මිල්විල්හී උල්කාපාතය – මයික් ට්‍රවුට්

602
Courtesy - bostonherald.com

බේස්බෝල් යනු ශ්‍රී ලාංකික අපිට ආධුනික ක්‍රීඩාවක් වුවත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වල එය ඉතා ප්‍රසිද්ධ ක්‍රීඩාවකි. එතරම් හුරුපුරුදු ක්‍රීඩාවක් නොවූවත් අපේ රටට බේස්බෝල් ක්‍රීඩාව හඳුන්වා දෙන්නේ 1985 වසරේ දී ය. කෙසේ නමුත් මේ වන විට අප රට තුළ පාසල් මට්ටමේ හා ජාතික මට්ටමේ තරග පැවැත්වෙන බව මේ ලිපිය කියවන බොහෝ දෙනා නොදන්නා බව නම් නොඅනුමානයි.

ලිපිය ලිවීමට පාදක වන්නේ මේ දිනවල පැවැත්වෙන ඇමරිකානු බේස්බෝල් ලීගයේ බටහිර අංශයේ පැවති තරගවලින් ජයග්‍රහණ ලබා ගත් ලොස් ඇන්ජලීස් ඒන්ජල්ස් (Los Angeles Angels) කණ්ඩායමේ සෙන්ටර් ෆීල්ඩර් (Center Fielder) ක්‍රීඩක මයික් ට්‍රවුට්, ලීගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමයි. තවමත් 26 හැවිරිදි තරුණයෙකු වන ට්‍රවුට් ඇමරිකානු ලීගයේ හා මේජර් ලීගයේ (Major League) අනර්ඝතම ක්‍රීඩකයා ලෙස වසර කිහිපයකම සම්මානයට පාත්‍රවීම සුවිශේෂී කරුණකි.

1991 වසරේ අගෝස්තු මස 07 වන දින නිව් ජර්සිහී වින්ලන්ඩ් නගරයේ දී ජෙෆ් හා ඩෙබී ට්‍රවුට් යුවලට දාව මයිකල් නෙල්සන් ට්‍රවුට් නමින් ඔහු උපත ලැබීය. කුඩා කල සිටම බේස්බෝල් ක්‍රීඩා පරිසරයක හැදී වැඩෙන ට්‍රවුට් 2008 වසරේ පැවති බේස්බෝල් ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට යන්නේ එවර එහි ශූරතාවය දිනා ගත් ෆිලඩෙල්ෆියා ෆිලීස් (Philadelphia Philies) කණ්ඩායමේ රසිකයෙකු ලෙසයි.

බේබි රූත් ලීගයේ (Baby-Ruth League) කැල් රිප්කන් (Cal Ripken) කණ්ඩායමේ ශෝට්ස්ටොප් (Shortstop) ක්‍රීඩකයා ලෙස සිය බේස්බෝල් ක්‍රීඩා දිවිය අරඹන ඔහු තම සිහින වීරයා ලෙස ඇදහූ ඩෙරෙක් ජෙටර් (Derek Jeter)ගේ ජර්සි අංකය 02 නිසා ඔහු ද තම අංකය ලෙස එයම භාවිතා කිරීමට පෙළඹුණි. පසුව මිල්විල්හී උසස් පාසලට ඇතුළත් වන ට්‍රවුට් එහි දී ද බේස්බෝල් හා පැසිපන්දු ක්‍රීඩාව ප්‍රගුණ කළේය. එහි දී නෝ හිටර් (No-Hitter) දක්ෂතාවයක් හා හෝම් රන් (Home Run) 18ක් එල්ල කර නව වාර්තාවක් ද පිහිටුවීමට සමත් විය.

2009 වසරේ දී වෘත්තීමය වශයෙන් ක්‍රීඩාවට එළඹෙන ඔහු 2010 වසරේ දී 0.36ක පහර දීමේ සාමාන්‍යයක් සහිතව එම වසරේ ශ්‍රේණිගත කිරීම්වල 85 වන ස්ථානය තමා සතුකර ගැනීමට සමත් විය. එම වසරේ දී ම  ඔහු J. G. Taylor Spike සම්මානය තමා සතු කරගත්තේ එය ලබාගත් ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

“සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුය” යන කියමන සනාථ කරමින් 2011 වසරේ දී ඔහුට ඒන්ජල්ස් කණ්ඩායමේ සාමාජිකත්වය හිමි විය. ට්‍රවුට් සිය ප්‍රථම මේජර් ලීග් තරගයට මුහුණ දෙන්නේ සියැටල් මැරිනර්ස් (Seattle Mariners) කණ්ඩායම සමඟයි. නමුත් නැවත ඔහුට එහි ස්ථානය අහිමි වන්නේ බාධක, හැලහැප්පීම් කාටත් පොදු කරුණක් බව පසක් කරමිනි.

නමුත් උත්සාහය අත්නොහරින ට්‍රවුට් නැවත තම ස්ථානය රැක ගන්නේ ඔහුට ලැබෙන  ඊළඟ තරගයේ දී හෝම් රන් පහරක් එල්ල කර තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම නිසාවෙනි. 2011 වසරේ දී ඔහු දැක්වූ දක්ෂතා මත මයිනර් ලීගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඔහු සම්මානයට පාත්‍රවිය.

2012 වසරේ ජුනි මස ඒන්ජල්ස් කණ්ඩායම හා බැල්ටිමෝර් ඕරියල්ස් (Baltimore Orioles) කණ්ඩායම සමඟ පැවති තරගයේ දී ඔරියල්ස් හී J. J. Hardy එල්ල කළ හෝම් රන් පහරක් ඉතාමත් දක්ෂ ලෙස රැක ගැනීමට ඔහු සමත් විය. එම නිසා ඔහුට Fielding Bible සම්මානය ද, එම මාසයේ දක්ෂතම ක්‍රීඩකයා හා දක්ෂතම රුකී ක්‍රීඩකයා ලෙස ද සම්මානයට පාත්‍රවිය.

එම වසරේ දී ම දක්ෂතම රුකී ක්‍රීඩකයා ලෙස සිව්වරක් සම්මාන දිනා ගත් ඔහු එවැනි දස්කමක් පෙන්වූ ලොව දෙවැනියා බවට පත්විය. එම වසරේම ඇමෙරිකානු ලීගයේ “වසරේ රුකී ක්‍රීඩකයා”, මේජර් ලීගයේ “වසරේ ක්‍රීඩකයා” හා Heart & Hustle සම්මානය ද තමන් සතු කරගත්තේය.

(ට්‍රවුට් විසින් J. J. Hardyගේ හෝම් රන් පහර රැක ගැනීම)

2014 වසරේ දී වසර 6ක කොන්ත්‍රාත් පදනම මත ඇමරිකානු ඩොලර් මිලියන 144.5කට ඒන්ජල්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වන ඔහු මේ දක්වා තම දස්කම් විදහා දක්වමින් ජයග්‍රාහී ගමනක නිරත වෙමින් සිටී.

මයික් ට්‍රවුට් විසින් ලබා ගත් අනෙකුත් සම්මාන හා පෙන්වූ දක්ෂතා :

  • මේජර් ලීගයේ All-Star Game “Most Valuable Player” සම්මානය- 2014 හා 2015
  • ඇමෙරිකානු ලීගයේ “Most Valuable Player” සම්මානය-2014 හා 2016
  • මේජර් ලීගයේ “වසරේ ක්‍රීඩකයා” සම්මානය-2013
  • Hank Aaron සම්මානය-2014
  • Players choice (Outstanding Player) සම්මානය-2014
  • Hitter of The Year සම්මානය-2014
  • හොඳම බේස්බෝල් ක්‍රීඩකයා සඳහා වන ESPY සම්මානය-2015
  • Silver Slugger සම්මානය- 2012 සිට 2016 දක්වා
  • Best Major Leaguer සම්මානය-2016

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<