ඒ නිහතමානී මිනිසා “N’Golo Kanté” නම් විය

527

Badlur Rahman Jalil එදින Kings Cross හි පල්ලිය වෙත ආවේ සුපුරුදු පරිදි ආගමික වතාවත්වල යෙදීමටයි. Arsenal පාපන්දු ක්‍රීඩා සමාජයේ රසිකයෙකු වූ ඔහුට එහි දී හුරුපුරුදු මුහුණක් නෙත ගැටිණි. මොහොතකින් එම මුහුණේ අයිතිකරු කවුරුද යන වග Badlurගේ මතකයට නැගිණි. ඒ වෙන කවුරුත් නොව මේ වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජයග්‍රාහී ප්‍රංශ කණ්ඩායමේ N’Golo Kanté යි.

Kanté පාපන්දු ලෝක කුසලානය අතැතිව – Courtesy- pulzo.com

සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයා හඳුනා ගැනීමෙන් පසු Badlur ඔහු සමඟ සුහද කතා බහක් කිරීමට සූදානම් වූයේ සැබෑ පාපන්දු රසිකයෙකුට ඇති වන හැඟීම් ආශාවන් ඔහු තුළ ද ඇතිවූ නිසයි. තම උත්සාහය සාර්ථක වූ පසු මේ සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයාට වූ ඇබැද්දිය දැන ගැනීමට හැකි විය.

Kanté එදින Cardiff පාපන්දු ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගයකින් අනතුරුව ලන්ඩන් නුවර St Pancras දුම්රිය ස්ථානයට පැමිණ ඇත්තේ Eurostar දුම්රියෙන් පැරිස් නුවරට යාමටයි. නමුත් එම දුම්රිය මඟහැරෙන Kanté ආගමික වතාවන් සිදු කිරීමට Kings Cross හි පිහිටි පල්ලියට යාමට තීරණය කර ඇත.

මීළඟ දුම්රිය පැමිණීමට තවත් වේලා තිබෙන නිසා Badlur ඔහුට නිවස වෙත යාමට ආරාධනා කළේය. එය සතුටින් පිළිගත් Kanté හමු වූ පාපන්දු රසිකයාගේ නිවහන වෙත පැමිණ තේ පානය කර, ප්‍රසිද්ධ PlayStation විනෝද ක්‍රීඩාවක් වන FIFA ක්‍රීඩා කර ඇත. මෙම අවස්ථාවට Badlurගේ යහළුවන් සම්බන්ධ වූයේ සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු තම යහළුවාගේ නිවසට පැමිණීම ඔවුන්ට ද අදහාගත නොහැකි වූ නිසයි. Badlurගේ යහළුවන් සමඟත් FIFA ක්‍රීඩා කළ Kanté ඔවුන් සියලු දෙනා පරාජය කිරීමට ද සමත් වී ඇත. නිවසේ සාදා තිබූ කුකුල් මස් ව්‍යංජනය සමඟ ආහාර ගත් Kanté ඉන්පසු හමු වූ රසිකයන් සමඟ Match of the Day වැඩසටහන ද නරඹා පැය දෙකකට ආසන්න වේලාවක් ඔවුන් සමඟ ගත කර ඇත.

Kanté රසිකයෙකු සමඟ – Courtesy- Twitter

මෙම වසරේ (2018) පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වුණේ ප්‍රංශයයි. එම ජයග්‍රාහී ප්‍රංශ කණ්ඩායමේ මැදපෙළ ආරක්ෂක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ N’Golo Kanté පාපන්දු රසිකයන් අතර ජනාදරයට පත්වූයේ “නිහතමානී ක්‍රීඩකයෙකු” ලෙසයි. ඔහුගේ ළමා කාලය අතිදුෂ්කර අන්දමින් ගෙවුණු අතර ජීවත් වීම සඳහා ඔහු පැරිස් නගරයේ කුණු එකතු කිරීමට පවා සිදුවී ඇත. මේ එම නිහතමානී පාපන්දු ක්‍රීඩකයාගේ සංවේදී කතාවයි.

N’Golo Kanté උපත ලබන්නේ 1991 වසරේ මාර්තු මස 29 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවර දීයි. ඔහුගේ දෙමාපියන් බටහිර අප්‍රිකාවේ රාජ්‍යයක් වන මාලි (Mali) සිට ප්‍රංශය දක්වා පැමිණි සංක්‍රමණික යුවලකි. ඔවුන් Kantéට N’Golo ලෙස නම තබන්නේ Ngolo Diarra නමින් Bamana රාජ්‍යය (වර්තමාන මාලි රාජ්‍යය) පාලනය කළ අධිරාජ්‍යයා සිහිගැන්වීමටයි. ඔවුන් පැරිස් නගරය ආසන්නයේ වූ Rueil-Malmaison නම් නගරයේ කුඩා තට්ටු නිවාස සංකීර්ණයක ඉතා දුෂ්කර ලෙස කල් ගෙවීය.

සාන්ත ජෝසප් විදුහල තවදුරටත් A කාණ්ඩයේ පෙරමුණ රැක ගනියි

2018 ThePapare පාපන්දු ශූරතාවලියේ A කාණ්ඩය යටතේ අද (01) දින බැද්දගාන ක්‍රීඩා සංකීර්ණයේ දී..

Kantéගේ පියාට හරිහමන් රැකියාවක් නොතිබුණු අතර මව පිරිසිදු කරන්නියක් ලෙස සේවය කළ අතර එයින් ලැබුණු මුදල ජීවත් වීමට ප්‍රමාණවත් නොවීය. එන්න එන්නම තම පවුලේ ආර්ථික අපහසුතා වැඩි වීම නිසා කුඩා Kanté කුමන හෝ ආකාරයක රැකියාවක් සොයා නගරය පුරා ගමන් කළ අතර අවසානයේ ඔහු තම නිවස වෙත පැමිණියේ කඩවූ බලාපොරොත්තු සහිත පුද්ගලයෙකු ලෙසයි. මෙසේ දින ගණනක් රැකියාවක් සොයමින් නගරය පුරා සැරිසැරුවත් ඔහුට රැකියාවක් සොයාගත නොහැකි වූයේ ඔහු තවමත් ළමයෙකු වූ නිසයි. නමුත් එක් දිනක් අවසානයේ ඔහුට සතුටුදායක ආකාරයක පිළිතුරක් නගරයේ කුණු ප්‍රතිචක්‍රීකරණය කරන ස්ථානයෙන් ලැබිණි.

Kanté තම මව සමඟ – Courtesy- lifebogger.com

ඊට පසුවදා සිටම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කුණු එකතු කිරීමට පුංචි Kanté නගරය පුරා ගමන් කළේ එයින් ලැබෙන මුදල ඉතා කුඩා වුවත් එයින් කුමන හෝ ආකාරයක සහයෝගයක් තම මවට ලැබේවි යන සිතුවිල්ල සමඟයි. එම සිතුවිල්ල තම ආත්ම ශක්තිය කර ගත් ඔහු කුණු එකතු කරමින් නගරය පුරා සැරිසැරූ අතර එය දිනකට කිලෝමීටර 10කට වැඩිවූවා මිස කෙදිනකවත් අඩු නොවීය.

1998 වසරේ ප්‍රංශයේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පැරිස් නගරය ආශ්‍රිතව තරග පැවැත්වුණු තරග නැරඹීමට පැමිණි රසිකයන් ක්‍රීඩාංගණවල, නවාතැන් ගන්නා හෝටල් ආශ්‍රිතව දමා යන කුණු එකතු කිරීමට කුඩා Kanté සහභාගී විය. එම නිසා එම කාලය තුළ Kanté සතුව යම් තරමකින් මුදලක් ගැවසිනි. නමුත් එම තරගාවලියේ එකදු තරගයක් වත් නැරඹීමට Kantéට උවමනා නොවීය. ඒ තමා මෙතරම් අමාරුවෙන් එකතු කරනා මුදල් තරග නැරඹීමට වඩා තම පවුලට අවශ්‍ය වන වෙනත් වැදගත් දෙයක් සඳහා වියදම් කිරීම සුදුසු බව කුඩා Kantéට වැටහීම නිසාවෙනි.

කුඩා Kanté (ඉදිරි පෙළ වම්පස සිට පළමුවැන්නා) – Courtesy- footballplayerschildhoodpics.blogspot.com

1998 වසරේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් පසු නවමු රාජ්‍යයක් ප්‍රංශය තුළ බිහිවී ඇති බව කුඩා Kantéට දැකගත හැකි විය. ඒ එම වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ප්‍රංශ පාපන්දු කණ්ඩායම සමත් වීමත් සමඟයි. එම කණ්ඩායමේ ක්‍රීඩා කළ සංක්‍රමණික ක්‍රීඩකයින් වූ Zinedine Zidane, Thierry Henry, Patrick Viera, Lilian Thuram සහ Nicolas Anelka යන ක්‍රීඩකයින් තරගාවලියෙන් පසු ඉමහත් ජනප්‍රියත්වයට පත්වූයේ ඔවුන් දැක්වූ දස්කම් නිසාවෙනි.

එම නිසා ප්‍රංශ රජයෙන් රටේ සිටින සංක්‍රමණික පවුල් සඳහා වැඩි අවධානයක් යොමු විය. Kantéගේ අසල්වාසී යහළුවන් ද ඒ වන විට කුඩා කුඩා පාපන්දු ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කිරීම ආරම්භ කර තිබිණි. මේ නිසා ඒ වන විට වයස අවුරුදු 8ක් වූ Kantéගේ සිතෙහි ‘තමන්ද පාපන්දු ක්‍රීඩකයෙකු විය යුතුයි’ යන අධිෂ්ඨානයක් ඇතිවිය.

Zinedine Zidane 1998 වසරේ ලෝක කුසලාන පාපන්දු තරගයක දී – Courtesy- Sportsnet

ඔහුගේ එම අධිෂ්ඨානය මල්ඵල ගැන්වූයේ පැරිස් නගරයේ බටහිර ප්‍රදේශයේ පිහිටි කුඩා පාපන්දු ක්‍රීඩා සමාජයක් වන JS Suresnes හි පාපන්දු ක්‍රීඩා කිරීමට හැකි වීමත් සමඟයි. පළමු දිනයේ සිටම Kanté  අනෙක් ක්‍රීඩකයින් අතර කැපී පෙනුණේ ඔහු ඉතා කුඩා ළමයෙකු නිසා සහ තරගයක් පුරාවටම ක්‍රීඩා කළ හැකි බවට තම ශරීර යෝග්‍යතාවය ද පෙන්වූ බැවිනි.

Kanté එම පාපන්දු ක්‍රීඩා සමාජයට සම්බන්ධ වූ පසු විවිධ තරගාවලි වලින් ජයග්‍රහණය ලැබීමට ඔවුන්ට හැකි විය. ඔහු JS Suresnes කණ්ඩායමේ ද ක්‍රීඩා කළේ මැදපෙළ ආරක්ෂක ක්‍රීඩකයෙකු ලෙසයි. දැඩි කැපවීමකින් යුතුව පුහුණුවීම් කළ ඔහු JS Suresnes කණ්ඩායම ජයග්‍රහණය කළ කුසලානයන්හි සැබෑ අයිතිකරු විය. නමුත් ඔහු තම ජයග්‍රහණ සැමරීම කෙරෙහි හිත යොමු නොකර සිටියේ එය තමන්ගේ ක්‍රීඩා දිවියේ ඉදිරි ගමනට බාධාවක් වෙයි කියා ඔහුට සිතුණ බැවිනි.

Kantéට වයස අවුරුදු 11ක් වන විට ඔහුගේ ආදරණීය පියා මෙලොව හැර ගියත් ඔහු එය තමාගේ ඉදිරි ගමනට බාධාවක් කර නොගැනීමට වගබලා ගත්තේය. තමන් සමඟ ක්‍රීඩා කළ අනෙකුත් ළමයින් වයසත් සමඟ උසින් වැඩි වුවත් Kantéගේ උසෙහි එතරම් වර්ධනයක් නොවිණි. නමුත් එය ද ගැටලුවක් කර නොගත් ඔහු ඉතා බලසම්පන්න ලෙස ක්‍රීඩා කළ අතර තරගයක දී පිටියේ ඔහුට නොපෑගුණ තණකොළ ගසක් නොතිබිණි.

JS Suresnes කණ්ඩායමේ ක්‍රීඩා කරන විට Kanté – Courtesy- Dailymail

Kantéට වයස අවුරුදු 12ක් පමණ වන විට ක්‍රීඩා සමාජයේ සිටි දක්ෂතම ක්‍රීඩකයන්ගෙන් කෙනෙකු බවට පත්වීමට හැකි වූ නිසාම එහි සහාය කළමනාකරු ලෙස කටයුතු කළ Pierre Ville, Kantéට අමතර මුදලක් උපයා ගැනීමට මගක් පාදා දීමට සමත් විය. ඒ ක්‍රීඩා සමාජයට අලුතින් සම්බන්ධ වන සහ සම්බන්ධ වී සිටින කුඩා ළමයින් පුහුණු කරන කණ්ඩායමට Kantéව ඇතුළත් කරමිනි.

එම නිසා තව තවත් තම කුසලතා වර්ධනය කරගැනීමට සමත් වූ Kanté වසර 10කට අධික කාලයක් JS Suresnes කණ්ඩායම සඳහා ක්‍රීඩා කළ අතර 2010 වසරේ දී ඔහු Boulogne පාපන්දු ක්‍රීඩා සමාජයට ඇතුළත් වීමට වරම් හිමිකර ගත්තේය. එහි දැක්වූ දක්ෂතා මත 2013 වසරේ දී Caen පාපන්දු ක්‍රීඩා සමාජයට ඇතුළත් වූ අතර ඒ වන විට ඔහුගේ අරමුණ වී තිබුණේ එංගලන්තයේ පිහිටි පාපන්දු ක්‍රීඩා සමාජයක් හා සම්බන්ධ වීමටයි. 2015 වසරේ දී ඔහුට එම අරමුණ ඉටුකර ගැනීමට හැකි වන්නේ Leicester City පාපන්දු ක්‍රීඩා සමාජය විසින් යූරෝ මිලියන 8කට ඔහුව බඳවා ගැනීමත් සමඟයි.

Leicester City කණ්ඩායමට ක්‍රීඩා කරන Kanté – Courtesy- The Telegraph

මාලි රාජ්‍යයේ දෙමාපියන්ට උපත ලද නිසාත්, ඒ වන විට ප්‍රංශය සඳහා කුමන හෝ වයස් කාණ්ඩයක කණ්ඩායමක ක්‍රීඩා කර නොමැති නිසාත් තම රටට ක්‍රීඩා කරන ලෙස මාලි රාජ්‍යයේ බලධාරීන් විසින් Kantéට ආරාධනා කර තිබිණි. ඒ 2015 වසරේ අප්‍රිකානු කුසලාන පාපන්දු තරගාවලිය සඳහායි. එය Kanté විසින් ප්‍රතික්ෂේප කළේ “තමන් තවමත් හොඳින් දක්ෂතා අතරට පැමිණ නොමැති” බව පවසමිනි.

නැවතත් 2016 වසරේ මුල් භාගයේ ද මාලි රාජ්‍යයෙන් ආරාධනා ලබන Kanté, එවර එය ප්‍රතික්ෂේප කරන්නේ තවමත් ඔහු ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීම පිළිබඳව තීරණයක් ගෙන නොමැති බව පවසමිනි. නමුත් ඊට මාස දෙකකට පසු එනම් 2016 වසරේ මාර්තු මස 17 වැනිදා රුසියාව සහ නෙදර්ලන්තය සමඟ පැවැත්වූ සුහද තරග සඳහා ප්‍රංශයේ ජාතික පාපන්දු කණ්ඩායමට කැඳවන Kanté තම ක්‍රීඩා දිවියේ පළමු ජාත්‍යන්තර තරගය ලෙස මාර්තු මස 25 වැනිදා නෙදර්ලන්තය සමඟ පැවති තරගය ක්‍රීඩා කළේය. ඒ තරගයේ දෙවන අර්ධයේ දී Lassana Diarra වෙනුවට Kantéව ආදේශ කිරීම හේතුවෙනි.

ප්‍රංශයේ ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කරන Kanté – Courtesy- Twitter

පුද්ගලයෙකුට ඔහුගේ උපන්දිනයේ දී තෑගි ලැබීම සාමාන්‍ය සිදුවීමකි. එහෙත් තම 25 වැනි උපන්දිනය දා Kantéට විශේෂ ත්‍යාගයක් හිමි විය. ඒ එදින රුසියාව සමඟ පැවති තරගය ක්‍රීඩා කරන ආරම්භක ක්‍රීඩකයින්ගේ නම් අතරට ඔහුගේ නම ද ඇතුළත්ව තිබීමයි. ආරම්භ කරන ලද පළමු තරගයෙන් ලකුණු 4–2ක ජයග්‍රහණයක් හිමි වීම තම උපන්දිනයට හිමි වූ අමතර ත්‍යාගයක් බඳු විය.

2016 වසරේ ජූලි මාසයේ දී Chelsea පාපන්දු ක්‍රීඩා සමාජය විසින් Kanté යූරෝ මිලියන 32කට මිලට ගනු ලබන්නේ ඔහු සතු දක්ෂතාවයට නියම අගයක් එක් කරමිනි. ඔහුට එක් සතියකට ලැබෙනා ආදායම යූරෝ 130,000කට වඩා වැඩිය. ඔහු සතුව එතරම් විශාල මුදලක් තිබුනත් ඔහු Chelsea කණ්ඩායමේ පුහුණුවීම් සඳහා පැමිණ ඇත්තේ ස්කුටරයකිනි. වර්තමානයේ මිනි කූපර් රථයක් ඔහු සතු වුවත් ඔහුගේ ගමන් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ පොදු ප්‍රවාහන සේවයෙනි.

Kantéගේ මිනි කූපර් රථය – Courtesy- Twitter

Leicester City පාපන්දු ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන විට Kantéගේ හිසකෙස් කැපීම සිදු කරන ලද්දේ Naji Nagy නම් කරණවෑමියා විසිනි. Kanté ඉන්පසු Chelsea කණ්ඩායමට ක්‍රීඩා කරන විටත් ඔහුගේ හිසකෙස් කැපීමට Leicester නගරයේ සිට Chelsea නගරය දක්වා සැතපුම් 130ක දුරක් පැමිණීමට Naji හට මුදල් ගෙවීමක් ද කරන ලද්දේ ඔහු සතුව තිබූ නිහතමානීකම නිසාවෙනි. Naji විසින් Kanté පිළිබඳව මෙසේ අදහස් ප්‍රකාශ කර ඇත.

Naji විසින් Kantéගේ හිසකෙස් කපන අවස්ථාවක් – Courtesy- Leicester Mercury

“මං ඔහුගේ හිසකෙස් කැපීම සිදු කරන්නේ ඔහු Leicester නගරයට පැමිණි දවස්වල සිටයි. මට ඔහුව පාරිභෝගිකයෙකුට වඩා යහළුවෙකු වගෙයි. ඔහු Chelsea නගරයට යාම පිළිබඳව දුකක් තිබුනත් ඔහුගේ හිසකෙස් කැපීමට Chelsea නගරයට යාමට මට මුදල් එවීම පිළිබඳ සතුටුයි.”

“මගේ අදහසක් තිබෙනවා පවුලේ අය සමඟ Chelsea නගරයේ පදිංචියට යාමට. එවිට මට Chelsea කණ්ඩායමේ රසිකයෙකු වී Kantéට සහයෝගය දක්වන්න පුළුවන්”

ඇත්තෙන්ම Kanté යනු පාපන්දු ක්‍රීඩකයින්ට පමණක් නොව මුළු මහත් ප්‍රජාවටම ආදර්ශයට ගත හැකි නිහතමානී චරිතයකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<