තවත් පිතිකරුවෙකු ඕස්ට්‍රේලියානු වේගපන්දුවේ හමුවේ අසරණ වේ

965

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කැන්බරා හී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම ඉනිම දියත් කරමින් පන්දුවට පහර දෙමින් සිටි මොහොතක ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ජායි රිචඩ්සන් විසින් යැවූ පන්දුවක් කුසල් ජනිත් පෙරේරාගේ හිසේ එක් පසෙක වැඳීම හේතුවෙන් තවකාලිකව ඔහුගේ ඉනිම අත්හිටුවමින් කණ්ඩායමේ වෛද්‍ය කාර්‍යමණ්ඩලයේ සහය ඇතිව ක්‍රීඩාගාරය වෙත ගමන් කිරීමට සිදු විය.

මම සුවෙන් ඉන්නවා, ලොකු බඩගින්නක් තිබ්බ, හොඳට කෑවා – දිමුත්

ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරු අද (2) උදෑසන දරුණු සිදුවීමකට මුහුණ දුන් අතර ඔහු නිරුපද්‍රිතව…

සිව්වැනි කඩුල්ල සඳහා ධනංජය ද සිල්වා සමඟ ලකුණු 37ක සාර්ථක සබඳතාවක අඩිතාලම ගොඩනගමින් තිබූ අවස්ථාවක ජායි රිචඩ්සන් විසින් යැවූ බවුන්සර් පන්දුවක් මඟ හරිමින් ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට යාමේ දී පන්දුව මෙසේ කෙළින්ම ඔහුගේ හිස් ආවරණයේ වැඳී තිබේ. ඒත් සමඟම හිස් ආවරණය පිටුපස සවිකොට තිබෙන අමතර ආරක්ෂක ආවරණය ගැලවී ඉවතට විසි වී ඇති අතර කුසල් ඉන් අනතුරුව යලි පන්දුවට පහරදීම සඳහා සීමා ඉර වෙත පිවිස තිබෙන්නේ ඔහුට එම පන්දුවෙන් එතරම් හානියක් නොවූ බවට ඉඟියක් ලබා දෙමිනි.

නමුත් වහාම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පිලේ භෞතික චිකිත්සකවරයා කුසල් වෙත දිව ගියේ ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරික්සීම සඳහා වන අතර විනාඩි කිහිපයක පරික්ෂාවකින් අනතුරුව නැවත පන්දුවට පහරදීම සඳහා ඔහු කුසල් ජනිත් වෙත අවස්ථාව සලසා දුනි. ඉන්පසු ජායි රිචඩ්සන් විසින් යැවූ පන්දු හතර සඳහා කඩුල්ල රැක ගනිමින් ආරක්ෂිත පියවර අනුගමනය  කළ කුසල් ඊළඟ පන්දුවාරයේ පන්දු තුනකට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව තරමක අපහසුතාවකින් පන්දුවට පහර දෙන අයුරු දිස් වූ නිසාවෙන් යලිත් වරක් වෛද්‍ය කාර්‍යමණ්ඩල සහය පැතීමට ඔහුට සිදු විය. පන්දුවට පහරදීමට තරම් උචිත ශාරීරික යෝග්‍යතවකින් ඔහු පසු නොවූ බව නිගමනයකට එළඹීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පිලේ භෞතික චිකිත්සකවරයාගේ සහ ක්‍රීඩක රොෂේන් සිල්වාගේ සහය ඇතිව කුසල් ජනිත් ක්‍රීඩාගාරය වෙත රැගෙන ඒමට පියවර ගන්නා ලදි.

පෙරේරාගේ වර්තමාන සෞඛ්‍ය තත්වය පිළිබඳ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරිත්වය පවසා සිටියේ ඔහුගේ ආබාධයේ ස්වභාවය සහ එයින් යම් හානියක් සිදු වී ඇත්නම් ඒවා සැකහැර දැන ගැනීම සඳහා හිසෙහි පරීක්ෂණයක් සිදු කිරීමට ඔවුන් පියවර ගෙන ඇති බවයි.

නවතම ආරංචි මාර්ගවලට  අනුව කුසල් ක්‍රමයෙන් සුවය ලබමින් යථා තත්වයට පැමිණෙමින් සිටින අතර ඔහුගේ තත්වය එතරම් බරපතළ නොවන බවයි.

දිමුත්ගේ ඇබැද්දියෙන් පසු ඕස්ට්‍රේලියාවට ඉක්මන් කඩුලු 3ක්!

ඕස්ට්‍රේලියානුවන් තම ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කරගත් ලකුණු 534ක දැවැන්ත ඉලක්කය හඹා….

ප්‍රථම ඉනිමේ දී තමා තාවකාලිකව අත්හිටුවා දැමූ ඉනිම එතැන් පටන් යළි දියත් කිරීම සඳහා කුසල් ජනිත් හට වරම් නොලැබුණු අතර ඕස්ටේලියානු පිලේ දෙවන ඉනිමේ දී පන්දු රැකීම සඳහා පිටියට නොපැමිණීම නිසාවෙන් බොහෝ දුරට අද දිනයේ දී ඔහු තරගය වෙනුවෙන් ක්‍රීඩා නොකිරීමේ සම්භාවිතාව වඩාත් ඉහළ බව බොහෝ දෙනාගේ මතයයි.

මෙසේ මෙම තරගයේ දී ශ්‍රී ලාංකීය පිතිකරුවෙකු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන්ගේ ගොදුරක් බවට පත් වූ පළමු අවස්ථාව මෙය නොවන අතර එම ඉනිමේ දී ම ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න වෙත පැට් කමින්ස් විසින් යැවූ කෙටි පන්දුව හිසේ වැදීම නිසාවෙන් පිටියෙන් ඉවත් වීමට ඔහුට සිදු විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<