කණ්ඩායම් 4ක් අපරාජිතව ඉදිරියට

938

තුරඟ තරග පිටියේ අද (10) පැවති ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු දිනය අවසානයේ අපරාජිතව තරගාවලියේ රැඳෙන්නට නාවික හමුදා A කණ්ඩායම, පොලිස් A කණ්ඩායම, යුද හමුදා කණ්ඩායම සහ CR & FC A කණ්ඩායම සමත් විය.

දහවල් 12.50ට තරගාවලියේ පළමු තරගය නාවික හමුදා A කණ්ඩායම සහ CH & FC B කණ්ඩායම අතර ආරම්භ විය. මෙම තරගයට සහභාගී වූ CH & FC B කණ්ඩායම තරමක් දුර්වල කණ්ඩායමක් විය. ඒ අනුව මෙම තරගය ලකුණු 38-05ක් ලෙස පහසුවෙන් ජය ගන්නට නාවික හමුදා A කණ්ඩායම සමත් විය.

නොකඩවා 8 වන වරටත් ශූරතාව ඩී. එස්. කණ්ඩායමට

කාල වර්ණයෙන් සහ රන් පැහැයෙන් යුතු වලාකුළු කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයට ඉහළින් බැබළෙද්දී රන් රග්බි සංග්‍රාමයේ ස්වර්ණමය කුසලානය…

ඉන් අනතුරුව ගුවන් හමුදා A කණ්ඩායම සහ CR & FC B කණ්ඩායම අතර පැවැත්විය. එම තරගය ලකුණු 29-10ක් ලෙස ජයග්‍රහණය කරන්නට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් විය.

නාවික හමුදා B කණ්ඩායම සහ CH & FC A කණ්ඩායම අතර පැවති තරගය ජයග්‍රහණය කළේ නාවික හමුදා කණ්ඩායමයි. CH & FC කණ්ඩායම නවක ක්‍රීඩකයින්ගෙන් සමන්විත ප්‍රබල කණ්ඩායමක් වුවත් ඔවුන්ව අභිබවා යන්නට නාවික හමුදා B කණ්ඩායමේ ක්‍රීඩකයින් සමත් විය.

හැව්ලොක් SC කණ්ඩායම සහ ගුවන් හමුදා B කණ්ඩායම අතර පැවති තරගයේ දී හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් දුලාජ් පෙරේරා ආබාධයකින් අනතුරුව නැවතත් තම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අතර ඔහු තම කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වන්නට සමත් විය. ඒ අනුව එම තරගය හැව්ලොක් ක්‍රීඩකයින් ජය ගත්තේ ලකුණු 31-00ක් ලෙසයි.

ප්‍රබල ක්‍රීඩකයින්ගෙන් සමන්විත CR & FC A කණ්ඩායම, පොලිස් B කණ්ඩායම ලකුණු 59-00ක් ලෙස පහසුවෙන් පරාජය කරන්නට සමත් විය.

තරගාවලියේ පළමු දිනයේ ප්‍රතිඵල

පළමු කණ්ඩායම ලකුණු ලකුණු දෙවන කණ්ඩායම
නාවික හමුදා SC – A 38 05 CH & FC – B
ගුවන් හමුදා SC – A 29 10 CR & FC – B
CH & FC – A 07 17 නාවික හමුදා SC – B
හැව්ලොක් SC 31 00 ගුවන් හමුදා SC – B
CR & FC – A 59 00 පොලිස් – B
පීටර්සන් SC 22 14 CH & FC – B
පොලිස් – A 21 19 CR & FC – B
යුද හමුදා SC 07 05 නාවික හමුදා SC – B
CR & FC – A 35 00 ගුවන් හමුදා SC – B
හැව්ලොක් SC 47 05 පොලිස් – B
නාවික හමුදා SC – A 59 00 පීටර්සන් SC
ගුවන් හමුදා SC – A 07 21 පොලිස් – A
CH & FC – A 10 21 යුද හමුදා SC
හැව්ලොක් SC 12 17 CR & FC – A
ගුවන් හමුදා SC – B 36 00 පොලිස් – B

තරගාවලියේ උද්වේගකරම තරගය අපරාජිත හැව්ලොක් කණ්ඩායම සහ අපරාජිත CR & FC A කණ්ඩායම අතර පැවති අතර එහි දී පළමු අර්ධය අවසානයේ දී ලකුණු 12-00ක් ලෙස පෙරමුණ ගන්නට හැව්ලොක් කණ්ඩායම සමත් විය. නමුත් තරගයේ දෙවන අර්ධයේ දී ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කරන්නට CR ක්‍රීඩකයින් සමත් වූ අතර එම අර්ධයේ දී ඔවුන් ලකුණු 17ක් රැස්කර ගනිද්දී ප්‍රතිවාදී හැව්ලොක් ක්‍රීඩකයින් කිසිදු ලකුණක් රැස්කර ගන්නට සමත් වූයේ නැත. ඒ අනුව ලකුණු 17-12ක් ලෙස තම අපරාජිත වාර්තාව රැක ගන්නට CR & FC A ක්‍රීඩකයින් සමත් විය.

තරගාවලියේ දෙවන දිනය හෙට (11) පෙරවරු 11.40ට ආරම්භ වීමට නියමිත අතර ප්‍රථමයෙන් පැවැත්වීමට නියමිතව ඇත්තේ ශූරතා කුසලානය සහ පළඟ ශූරතාවය සඳහා වන අර්ධ අවසන් පූර්ව තරගයි.

පළමු අර්ධ අවසන් පූර්ව තරගයේ දී නාවික හමුදා A කණ්ඩායම සහ හැව්ලොක් SC කණ්ඩායම තරග වැදීමට නියමිත අතර ඉන් අනතුරුව පොලිස් A කණ්ඩායම සහ නාවික හමුදා B කණ්ඩායමත්, යුද හමුදා කණ්ඩායම සහ ගුවන් හමුදා A කණ්ඩායමත්, CR & FC A කණ්ඩායම සහ පිටර්සන් SC කණ්ඩායමත් අර්ධ අවසන් පූර්ව තරගවල දී තරග වැදීමට නියමිතයි.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට