සුගත්ගේ වාර්තාව විනෝජ් උදුරා ගනී

601
National Trials for 2018 Asian Games

දින දෙකක් පුරා පැවැත්වෙන 2018 වර්ෂය සඳහා වන ජාතික තේරීම් තරග ඊයේ (27) පළමු දිනට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති අතර පළමු දිනයේ දී නව ජාතික වාර්තාවක් සමඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉසව් රැසක්ම දක්ෂතා දක්වනු දක්නට ලැබුණි.

ආසියානු ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානයක් දිනා ගැනීම සඳහා ක්‍රීඩකයින් රැසක් තරග බිමට පිවිසුණු අතර ආබාධ හේතුවෙන් මෙම තරගාවලිය අහිමි වන ක්‍රීඩකයින්ට එළඹෙන මැයි මස අග දී තවත් තේරීම් තරග අදියරක් පැවැත්වීමට නියමිතයි.

400 වාර්තාව සමඟින් දක්ෂතම ක්‍රීඩකයා අරුණ

නව ජාතික වාර්තාවක්; තරග වාර්තා 26ක්! නවීකරණයෙන් පසු අභිනවයෙන් ක්‍රීඩකයින්ට විවෘත වූ සුගතදාස

දිනයේ විශේෂම සිදුවීම ලෙස එම්. විනොජ් සුරංජය සිල්වා මීටර් 200 ඉසව්ව තත්පර 20.68කින් නිමා කරමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීම දැක්විය හැකි අතර ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන දිනා ගැනීමට පිළිවෙළින් හිමාෂ එශාන් (21.24) හා දිලීප් රුවන් (21.37) සමත් විය. විනොජ් මේ බිඳ දැමුවේ 1998 බැංකොක් හී ආසියානු ක්‍රීඩා උළෙලේ දී සුගත් තිලකරත්න තබා තිබූ වාර්තාව (20.69) වීම විශේෂත්වයකි.

මීටර 200 කාන්තා ඉසව්වේ දී ශ්‍රී ලංකාවේ වේගවත්ම කෙටි දුර ධාවන ක්‍රීඩිකාව වන රුමේශිකා රත්නායක සුපුරුදු දස්කම්වලට ළඟා වීමට නොහැකි වුවත් සිය ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඇයට ඉසව්ව නිමා කිරීමට තත්පර  23.98ක කාලයක් ගත වූ අතර එම්. ඒ. එස්. එස් ජයතිලක දෙවන ස්ථානයත් (25.16), එස්. එල්. විදුරංගා (25.38) තෙවන ස්ථානයත් දිනා ගන්නා ලදි.

දුර පනින ක්‍රීඩක දනුෂ්ක සඳරුවන් මීටර 7.99ක දුරක් වාර්තා කර ගත් අතර ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ අමිල ජයසිරි මීටර 7.93ක දුරක් වාර්තා කර ගනිමින් ඔහුට හොඳ තරගයක් දීමට සමත් විය. මීටර 7.84ක දුරක් වාර්තා කළ ජී. සම්පත් තෙවන ස්ථානය දිනාගද්දී, කාන්තා ඉසව්වේ මීටර 6.09ක දුරක් වාර්තා කර ගනිමින් අන්ජානි පුලුවංශ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.   

මේ අතර පෙරේදා නිමා වූ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පළමු දිනයේ (23) වයස අවුරුදු 23න් පහළ බාලිකා රිටි පැනීමේ ඉසව්වට සහභාගී වෙමින් ජාතික වාර්තාව (මීටර 3.55) අලුත් කළ යාපනයේ ජේ. අනීතා අද ජාතික තේරීම් තරගාවලියේ ද එම ඉසව්වට සහභාගී වූ නමුත් ආබාධයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස ඇයගේ උපරිම දක්ෂතා වලට පිවිසීමට නොහැකි වූ අතර ඇයට සාර්ථක කර ගත හැකි වූයේ මීටර 3.30ක උසක් පමණි. යුධ හමුදා ක්‍රීඩා සමාජයේ කේ. එල්. එස්. කේ පෙරේරා (මීටර 3.10) එම ඉසව්වේ දෙවන ස්ථානය දිනාගත් අතර හෙරීනා චන්තිරකුමාර් (මීටර 3.10) තෙවන ස්ථානය දිනා ගන්නා ලදි.

මේ අතරම පිරිමි රිටි පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව වන ඉෂාර සඳරුවන් හට සිය සුපුරුදු දක්ෂතා වලට ළඟා වීමට නොහැකි වූ අතර ඔහු අවස්ථා තුනම සාර්ථක කර ගැනීමට අසමත් වෙද්දී මීටර 4.50ක උසක් වාර්තා කළ ආර්. කේ. කේ. බාලසුරිය ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.     

කාන්තා මීටර 100 කඩුලු මතින් දිවීම ඉසව්වේ ජය හිමි කර ගැනීමට ඒ. අයි. එස්. රණසිංහ (තත්පර14.52) සමත් වූ අතර එච්. ඩබ්ලිව්. කේ. හපුආරච්චි හා පී. ආර්. ගුණතිලක දෙවන තෙවන ස්ථාන දිනා ගැනීමට සමත් විය. පිරිමි මීටර 110 කඩුලු මතින් දිවීම ඉසව්වේ පළමු ස්ථානය තත්පර 14.75ක කාලයක් සමඟින් ඩබ්ලිව්. එස්. රන්දිව දිනා ගත් අතර කේ. පී. එච්. නිර්මාල් දෙවන ස්ථානයත්, ජගත් රාජපක්ෂ තෙවන ස්ථානයත් දිනා ගන්නා ලදි.

තරගාවලියේ දෙවන දිනයේ තොරතුරුත් අප ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමගින්.

>> සම්පූර්ණ ලකුණු සටහන සඳහා පිවිසෙන්න <<

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<