙන් යළිත් ගම් රට බලා පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

ලංකාව පරාජයට පත් කිරීමේ ඇෆ්ගනිස්තාන් සතුට

ශ්‍රී ලංකාවට එක්දින වරම් හිමිවීමෙන් පසු මේ ගෙවී යන්නේ 44 වැනි වසරය. එදා සිට අද දක්වා වූ කාල සීමාවේ දී අප ලෝක කුසලාන ජයග්‍රහණ ඇතුළු විවිධ මට්ටමේ ජයග්‍රහණ ලබා ඇතිවා සේම පරාජයන් ද ලබා තිබේ. තරග අත්දැකීම් අතින් බැලුව ද අප සිටින්නේ ඇෆ්ගනිස්තානය වඩා ගවු ගාණක් ඉදිරියෙනි. එය සංඛ්‍යාත්මක වශයෙන් එක්දින තරග 832කි. ක්‍රිකට් ලොව ‘ලිල්පුට්ටන්’ ලෙස සැලකෙන ඇෆ්ගනිස්තානය තවමත් ක්‍රීඩා කර ඇත්තේ යන්තමින් එක්දින තරග 104ක් (සිකුරාදා දින වන විට) පමණි. එවැනි අත්දැකීම් සම්භාරයක් ඇති ශ්‍රී ලංකාව මෙවර බන්දේසියක තබා ඇෆ්ගනිස්තානයට පූජා කරන ලද්දේ එසේ ගොඩ නගා ගන්නා ලද අභිමානයයි.

මෙම ‘මාර පරාජය’ නිසා ක්‍රීඩකයින් පිළිබඳව වූ විශ්වාසය ක්‍රීඩාලෝලීන්ගෙන් දැන් ඈත්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් යනු මෑත කාලයේ වැඩියෙන්ම විවේචනයට බඳුන් වූ රට බවට විවාදයක් නොමැත. ඒ, ඒ තරමටම කළු පැල්ලම් ක්‍රිකට් හා බැඳී පැවති නිසාය. වැළ නොකැඩී ලද පරාජයන් පිට පරාජ, තරග පාවාදීම් පිළිබඳ චෝදනා, ශාරීරික යෝග්‍යතා පිළිබඳ ගැටලු, පුහුණුකරුවකු සොයා ගැනීමේ ගැටලු, ස්ථාවර නායකයකු නොමැති වීම, කණ්ඩායමේ එකමුතු භාවය බිඳ වැටීම මෙන්ම ක්‍රීඩකයන්ගේ විනය විරෝධී ක්‍රියාකාරකම් එකී විවේචනයන්ට මූලාශ්‍ර වුණු කරුණු බවට පත්විය. එවැනි වාතාවරණයක දී පවා ක්‍රීඩාලෝලීහු ක්‍රිකට් සමඟ සිටියහ. එසේ ළඟින් සිටි සියලු දෙනා ලැබූ මේ ‘මාර පරාජය’ නිසා විමතියට සහ කලකිරීමට පත්ව සිටිති.

කඩපිලේ වේවා, බසයේ වේවා, දුම්රියේ වේවා කතා බහ මේ ලැජ්ජා සහගත පරාජය ගැනය. ෆේස්බුක් ඇතුලු සමාජ ජාලා වෙබ් අඩෙවිවලට නම් මුහුණ පොවන්නට බැරිය. ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධව එහි ඵල වන ඇතැම් දෑ ප්‍රසිද්ධ මාධ්‍යයේ සඳහන් කිරීමට නොහැකි තරම්ය. කලක් ජාතික විරුවන් සේ සලකන ලද ක්‍රිකට් ක්‍රීඩකයින් මෙදා වන විට ක්‍රීඩාලෝලීන්ගේ බයිට් එකක් බවට පත්ව ඇත්තේ මිලියන ගණනින් උපයන මුදලට සාධාරණයක් ඉටු කිරීමට අසමත් වීම නිසාය. එහෙයින් ඔවුන් දන්නා පරිදි දෙස් දෙවොල් තියති. එකී විවේචන නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ සිට පුහුණුකරු චන්දික හතුරුසිංහ දක්වා වූ සියලු දෙනාටම පොදුය.

මෙය මැතිව්ස්ගෙන්ම ආරම්භ කිරීම වඩා යෝග්‍ය යැයි හැඟේ. ක්‍රිකට් යනු කණ්ඩායම් ක්‍රීඩාවකි. එක් ක්‍රීඩකයකු හෝ දෙදෙනෙකුගේ දක්ෂතා මත ජයග්‍රහණය තීරණය නොවෙනවාම නොවේ. එහෙත් ඒ කලාතුරකිනි. බහුතරයක් ජයග්‍රහණ සියල්ලෝම දක්වන දක්ෂතා මත පදනම් වේ. එසේ නම් නායකයා වූ කල්හිම තනියම තරගයක් ජයග්‍රහණය කරා රැගෙන යා යුතු යැයි සිතීම අසාධාරණය. පිතිකරුවකු ලෙස මෙම තරග 2 දී සාර්ථක වීමට මැතිව්ස්ට අවස්ථාව නොමැති වුවද පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේ දී තම උර මත තබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය හැටි අප අමතක නොකළ යුතුය. එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූවේ ද මැතිව්ස්ය.

මෙම පරාජයෙන් පසු මෙරටින් බිහි වූ අසාර්ථකම නායකයා ඇන්ජලෝ මැතිව්ස් බව ඔහු ඉලක්ක කර ගනිමින් විවේචන එල්ල කරන පිරිස් පවසයි. එබැවින් ඔහු නායකත්වයෙන් ඉවත් කළ යුතු බවට එම පිරිස් චෝදනා කරද්දී නායකත්වය සඳහා වෙනත් සුදුස්සකු කණ්ඩායම තුළ නොමැති බව තවත් පිරිසකගේ මතය වී තිබේ.

මැතිව්ස් යනු නායකත්වයට කෑදරයෙකු නොවේ. 2019 ලෝක කුසලාන තරගාවලිය තෙක් නායකයා ලෙසින් කටයුතු කිරීමට හොඳින්ම අවකාශ තිබිය දී ඔහු නායකත්වයෙන් ඉල්ලා අස්වීමට පියවර ගැනීම ඒ සඳහා වූ හොඳම උදාහරණයයි. ඒ කරුණ ද ඇතුළත්ව එංගලන්තය එංගලන්තයේ දී ද, ඕස්ට්‍රේලියාව සමඟ මෙරට පැවති ටෙස්ට් තරගාවලිය 3-0කින් පරාජය කිරීම මෙන්ම අවසන් වරට බංග්ලාදේශයේ පැවති ආසියානු කුසලාන ශූරතාව දිනා දුන්නේ ද මැතිව්ස්ගේ නායකත්වය යටතේදීය. ඒ බව, ඔහුට චෝදනා කරන පිරිස්වලට අමතක වීම කණගාටුදායකයි.

ලංකා පිලට සහයෝගය පතා ෆේස්බුක් හි පළ වුණු නිර්මාණයක්

2017 වසර ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 41කට ක්‍රීඩා කර තිබෙන නමුත් ඉන් ජයගෙන ඇත්තේ තරග 10ක් පමණි. නායකත්වයෙන් ඉවත්ව සිටි මාස 12ක පමණ කාලය තුළ වෙනත් නායකයන් (උපුල් තරංග (තරග 17), දිනේෂ් චන්දිමාල් (තරග 4), තිසර පෙරේරා (තරග 3), චාමර කපුගෙදර (තරග 1) සහ ලසිත් මාලිංග (තරග 1) යටතේ ශ්‍රී ලංකාව එක්දින තරග 26කට සහභාගි වී තිබෙන නමුත් ඉන් ජය ගැනීමට සමත්ව ඇත්තේ තරග 5ක් පමණි. කරුමෙක මහත නම් ඒ ඉතිරි සියලුම පරාජයන්ගේ වගකීම ද ඇන්ජලෝ මැතිව්ස්ගේ ගිණුමට බැර වීමය.

මැතිව්ස්ගේ ද අඩුපාඩු නැතිවාම නොවේ. පිතිකරුවෙකු ලෙස දක්ෂතා දිගින් දිගටම රඳවා ගැනීම, පන්දු රැකීමේ දී දක්වන දුර්වලතා වළක්වා ගැනීම මෙන්ම කඩුලු අතර දිව යෑමේ දී ඇතිවන අපහසුතා මග හරවා ගැනීමට මැතිව්ස් උනන්දු විය යුතුය. ගැටලුව වන්නේ ඒ සියල්ල නිවැරදි කර නොගතහොත්ය. බලධාරීන් මැදිහත් විය යුත්තේ එයටය. එබැවින් නායකත්වය දැරීම සඳහා මේ අවස්ථාවේ සිටින හොඳම සුදුස්සා මැතිව්ස් බැවින් ඔහුට නිදහසේ සිය කාර්යය කරගෙන යෑමේ නිදහස ලබා දිය යුතුය කියන තැන සිට ගනිමු.

එසේ නම් ශ්‍රී ලංකාවට වැරදුණේ කොතැනද?

අපට වැරදුණේ තරගාවලියට පිටත්ව යෑමටත් කළින්ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ දිනවල පවතින්නේ අධික උෂ්ණත්වයකි. සෙල්සියස් අංශකවලින් නම් එය 43ත් 46ත් අතර අගයක් ගනියි. ඇතැම් විට එය 49 හෝ 50 දක්වා ඉහළ නගින අවස්ථා ද වෙයි. සෙල්සියස් අංශක 27ත් 30ත් අතර අගයක උෂ්ණත්වයක් පවතින අපට නම් එය දරාගත නොහැකි තත්ත්වයකි. එවන් තත්ත්වයක් යටතේ වුවද ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොඩ බසින්නේ 12 වැනිදා අලුයම් කාලයේය. ගුවන් ගමන් වෙහෙසට එදින වෙන්වූ බැවින් පළමු තරගයට පෙර පුහුණුවීම් සඳහා ඉඩ කඩ විවර වන්නේ බංග්ලාදේශය සමඟ තරගයට පෙර වූ දින 2 පමණි. එම කාලය එහි පවතින අධික උෂ්ණත්වයට හුරුවීම සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන කාලයකි.

ඇන්ජලෝ මැතිව්ස්ගේ දැවී යෑමෙන් පසු

ශ්‍රී ලංකාව රෙදි ගලවා ගත් ඇෆ්ගනිස්තානයේ පවතින්නේ ද මෙවැනිම දේශගුණික තත්ත්වයකි. එහෙත් ආසියානු කුසලාන තරගාවලියට කඳවුරු බැඳීම සඳහා ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණෙන්නේ සති දෙකකට පමණ කාලයකට පෙරය. ඒ අනුව බැලීමේ දී තරගාවලි සූදානම අතින් ද ශ්‍රී ලංකාව සිට ඇත්තේ ඇෆ්ගනිස්තානයට වඩා පහළිනි. එවැනි තත්ත්වයක් යටතේ අපි හොඳින් පන්දුවට පහර දුන්නේ ද නැත. හොඳින් පන්දු යැව්වේ ද නැත. හොඳින් පන්දු රැක්කේ ද නැත. මේ වූ කල්හි පරාජය හැර වෙනත් යමක් බලාපොරොත්තු විය හැකි ද?

පන්දු රැකීමේ දී උඩ පන්දු කීපයක් ගිලිහී යෑම මෙවර නන්නත්තාරයට හේතු වූ තවත් ප්‍රධානම කරුණකි. ඒ සියල්ල ඇරඹෙන්නේ බංග්ලාදේශය සමඟ පැවති තරගයේ පස්වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේ සිටය. පන්දු යවන්නා ලසිත් මාලිංගය. මොහොමඩ් මිතුන්ගේ උඩ පන්දුව අත හරින්නේ ඇන්ජලෝ මැතිව්ස්ය. එය අවාසනාවන්ත සහභාගිත්වයේ කණකොකට හඬලන ලද පළමු අවස්ථාව විය.

මොහොමඩ් මිතුන්ගේ උඩ පන්දුව මැතිව්ස් අතින් ගිලිහී ගිය අවස්ථාව

දෙවැන්න එම තරගයේ වැඩිම ලකුණු ලාභියා වූ මුෂ්ෆිකර් රහීම් ලකුණු 10 දී ලබා දුන් උඩ පන්දුවය. එය 36 හැවිරිදි ඩිල්රුවන් පෙරේරා අතින් ගිලිහී නොයන්නට තත්ත්වය මීට වඩා ශ්‍රී ලංකාවට වඩා සුබදායක වන්නට තිබුණි. මේ මග හැරුණු උඩ පන්දු 2ක් පමණි. මීට අමතරව ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ කඩුලු අතර දිව යෑම ද ගැටලු සහගතය. මෙම තරග දෙකේ දී පමණක් දුවද්දී දැවී යෑම් 3 ක් සටහන් වූ අතර දසුන් ශානක, ධනංජය ද සිල්වා සහ ෂෙහාන් ජයසූරිය එසේ දැවී ගිය පිතිකරුවෝ වූහ.

පස්වරක් ආසියානු කුසලාන දිනා ඇති කණ්ඩායමක් ලෙස තරගාවලියට අවතීර්ණ වුන ශ්‍රී ලංකා කණ්ඩායම අතින් සිදුවුණු මෙවැනි ආකාරයේ අතපසුවීම් හරහා පසුබෑමකට ලක්වීම හැර ඉදිරියට යෑමක් ගැන කිසි විටෙකත් බලාපොරොත්තු තැබිය නොහැක. ලොව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන ප්‍රධාන රටවල් අතරින් බටහිර ඉන්දීය කොදෙව් පිල හැරුණු විට ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්වූ එකම රට වන්නේ ශ්‍රී ලංකාවයි.

මෙම පරාජයට ප්‍රථම ගෙවී ගිය කාල සීමාවේ දී ශ්‍රී ලංකාවට වැරදුණු තැන් කිහිපයක්ම ඇත. දිගින් දිගටම ක්‍රීඩකයින් ආබාධවලට ලක්වීම ඉන් ප්‍රධාන වේ. එම තත්ත්වය මත තරගයෙන් තරගයට පිතිකරණ ලැයිස්තුවට නවක මුහුණු එබ්බවීමට තේරීම් කමිටුවට සිදු විය. ශ්‍රී ලංකාව දිගින් දිගටම ජයග්‍රහණයන් ලබන කාලයක් වෙත් නම්, ඒ ස්ථාවර පිතිකරණ ලැයිස්තුවක් තිබූ සමයේ විය. එය 1996 වසරේ සිට ලද ජයග්‍රහණයන්හි ප්‍රසිද්ධ රහසක් බවට පත්විය.

දුවද්දී දැවී යෑමකට හසුවූ ෂෙහාන් ජයසූරිය

එහෙත් දැන් තත්ත්වය වෙනස්ය. පාසල් වියේ පටන්ම ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරමින් කණ්ඩායමට පැමිණෙන ක්‍රීඩකයා ඒ මට්ටමේ දී අංක 6 දක්වා පහළට යයි. මැද පෙළින් ක්‍රීඩා කරන ක්‍රීඩකයා ඉනිම ආරම්භ කිරීමට යොදවයි. නම් වශයෙන් නොකීවද මේ සඳහා උදාහරණ ඕනෑ තරම්ය.

තරගාවලියේ විස්තර විචාරකයකු ලෙස කටයුතු කළ හිටපු නායක කුමාර් සංගක්කාර පවා අදහස් දක්වමින් සඳහන් කර සිටියේ පිතිකරණ අනුපිළිවෙළේ නිතර සිදුවන වෙනස්වීම් ශ්‍රී ලංකාවේ කඩා වැටීමට හේතු වී ඇති බවයි. මෙහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අනුපිළිවෙළේ නිරන්තර වෙනස්කම් කිරීම යහපත් නොවන බව පෙන්වා දුන් හිටපු වමත් පිතිකරුවා දිගින් දිගටම අසාර්ථක කුසල් මෙන්ඩිස්ව ආරම්භක පිතිකරු ස්ථානය සඳහා කිසිසේත්ම නුසුදුසු බව සඳහන් කර සිටියේය.

කුසල් මෙන්ඩිස් යනු දඟ පන්දුවට හොඳින් පහර දෙන පිතිකරුවෙකු බවත් එබැවින් ඔහු ක්‍රීඩා කළ යුත්තේ ආරම්භක පිතිකරුවෙකු ලෙසින් නොව අංක 4 පිතිකරණ ස්ථානයේ බව සංගක්කාරගේ අදහස වී තිබේ. කෙසේ වෙතත් මෙම තරග දෙකේ දී ම කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී යෑම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය.

කලක් තිස්සේම ශ්‍රී ලංකා කණ්ඩායම අංක 6 සහ අංක 7 ස්ථාන සඳහා තුන්  ඉරියව් ක්‍රීඩකයන් මත විශ්වාසය තබා තිබේ. එහෙත් ඉන් අගතියක් සිදුවූවා හැරෙන්නට වූ සුගතියක් නම් නොමැත. එසේ වූයේ නම් පසුගිය කාලයේ ජාත්‍යන්තරයේ අප මෙතරම් හෑල්ලුවට ලක්වන්නේ නැත. මෙහි දී තිසර පෙරේරා සහ දසුන් ශානකව අංක 6 සහ 7 යන ස්ථානවල ක්‍රීඩා කිරීම සඳහා යොදා ගත්ත ද සැබැවින්ම එම ස්ථානයේ විශේෂඥ පිතිකරුවෙකු ක්‍රීඩා කරවූයේ නම් මීට වඩා ප්‍රතිඵලදායක වනවා නොඅනුමානය.

ඒ මන්ද යත් තිසර සහ දසුන් යනු තරග නිමා කරවන්නන් මිස, ඉනිම ගොඩ නැගිය හැකි ආකාරයේ පිතිකරුවන් නොවන බැවිනි. ඔවුන් කිසිසේත්ම විශේෂඥ පිතිකරුවන්ගේ ගණයට අයත් නොවන බැවින් වැඩි වගකීමක් දීම යනු නිෂ්ඵල ක්‍රියාවකි. ශක්තිමත් අඩිතාලමක් වැටුණු අවස්ථාවක දී ඔවුන්ගේ ස්වාභාවික දක්ෂතා දැක ගැනීමට හැකිවන නමුත් පීඩනයක් සහිත අවස්ථාවන්හිදී ඔවුන්ගෙන් යමක් බලාපොරොත්තු වනවා යනු ප්‍රතිඵලය ‘ගඟට ඉනි කැපුවා’ මෙනි.

කනගාටුවට පත් මැතිව්ස්

මේ සම්බන්ධව සංගක්කාර මෙන්ම හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ෆර්වේස් මහරූෆ් පවා සඳහන් කර සිටින්නේ දසුන් අංක 7 ස්ථානයේ ද, තිසර අංක 8 ස්ථානයේ ද ක්‍රීඩා කරනවා අංක 6 ස්ථානය සඳහා විශේෂඥ පිතිකරුවකුගේ සහාය ලබාගත යුතු බවයි.

කිසිවකුත් හිතා මතා දැවී යන්නේ නැත. හිතා මතා උඩ පන්දු අත හරින්නේ ද නැත. තවකෙකු හිතා මතා දුවද්දී දැවී යෑම්වලට හසු කරන්නේ ද නැත. කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් අතරින් බහුතරයක් දෙනා ලෝක කුසලාන තරගාවලිය සඳහා තවමත් සිය ස්ථාන තහවුරු කරගෙන නොමැත. එවැනි වට පිටාවක දී එකිනෙකාට ඇඟිලි දිගු කිරීම රටක් වශයෙන් ඉදිරියට යෑමේ දී කාලෝචිත නැත. ඇෆ්ගනිස්තානය හමුවේ ලද පරාජය සැබැවින්ම නින්දා සහගතය. එහි කතා දෙකක් නොමැත. පරාජයන් පිළිබඳව සිත සිතා පසුතැවීම ඵලක් නොවේ.

පරාජයෙන් ජයග්‍රහණය සඳහා පන්නරයක් ලබාගත යුත්තේය. සිදු වූ අඩුපාඩු නිවැරදි කරගනිමින් මීළඟ ලෝක කුසලාන තරගාවලිය සඳහා හොඳින් සූදානම් වීම දැන් අරමුණු කරගත යුතුය. ඒ සඳහා අපිට තවත් මාස 9ක පමණ කාලයක් ඉතිරිව තිබේ. තරග අතින් බැලුව ද එම සංඛ්‍යාව එක්දින තරග 13කි. ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසි නොවන්නට, අවසන් මහ තරගයට සුදුසුකම්  නොලැබුවද එම තරග සංඛ්‍යාව 16ක් වන්නට තිබුණි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<