FA කුසලානය අර්ධ අවසන් වටයට

453
FA Cup semi finals

FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරග මෙම සති අන්තයේ දී පැවැත්වීමට නියමිත අතර එහි දී කොළඹ FC කණ්ඩායමට එරෙහිව යුද හමුදා කණ්ඩායමත්, සෝන්ඩර්ස් කණ්ඩායමට එරෙහිව ජාවා ලේන් කණ්ඩායමත් තරග බිමට පිවිසෙනු ඇත.

කොළඹ FC සහ ජාවා ලේන් අර්ධ අවසන් වටයට

FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පැවති අවසන් තරග දෙකෙන් ගුවන් හමුදා කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජය කළ කොළඹ FC කණ්ඩායමත්, රිනවුන් SC කණ්ඩායම…

කොළඹ FC කණ්ඩායම හා යුද හමුදා කණ්ඩායම FA කුසලානයේ අර්ධ අවසන් වටයේ තරගයක දී එකිනෙක මුණ ගැසෙන්නේ පිට පිට දෙවැනි වතාවට වන අතර අනෙක් පසින් සෝන්ඩර්ස් කණ්ඩායම හා ජාවා ලේන් කණ්ඩායම් ප්‍රේක්ෂකයින් අතර අතිශය ජනප්‍රිය කණ්ඩායම් ද්විත්වයකි.

ThePapare.com ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මෙම තරග ද්විත්වය පිළිබඳව විවරණයක් සිදු කරන්නට සමත් විය.

කොළඹ FC – යුද හමුදා කණ්ඩායම (මැයි මස 13 ප.ව. 5ට සුගතදාස ක්‍රීඩාංගණයේ දී)

එකිනෙකා ඉතා හොඳින් හඳුනන කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන මෙම තරගය ඉතා උද්වේගකර තරගයක් වනු නොඅනුමානයි.

කොළඹ FC කණ්ඩායමේ ක්‍රීඩා කළ විදේශීය ක්‍රීඩකයෙකු වන මෝමස් යාපෝ හේතුවෙන් ඔවුන් මෑත කාලයේ දී  යුද හමුදා කණ්ඩායමට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට සමත් විය. එසේ වුවත් මෙවර කොළඹ FC ක්‍රීඩකයින්ට ඔහු නොමැතිව මෙම තරගයට මුහුණ දීමට සිදු වී ඇත.

ගියවර FA කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගත් යුද හමුදා කණ්ඩායම මෙවර තරගාවලියේ දී ද ඉතා හොඳින් ක්‍රීඩා කිරීමට සමත් වූ අතර ඔවුන්ට මෙවර ද ශූරතාවය දිනා ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් ඇත. තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේ දී ඔවුන් සුපර් සන් කණ්ඩායම ගෝල 12-01ක් ලෙස පරාජයට පත්කළේ ඔවුන්ගේ ශක්තිය විදහා දක්වමිනි.

එමෙන්ම යුද හමුදා කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් මේ වන විට සිය සුපුරුදු රිද්මයෙන් ක්‍රීඩා කරමින් සිටින අතර මෙවර අර්ධ අවසන් තරගයේ වාසිය තමන් දෙසට යොමු කර ගැනීමට එය ඔවුන්ට වැදගත් වනු ඇත. පුන්සර තිරුණ සහ මධුෂාන් ද සිල්වා තරගාවලිය පුරාවට ප්‍රතිවාදීන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට සමත් වූ අතර ඉදිරිපෙළ ක්‍රීඩා කරන සජිත් කුමාර සහ මොහොමඩ් ඉසදීන්ගේ සුසංයෝගය ද මේ දක්වා පැවති සෑම තරගයකම ජයග්‍රහණයට විශාල පිටිවහලක් විය.

යුද හමුදා කණ්ඩායමේ තරගයේ ආරම්භක 11 දෙනාට පසුව ආදේශ කරන තිවංක චන්ද්‍රසේකර කිසිදු කාලයක් වැය නොකර තරගයට අවතීර්ණ වීමට මේ දක්වා සමත්ව තිබීම ද ඔවුන්ගේ වාසියට හේතු වනු ඇත.

යුද හමුදා කණ්ඩායම හා සසඳන විට කොළඹ FC කණ්ඩායම ඔවුන් තරම් සාර්ථක තරගාවලියකට හිමිකම් කීවේ නැත.

ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයේ දී ගුවන් හමුදා කණ්ඩායම හමුවේ ජයග්‍රහණය වාර්තා කළේ ඉතා තියුණු තරගයකින් අනතුරුවය. එහි දී කොළඹ FC කණ්ඩායමේ රව්මි මොහිදීන් පන්දුව අතින් නැවතීම හේතු කොටගෙන පිටියෙන් ඉවත් කළ යුතු වුවත් එසේ නොවන්නට ඔහු වාසනාවන්ත විය. එමෙන්ම කවිඳු ඉෂාන්ට දඬුවම් පහර අවස්ථාවක් මෙන්ම ගෝල රැස්කිරීමට ලැබුණු තවත් පහසු අවස්ථා කිහිපයක්ම ඔහු අතින් ගිලිහී ගියේය.    

නමුත් කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් ඉම්රාන් එම තරගයේ දී විශිෂ්ට ලෙස ක්‍රීඩා කිරීමට සමත් වූ අතර කොළඹ FC කණ්ඩායමේ එක් එක් ක්‍රීඩකයින් තරගාවලිය පුරාවට දස්කම් දක්වා ඇත්තේ විවිධ ආකාරයට ය.   

DCL ශූරතාවය දිනූ කොළඹ FC කණ්ඩායමේ මෙම තරගාවලිය තුළ සාර්ථකම ක්‍රීඩකයා වූයේ සර්වාන් ය. ඔහු ඉදිරිපෙළ ක්‍රීඩා කරමින් ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට සමත් වූ අතර ඔවුන්ට තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් ඔහු මෙම තරගයේ දී ද තම සුපුරුදු දක්ෂතා අතරට පැමිණීම බෙහෙවින් වැදගත් වනු ඇත.

කෙසේ වුවත් කොළඹ FC කණ්ඩායම අවසන් තරගයට රැගෙන යාමට නම් කණ්ඩායමේ පුහුණුකරු මොහොමඩ් රූමිට යුද හමුදා කණ්ඩායමේ ‘wing’ ක්‍රීඩකයින් පාලනය කිරීමටත්, ඔවුන්ගේ ශක්තිමත් පසුපෙළ බිඳ දැමීමටත් උපක්‍රමශීලී කටයුතු කරන්නට සිදු වේ.

වැදගත් ක්‍රීඩකයින්

  • යුද හමුදා කණ්ඩායම – මොහොමඩ් ඉසදීන්
  • කොළඹ FC – සර්වාන් ජොහාර්

ආසන්න හමුවීම්

කොළඹ FC 2 – 1 යුද හමුදා කණ්ඩායම (DCL 16 සුපිරි 8 දෙනාගේ වටය)
කොළඹ FC 0 – 2 යුද හමුදා කණ්ඩායම (DCL 16 කාණ්ඩ තරග වටය)
කොළඹ FC 0 – 1 යුද හමුදා කණ්ඩායම (FA කුසලානය 2016 අර්ධ අවසන් වටය)
කොළඹ FC 2 – 0 යුද හමුදා කණ්ඩායම (DCL 15 සුපිරි 8 දෙනාගේ වටය)


 

සෝන්ඩර්ස් SC – ජාවා ලේන් SC (මැයි මස 13 ප.ව. 7.30ට සුගතදාස ක්‍රීඩාංගණයේ දී)

කොළඹ නගරය කේන්ද්‍ර කොට ගත් පැරණිම සහ ජනප්‍රියම කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන මෙම තරගය ද ඉතා උණුසුම් තරගයක් වනු ඇති බවට මත පලවී ඇත.

සංසන්දනය කරන විට කණ්ඩායම් දෙකම අත්දැකීම්, තරුණ ක්‍රීඩකයින්, ඉදිරිපෙළ හා පසුපෙළ ආදී සෑම අංශයකින්ම බොහෝ දුරට සමාන වන අතර එය තරගයේ උණුසුම තවත් ඉහළ නංවනු ඇත.

සෝන්ඩර්ස් කණ්ඩායම තරගාවලිය පුරාවට සාර්ථකව ක්‍රීඩා කළ නමුත් ඔවුන් ඉතා ආක්‍රමණශීලී අන්දමින් ක්‍රීඩා කිරීමට සමත් වූයේ නැත. තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී උණුසුම් තරගයකින් අනතුරුව බ්ලූ ස්ටාර් කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් තරගය ජයග්‍රහණය කිරීම එයට හොඳ නිදසුනකි.

සෝන්ඩර්ස් ක්‍රීඩකයින් ගෝල ලබාගැනීමට අවස්ථා නිර්මාණය කර ගැනීමට අපොහොසත් වූ අතර ඔවුන්ගේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් ද එතරම් සාර්ථකව ක්‍රීඩා කිරීමට සමත් වූයේ නැත. එමනිසා මෙම තරගයේ දී එම දුර්වලතා මඟ හැර ගැනීමට කටයුතු යෙදීමට ඔවුන්ට සිදුවනු ඇත.

පසුගිය තරගයේ දී ඔවුන්ට ජයග්‍රහණය ගෙන දුන් ක්‍රිෂාන්ත අබේසේකර මෙන්ම සනෝජ් සමීර ද මෙම තරගයේ දී ද ඔවුන්ට ඉතා වැදගත් ක්‍රීඩකයින් දෙපළකි.

සෝන්ඩර්ස් ක්‍රීඩකයින් ප්‍රතිවාදී ජාවා ලේන් කණ්ඩායමට පීඩනයක් එල්ල කිරීමට නම් ඔවුන්ට ඉක්මණින් තරගයට අවතීර්ණ වීමට සිදුවන අතර ජාවා ලේන් කණ්ඩායමේ ඉක්මන් අවස්ථා ලබාගැනීමේ දක්ෂතාවයට ද උපක්‍රමයක් යෙදීමට සිදුවේ.        

අනෙක් පසින් ජාවා ලේන් කණ්ඩායම ‘Dialog’ ශූරයින්ගේ කුසලානයේ පළමු කාණ්ඩයෙන් පහතට වැටීමෙන් අනතුරුව මේ වන විට ඔවුන්ගේ ක්‍රීඩා විලාශය මුළුමනින්ම වෙනස් කර ගෙන ඇත. ඒ අනුව ඔවුන් මේ වන විට ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් සිටින අතර ආබාධයකට ලක්ව සිටි මොහොමඩ් රිස්කාන් නැවතත් කණ්ඩායමට පැමිණීම හේතුවෙන් ඔවුන් නැවතත් ඔවුන්ගේ උපරිමය කරා ළඟා වී ඇත.

අර්ධ අවසන් තරගයේ දී ජාවා ලේන් ක්‍රීඩකයින් සතුව ඇති ඉක්මන් අවස්ථා ලබා ගැනීමේ හැකියාව හේතුවෙන් රිනවුන් කණ්ඩායම දැඩි අපහසුතාවකට ලක්විය. එය මෙහෙය වූ නවීන් ජූඩ් සහ මොහොමඩ් අබ්දුල්ලා සෝන්ඩර්ස් කණ්ඩායමට එරෙහි මෙම තරගයේ දී ද ඔවුන්ගේ ඉදිරිපෙළ ශක්තිමත් කිරීමේ වගකීම භාරගෙන සිටී.

ජාවා ලේන් කණ්ඩායමේ ජානක චමින්ද සහ සෝන්ඩර්ස් කණ්ඩයමේ සනෝජ් සමීර අතර මැදපෙළ සඳහා ප්‍රබල තරගයක් නිසැකවම දැක ගැනීමට හැකිවනු ඇති අතර එම තරගයේ ජයග්‍රාහකයා සිටින කණ්ඩායම තරගය ද ජයග්‍රහණය කරනු ඇතැයි ප්‍රකාශ කළ හැකිය.  

වැදගත් ක්‍රීඩකයින්

  • සෝන්ඩර්ස් SC – සුන්තරරාජ් නිරේෂ්  
  • ජාවා ලේන් SC – නවීන් ජූඩ්

ආසන්න හමුවීම්

සෝන්ඩර්ස් SC 4 – 2 ජාවා ලේන් SC (DCL 16 කාණ්ඩ තරග වටය)

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට