පාසල් ක්‍රිකට් සංගමය මගින් වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර පාසල් අතර පැවැත්වෙන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය ඊයේ (22) පැවැත්විණි.

මේ සඳහා පාසල් 16 ක් අතරින් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල හා වත්තල ලයිසියම් විද්‍යාලය අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගන්නා ලදි.

තරඟය  බොරැල්ල සෞඛ්‍ය පිටියේදී පැවැත්විණි. මෙම තරඟයෙන් වත්තල ලයිසියම් විද්‍යාලය ලකුණු 170 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනාගත් වත්තල ලයිසියම් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර පළමුව පිටියට පැමිණි ආරම්භක පිතිකරු යුගල වන ශාබික් ඉෆ්තාර් හා ශර්මිගන් ශීදරන්  පළමු කඩුල්ල සඳහා ලකුණු 80 ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය.

පළමු කඩුල්ල ලෙස 4 පහරවල් 4 ක් සමඟ ලකුණු 41 ලබාසිටි ඉෆ්තාර් දවාලීමට විමුක්ති අවිනාශ් සමත් විය. අනතුරුව පිටියට පැමිණි රවිචන්ද්‍රන් අභිනාශ් විමුක්ති ගේ පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවීයන ලදි.

අනතුරුව පිටියට එක්වූ ශිදරන් හා ගිහාන් ද සොයිසා ලකුණු 198ක දැවැන්ත හා නොබිදුනු සබඳතාවයක් තෙවන කඩුල්ල සඳහා ගොඩනැංවූ අතර එහිදී ශීදරන් ලකුණු 112* ලබාගැනීමට වේගවත් 4 පහරවල් 10 ක් එල්ල කරන ලදි.

ඔහුට මනා සහයක් දෙමින් වත්තල ලයිසියම් විද්‍යාලය තරඟකාරී ලකුණකට ගෙනගිය ගිහාන් 4 පහරවල් 12ක් හා වර්ණවත් එක් 6 පහරක් සමඟ ලකුණු 102* ලබාගැනීමට සමත් විය.

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල – 278- 2 (40) ශර්මිගන්  ශීදරන් 112*, ගිහාන් ද සොයිසා 102*, ශාබික් ඉෆ්තාර් 41, විමුක්ති අවිනාශ් 2/49

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 279 ප්‍රබල අභියෝගයක් හඹායාමට පිටියට පිවිසි නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පළමු කඩුල්ල ලකුණු 14 කට දවාලීමට වත්තල ලයිසියම් ක්‍රීඩකයින් සමත් විය. අනතුරුව දෙවන කඩුල්ල ලෙස 4 පහරවල් 7ක් සමඟ ලකුණු 29ක් ලබාසිටි සෙනිදු බණ්ඩාර, කවිදු රාජකරුණා ගේ පන්දුවකට දැවීයන ලදි.

කෙසේ වෙතත් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ මැදපෙළට සාර්ථක වීමට වත්තල ලයිසියම් විද්‍යාලයේ පන්දු යවන්නන් ඉඩහසර විවර කර නොදුන් අතර ඔවුන් ගේ ලකුණු පුවරුව එක් මොහොතක ලකුණු 72කට කඩුලු 7ක් ලෙස දැක්විණි.

අනතුරුව 8වන කඩුල්ල සඳහා ශෙයික් මෙවුලානා හා දෙව්මින් ද සිල්වා ලකුණු 24ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. නමුත් ඔවුන්ට තරඟය ජයග්‍රහණයක් දක්වා මෙහෙයවීමට නොහැකි වූ අතර මවුලානා 6 පහරවල් 3ක් සමඟ ලකුණු 21කට දැවීයන ලදි.

දෙව්මින් 4 පහරවල් 2ක් සමඟ ලකුණු 11ක් ලබාගන්නා ලදි.

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල – 108-10 (19.1) සෙනිදු බණ්ඩාර 29, ශෙයික් මෙවුලානා 21 , දෙව්මින් ද සිල්වා 11, ගිහාන් ද සොයිසා 4/40, පවිත් ලහඳපුරගේ 3/11

අවසානයේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 170 ක දැවැන්ත ජයග්‍රහණයක් සමඟ අන්තර් ජාත්‍යන්තර පාසල් ක්‍රිකට් ශුරතාවය ජයග්‍රහණය කරන ලදි.

තරගයේ වීරයා –  ශර්මිගන් ශිදරන්

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට