හෙට්මයර්ගේ ආක්‍රමණශීලීත්වය හමුවේ ඉන්දියාව පසුබසී

95

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ චෙන්නායි හීදී පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ  (15) සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට කොදෙව් නායක කිරන් පොලාර්ඩ් තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරණ යුගලය බවට පත්වූයේ රෝහිත් ශර්මා හා කේ. එල්. රාහුල් ය.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගීමට හැකි වූයේ ලකුණු 21ක සබඳතාවයක් පමණක් වූයේ ලකුණු 6ක් ලබා සිටි කේ. එල්. රාහුල්, ශෙල්ඩන් කෝට්‍රල්ගේ පන්දුවක් හමුවේ දැවී යාම හේතුවෙනි.

වැඩි වේලාවක් යාමට මත්තෙන් ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිගේ කඩුල්ල ද කෝට්‍රල් විසින් දවා ගනු ලැබීය. ඉන්දීය ලකුණු පුවරුව 25/2ක් බවට පත්කරමින් කෝලි ක්‍රීඩාගාරය වෙත හැරී ගියේ කොදෙව්වන්ට තරගය ආරම්භයේ දී ම පෙරමුණ හිමිකර දෙමිනි.

අනතුරුව පිටියේ එක්වූ නවක පිතිකරු ශ්‍රෙයාස් අයියර්, රෝහිත් සමඟින් ඉන්දීය ලකුණු පුවරුව 80ක් දක්වා රැගෙන ගිය අතර තරමක් මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් පන්දු 56ක දී ලකුණු 36ක් ලබා ගත්තේය. අල්සාරි ජෝසප්ගේ පන්දුවක් හමුවේ රෝහිත් තම ඉනිම හමාර කළේ නැවතත් කොදෙව්වන්ට තරගයේ වැඩි වාසි හිමිකර දෙමිනි.

ඉන්පසුව පිටියට පිවිසියේ කඩුලු රකින රිෂාබ් පාන්ට් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළේ පන්දු 69ක දී ලකුණු 71ක් ලබා ගනිමිනි. ඊට හතරේ පහරවල් 7ක් සහ දැවැන්ත හයේ පහරක් අන්තර්ගත විය. ඔහුට අනගි සහයක් ලබා දෙමින් ශ්‍රෙයාස් අයියර් ඉන්දීය ඉනිමේ නැංගුරම බවට පත්වූයේ පන්දු 88ක දී ලකුණු 70ක් ලබා ගනිමිනි. ඒ සඳහා හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් අන්තර්ගත විය.

ඔවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 114ක දැවැන්ත සබඳතාවයක් ගොඩනගනු ලැබුවේ වැටී තිබූ ඉන්දිය ඉනිම තරගය වෙත අවතීර්ණ කරමිනි. ඉන්දීය මුළු ලකුණු සංඛ්‍යාව 210 බවට පත්වන විට ඔවුන් දෙදෙනාම තම ඉනිම් හමාර කළ අතර ඒ වන විට පන්දුවාර සංඛ්‍යාව සටහන් වූයේ 39.4ක් ලෙසිනි.

අනතුරුව පිටියේ එක්වූ කේදාර් ජාදව් සහ රවින්ද්‍ර ජඩේජා හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක වේගවත් සබඳතාවයක් එක් කරනු ලැබුවේ පන්දුවාර 7.5ක් පමණක් ඒ සඳහා වැය කරමිනි. 

එහි දී ජාදව් පන්දු 35ක දී ලකුණු 40ක් ලබා ගත් අතර ඔහුට අනගි සහයක් ලබා දුන් ජඩේජා පන්දු 21ක දී ලකුණු 21ක් රැස් කළේය. ඉන්දීය මුළු ලකුණු සංඛ්‍යාව 269ක්ව තිබිය දී ඔවුන් දෙදෙනාම තම ඉනිම් අවසන් කළේ ඉන්දීය ඉනිමට යම් ස්ථාවරත්වයක් හිමිකර දෙමිනි.

ඉන්දීය ඉනිමේ අවසන් භාගයේ දී ලකුණු වේගය වැඩි කිරීමේ අරමුණින් පිටියට පිවිසි ශිවාම් ඩුබේට තම මංගල එක්දින වශයෙන් රැස්කිරීමට හැකි වූයේ පන්දු 6ක දී ලකුණු 9ක් පමණි.

කෙසේ වෙතත් ඉන්දියාව තම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 287ක් ලබා ගත්තේ කොදෙව්වන්ට අභියෝගාත්මක ඉලක්කයක් හිමිකර දෙමිනි. 

පන්දු යැවීමේ දී ශෙල්ඩන් කෝට්‍රල්, කීමෝ පෝල් හා අල්සාරි ජෝසප් තිදෙනා අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කොදෙව් ආරම්භක පිතිකරුවන් බවට පත්වූයේ ශයි හෝප් හා සුනිල් අම්බ්‍රිස් යුගලයයි.

එහෙත් ආරම්භයේ දී ම ක්‍රියාත්මක වූ දීපක් චහාර්, අම්බ්‍රිස්ව කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගත්තේ ඔහු යන්තම් ලකුණු 9ක් පමණක් ලබා සිටිය දීයි. ඒ වන විට කොදෙව් ලකුණු පුවරුව 11/1ක් වශයෙන් සටහන් විය. 

අනතුරුව පිටියට පිවිසියේ වමත් පිතිකරු ශිම්රොන් හෙට්මයර් ය. තරගය මුළුමුනින්ම කණපිට ගැසීමට පටන්ගත්තේ ඒ සමඟිනි. පිටියට පිවිසි මොහොතේ පටන් පිටිය සිසාරා ඉන්දීය පන්දු යවන්නන්ට එළව එළවා බැට දුන් හෙට්මයර් ආක්‍රමණශීලී ඉනිමක් ක්‍රීඩා කළේ දැවැන්ත ලකුණු 139ක් ලබා ගනිමිනි. ඒ සඳහා ඔහු පන්දු 106ක් පමණක් වැය කළ අතර හතරේ පහරවල් 11ක් හා හයේ පහර 7ක් අන්තර්ගත විය. 

හෙට්මයර්ට හාත්පසින්ම වෙනස් තැන්පත් හා මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කරමින් අනෙක් අන්තයෙන් අනගි සහයක් ලබා දුන් ෂායි හෝප් නොදැවී ලකුණු 102ක් ලබා ගත්තේ ඒ සඳහා පන්දු 151ක් වැය කරමිනි. කොදෙව් ඉනිමේ නැංගුරම බවට පත්වූ හෝප්ගේ ඉනිමට අතර හතරේ පහරවල් 7ක් හා එක් හයේ පහරක් අන්තර්ගත විය. 

ඒ සමඟින් හොප්-හෙට්මයර් අතර දෙවන කඩුල්ල සඳහා දැවැන්ත ලකුණු 218ක සබඳතාවයක් ගොඩනැගුණේ තරගයේ ඉන්දීය බලාපොරොත්තු සුනුවිසුනු කර දමමිනි. කොදෙව් ලකුණු පුවරුව 229ක් ලෙස සටහන් වන විට දෙවන කඩුල්ල වශයෙන් හෙට්මයර්ගේ ප්‍රවේගකාරී ඉනිම අවසන් වූයේ මොහොමඩ් ශමීගේ පන්දුවක් හමුවේ දැවී යමිනි.

එතැන් පටන් තරගයේ අවසානය තෙක්ම පිටියේ රැඳී සිටි ෂායි හෝප් සහ නිකලස් පූරාන් දෙදෙනා පන්දුවාර 47.5ක දී කොදෙව් ජයග්‍රාහී ඉලක්කය සපුරා ගනු ලැබුවේ කඩුලු 8ක ජයක් කොදෙව්වන්ට හිමිකර දෙමිනි. එහි දී හෝප්ට අනගි සහයක් ලබා දුන් පූරාන් පන්දු 23ක දී වේගවත් ලකුණු 29ක් නොදැවී ලබා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය නිතරගයෙන්ම හිමිකර ගැනීමට කොදෙව් ජයග්‍රහණයේ නියමුවා බවට පත් වූ ශිම්රොන් හෙට්මයර් සමත් විය.

මෙම තරගයේ ජයග්‍රහණයත් සමඟින් තරග 3කින් සමන්විත එක්දින තරගාවලියෙන් 1-0ක් වශයෙන් පෙරමුණ ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය එළඹෙන බදාදා (18) විශාඛපට්නම් හිදී පැවැත්වීමට නියමිතව ඇත.

ඉන්දියාව – 287/8 (පන්දුවාර 50): රිෂාබ් පාන්ට් 71 (69), ශ්‍රෙයාස් අයියර් 70 (88), කේදාර් ජාදව් 40 (35), කීමෝ පෝල් 2/40

බටහිර ඉන්දීය කොදෙව් (පන්දුවාර 47.5): ශිම්රොන් හෙට්මයර් 139 (106), ෂයි හෝප් 102* (151), නිකලස් පූරන් 29* (23), දීපක් චහාර් 1/48

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<