“පාපන්දු ක්‍රීඩකයෙක් වුන පලියට පරිපාලකයෙක් වෙන්න බැහැ” – රොද්‍රිගෝ

296

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතව ඇති අතර එහි සභාපති ධූරය සඳහා ඉදිරිපත් වන එක් අපේක්‍ෂකයෙක් වන රංජිත් රොද්‍රිගු මහතා සමඟ සංවාදයක නිරත වීමට ThePapare.com කටයුතු කළේය.

රංජිත් රොද්‍රිගු මහතා 2013 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර ඔහු මේ වන විට මාධ්‍ය හා මුදල් කටයුතු සම්බන්ධ අධ්‍යක්‍ෂ ධූරයේ කටයුතු කරයි. ඔහු ප්‍රථමයෙන් ‘Dialog’ ශූරයින්ගේ කුසලානය නියෝජනය කරන කණ්ඩායමක් වන මීගමුව යූත් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කළ අතර අනතුරුව 1996 වසරේ දී ඔහු මීගමුව යූත් කණ්ඩායමේ සභාපතිවරයා ලෙස තේරීපත් වූයේ 1996 වසරේ සිට 2000 වසර දක්වා මීගමුව පාපන්දු ලීගයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කරන අතරතුර ය.

මහනුවර පාපන්දු ක්‍රීඩාංගණවල ගැටලුව

කලක් පාපන්දු ක්‍රීඩාවේ දක්‍ෂයින්ට තෝතැන්නක්ව තිබූ මහනුවර ප්‍රදේශය අද වන විට පාපන්දු ක්‍රීඩාව සඳහා අවශ්‍ය මූලික පහසුකම් පවා නොමැති ප්‍රදේශයක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය ජූලි මස 01 වන දින ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිත ය. එහි දී තේරී පත් වන නිලධාරි මණ්ඩලය 2021 දක්වා කටයුතු කරනු ඇත.

“ඔබතුමා පාපන්දු ක්‍රීඩාවට සහ පාපන්දු පරිපාලනයට සම්බන්ධ වීම පිළිබඳවත්, ඔබතුමා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධූරය සඳහා නුසුදුසු බවත් බොහෝ දෙනා එල්ල කරන චෝදනාවක්. ඒ ගැන ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නේ?”

“පාපන්දු ක්‍රීඩාවත්, පාපන්දු පරිපාලනයත් කියන්නේ දේවල් දෙකක්. කෙනෙක් හොඳ පාපන්දු ක්‍රීඩකයෙක් වුනා කියලා ඔහුට හොඳ පාපන්දු පරිපාලකයෙක් වෙන්න බැහැ. උදාහරණයක් විදිහට ගන්න පේලෙ සහ මැරඩෝනා වැනි ක්‍රීඩකයින්. ඔවුන් ඉතා දක්‍ෂ ක්‍රීඩකයින්. නමුත් ඔවුන් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ තියා ඔවුන්ගේ රටවල්වල පාපන්දු සම්මේලනවල වත් සභාපතිවරු වුනේ නැහැ. හොඳ ක්‍රීඩකයෙක්, හොඳ පරිපාලකයෙක් වෙන්නේ ඉතා කලාතුරකින්.

ක්‍රිකට් ක්‍රීඩාවේත් ඒ වගේ තමයි. අනාගතයේ දී හොඳ පරිපාලකයන් වීමට හැකි බවට ඉඟි පළ කරලා තියෙන්නේ මහේල සහ සංගක්කාර පමණයි. මම මීගමුවේ පාපන්දු ක්‍රීඩාව සමඟ වසර 25කට ආසන්න කාලයක් කටයුතු කරලා තිබෙනවා. මම මීගමුව යූත් කණ්ඩායමට ක්‍රීඩා කරලා පරිපාලනයට ආවේ ඉතාම පහළ මට්ටමකින්. ඒ මගේ කණ්ඩායමෙන් සහ මීගමුව පාපන්දු ලීගයෙන්. ඒ වගේම තාමත් එහි සභාපතිවරයා මම.”

“ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව පසුගිය වසර කිහිපයක සිට තිබෙන්නේ එතරම් හොඳ තත්වයක නෙමෙයි. ඒකට ඔබතුමාගේ සැලසුම් මොනවාද? ඒ වගේම ඔබතුමා විශ්වාස කරනවා ද මේ තත්වය වෙනස් කරන්න ඔබතුමාට හැකි වෙයි කියලා?”

අපි හැමවෙලේම වගේ සැලසුම් සකස් කරනවා. නමුත් සියලු දෙනා එක් වෙලා ඒ ගැන කතා කරන්නේ නැහැ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පාසල් මට්ටම, ක්‍රීඩා සමාජ තරගාවලි වගේම යොවුන් පාපන්දු පද්ධතිය ගැන අවධානය යොමු කළ යුතුයි. හොඳ ප්‍රමිතියෙන් යුතු පාපන්දු ක්‍රීඩා සමාජ තරගාවලියක් ස්ථාපිත කිරීම අවශ්‍යයි. ඒ මඟින් ජාතික කණ්ඩායමට දක්‍ෂ ක්‍රීඩකයින් තෝර ගන්න පුළුවන්.

අපි නිලවරණයෙන් තේරීපත් වුනොත් සතියක, දෙකක වගේ කාලයක් යනකන් මම විධායක කමිටුව පත්කරන්නේ නැහැ. ඒ කාලය තුළ දී මම පාපන්දු පුහුණුකරුවන්, තරග තීරකයින්, ක්‍රීඩකයින්, මාධ්‍ය, මේ වගේ හැමෝම සම්බන්ධ කර ගෙන නිසි සාකච්ඡාවක් හෝ වැඩමුළුවක් පවත්වනවා. ඒ හරහා ඔවුන්ගේත් අදහස් ලබාගෙන හැමෝටම එකට කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම මම සැලසුම් කරලා තිබෙන්නේ අත්දැකීම් සහ සුදුසුකම්වලින් යුතු පුද්ගලයින්ව මාධ්‍ය, මුදල්, අලෙවිකරණ ඇතුළු කමිටුවලට පත්කරන්න. කෙටි කාලීන මෙන්ම දිගු කාලීන සැලසුම් ද සකස් කළ යුතුයි.”

“වැඩි දෙනෙකුට අවශ්‍ය වෙලා තිබෙන්නේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ බලයත් තනතුරුත් ලබා ගන්න. අපි ගොඩක් වෙලාවට දැකලා තිබෙන විදිහට ඒ නිසා කටයුතු නිසි පරිදි සිදු වෙන්නේ නැහැ. ඒ වගේම අපි දැකලා තිබෙනවා බලය අනිසි ලෙස භාවිතා කරන අවස්ථාත්. මේ ගැන ඔබතුමා මොකද හිතන්නේ?”

“ඒක ඇත්ත. පාපන්දු සම්මේලනයේ බලය ලබා ගන්න පුද්ගලයින් බලය අනිසි ලෙස භාවිතා කරනවා. මම සභාපති ධූරය සඳහා තෙරීපත්වෙන එක නෙමෙයි ගැටලුව. ගැටලුව තිබෙන්නේ දරන්න වෙන වගකීම් කන්දරාව. මම කවදාවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මුදල් වත් දේපළ වත් අනිසි ලෙස භාවිතා කරලා නැහැ. ඒ දේවල් භාවිතා කරලා තිබෙන්නේ රාජකාරි කටයුතු සඳහා පමණයි. ගොඩ දෙනෙක් මේක රැකියාවක් හරි ව්‍යාපාරයක් හරි කර ගන්න උත්සාහ දරනවා. සම්මේලනයේ තිබෙන්නේ ස්වේච්ඡා තනතුරු. ඒක ඒ විදිහටම පැවතිය යුතුයි. අපිට බලය ලැබුනොත් මම ඒක බලාත්මක කරනවා. රාජකාරිමය කටයුත්තකට හැර වෙනත් කිසිම කටයුත්තකට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ දේපළ හෝ වෙනත් කිසිදු දෙයක් භාවිතා කරන්න ඉඩ දෙන්නේ නැහැ.

ගොඩ දෙනෙක් එන්නේ තනතුරු ලබා ගන්නයි, විදේශ සංචාරවල නිරත වෙන්නයි. ඒකයි අපට කිසිම ක්‍රීඩාවක් දියුණු කරන්න බැරි. ඔවුන් නිසි කැපවීමක් ලබා දෙන්නේ නැහැ,. ඒ නිසා තිබෙන කමිටු තවත් ක්‍රියාකාරී කිරීම අවශ්‍යයි.”

“ඒ වගේම චෝදනාවක් තිබෙනවා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අද වන විට මේ වගේ තත්වෙකට වැටිලා තිබෙන්නේ එහි වැදගත් තනතුරු දරපු නිලධාරීන්ගේ සුදුසුකම් නැතිකම නිසා කියලා. ඒ ගැන ඔබතුමා මොකද හිතන්නේ? ඒ වගේම ඔබතුමා තේරීපත් වුණොත් ඒකට ගන්න පියවර මොනවාද?”

“ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) තිබෙනවා ‘Meeting Week’ කියලා සංකල්පයක්. එහි දී සිදු වෙන්නේ සියලුම කමිටු එකතු වෙලා අනාගතය වෙනුවෙන් සැලසුම් සකස් කරලා ඒවා ගැන නිසි ආකාරයට සාකච්ඡා කරන එක. මාත් සැලසුම් කරලා තිබෙන්නේ මාස 3කට වරක් ‘Meeting Week’ එකක් තියන්න. එහි දී පිට පළාත්වලින් පැමිණෙන නිලධාරීන්ට ගමන් ගාස්තුව හෝ දීමනාවක් ලබා දීම අවශ්‍ය යි.

ඒ වගේම මම හොඳ වෘත්තීය මට්ටමේ ප්‍රධාන විධායක නිලධාරියෙක් (CEO) පත්කරනවා. මේ වෙනකන් ඒ ධූරය දරපු අය නිසි සුදුසුකම් තිබෙන අය නෙමෙයි. සුදුසුකම් තිබෙන ප්‍රධාන විධායක නිලධාරියෙක් දන්නවා කරන්න අවශ්‍ය දේවල්. මම වෙනසකටත් එක්ක ට්‍රේවර්ව රැගෙන ආවා. ඔහු අත්දැකීම්වලින් පරිපූර්ණ ක්‍රීඩකයෙක්. ඒ වගේම තරගාවලි අධ්‍යක්‍ෂ ධූරය සඳහාත් වෘත්තීය මට්ටමේ නිලධාරියෙක් පත්කරන්න මම අවධානය යොමු කරනවා. එහි දී පාපන්දු ලීගයකට හෝ සමාජයකට සම්බන්ධයක් නැති ක්‍රීඩකයෙක් තෝරා ගත යුතුයි. අලෙවිකරණ අංශය සඳහාත් එහෙමයි.”

“පාපන්දු ක්‍රීඩා සමාජ තමයි ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් බිහි කරන්නේ. හොඳ, දක්‍ෂ ක්‍රීඩකයින් බිහි කරන්න නම් ක්‍රීඩා සමාජ සහ තරගාවලි හොඳ මට්ටමක පැවතිය යුතුයි. නමුත් අද වන විට පාපන්දු ක්‍රීඩා සමාජ ඉතා අපහසු තත්වයක් යටතේ තමයි පවත්වා ගෙන යන්න සිදු වෙලා තිබෙන්නේ. මේකට පිළියමක් ලබා දෙන්න ඔබතුමාට තිබෙන දැක්ම මොන වගේ ද?”

“අපි පාපන්දු ක්‍රීඩා සමාජවලට අනුග්‍රාහකයින් ලබා දෙන්න සැලසුම් කරනවා. වෙළඳසේවා තරගාවලිය මේ වන විට හොඳින් පැවැත්වෙනවා. කාලයක් ශ්‍රී ලංකාවේ හොඳම පාපන්දු ලීග් තරගාවලිය වෙලා තිබුණේ වෙළඳසේවා තරගාවලිය. ඩිමෝ, ලේක් හවුස්, Tri Star, හැටන් නැෂනල් බැංකුව, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය, ද ෆිනෑන්ස් සමගම සහ සෙලින්කෝ සමගම වැනි හොඳ කණ්ඩායම් එහි ක්‍රීඩා කළා. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන දක්‍ෂතම ක්‍රීඩකයින් එහි ක්‍රීඩා කළා. ඒ නිසා වෙළඳසේවා පාපන්දු තරගාවලිය අපිට තවත් වැඩි දියුණු කරන්න පුළුවන් නම් අපේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට හොඳ රැකියාවකුත් ලැබෙනවා. ඒක ඔවුන්ට ගොඩක් වැදගත් වෙනවා.

ලීග් තරගාවලියක් පවත්වන්න විශාල මුදලක් වැය වෙනවා. මුදල් නැත්නම් තරගාවලි පවත්වන්න බැහැ. එතකොට දියුණුවක් සිදු වෙන්නෙත් නැහැ. මම පවත්වන මීගමුව ලීගය සඳහා පසුගිය වසරේ දී මිලියන 1.4කට ආසන්න මුදලක් වැය වුනා. ඒ වගේම යුද්ධයෙන් පස්සේ උතුරු පළාතට පාපන්දු ක්‍රීඩාව රැගෙන ගියේ මම. අරියලෙයි ක්‍රීඩාංගණය වගේ ක්‍රීඩාංගණ ඉදි කරලා වඩමාරච්චි සහ වලිකාමම් වැනි නව පාපන්දු ලීග පළාතෙන් ආරම්භ කළා. ඒ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් පළමු කාණ්ඩයේ තරගාවලියේ වගේම FA කුසලානයේත් මේ වන විට හොඳින් ක්‍රීඩා කරන්න සමත් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව දියුණු කරන්න ඕනෑ තරම් අවස්ථා තිබෙන බව ඒකෙන් පැහැදිලි වෙනවා.

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට