තෙවැනි වරටත් යුධ හමුදාව ශූරතාවය ඩැහැගනී

462
Fa Cup Champions 2018

ගෝල 4-2ක් ලෙස සෝන්ඩර්ස් කණ්ඩායම පරාජය කරමින් 2018 VANTAGE FA කුසලාන අවසන් මහා තරගයේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. තරගාවලිය අද (1) සුගතදාස ක්‍රීඩා පිටියේ දී නිමාවට පත් වූ අතර ඒ අනුව පිට පිටම තෙවැනි වරට FA කුසලානය යුධ හමුදා කණ්ඩායම විසින් ජයග්‍රහණය කළේය.

පොලිස් අත්වැරදීමෙන් යුධ හමුදාව අවසන් මහා තරගයට

FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරග ඊයේ (25) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී…

මෙම අවසාන තරගය සෝන්ඩර්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙකු වන කසුන් ජයසූරිය ක්‍රීඩා කරන අවසාන තරගය විය. එයට අමතරව මෙම වසරේ දී සෝන්ඩර්ස් කණ්ඩායම ඔවුන්ගේ 100 වැනි සංවත්සරය ද සමරනු ලබයි. එහෙත් එම වැදගත් අවස්ථා කුසලානයක් දිනා ගනිමින් සමරන්නට සෝන්ඩර්ස් කණ්ඩායමට නොහැකි විය.

තරගයේ පළමුවැනි මිනිත්තුවේ දී ම ගෝලයක් ලබා ගන්නට සෝන්ඩර්ස් කණ්ඩායමේ සුන්දරාජ් නිරේෂ් විසින් උත්සාහයක් ගත්ත ද එම උත්සාහය සාර්ථක නොවුනේ පන්දුව ගෝල කණුවේ වැදී ඉවතට ගිය හෙයිනි.

තරගයේ මුල් මිනිත්තු 10 ඇතුළත සෝන්ඩර්ස් කණ්ඩායම පන්දුවේ පාලනය ලබා ගත්ත ද, ඉන්පසු පන්දුවේ මෙන්ම තරගයේ පාලනය ද සියතට ගැනීමට යුධ හමුදා කණ්ඩායමට හැකි විය. ඉතාමත් හොඳ ශාරීරික යෝග්‍යතාවයෙන් යුතු ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලද යුධ හමුදා කණ්ඩායම ඉතා සංවිධානාත්මක ආකාරයෙන් ක්‍රීඩා කරනු දක්නට ලැබුණි.

එහි ප්‍රතිඵල යුධ හමුදා කණ්ඩායමට ලැබීමට බොහෝ වෙලාවක් ගත නොවීය. 16 වැනි මිනිත්තුවේ දී යුධ හමුදා කණ්ඩායමේ මොහොමඩ් ඉසඩීන් විසින් ගෝලයක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව FA කුසලාන අවසාන මහා තරගයේ පෙරමුණ යුධ හමුදා ක්‍රීඩා සමාජයට හිමි විය.

ගෝලයක් වාර්තා කරමින් තරගය සම මට්ටමට ගෙන ඒමට සෝන්ඩර්ස් කණ්ඩායමේ ක්‍රිශාන්ත අබේසේකර හට අවස්ථාවක් ලැබුණ ද, ක්‍රිශාන්ත විසින් ක්ෂණික ප්‍රතිචාර නොදැක්වූ බැවින් සෝන්ඩර්ස් කණ්ඩායමට එම අවස්ථාව අහිමි විය.

21 වැනි මිනිත්තුවේ දී යුධ හමුදා ක්‍රීඩා සමාජයේ නිරෝෂන් පතිරණ හට මුහුණට මුහුණ (1 on 1) අවස්ථාවක් හිමිවූව ද එම අවස්ථාවේ දී සෝන්ඩර්ස් ගෝල රකින්නා අසංක විරාජ්ගේ හැකියාව ඉස්මතු වූයෙන් යුධ හමුදා කණ්ඩායමට සිය දෙවැනි ගෝලය ලබා ගැනීමට නොහැකි විය.

කසුන් ජයසූරිය පාපන්දු පිටියට සමුදීමට සැරසෙයි

සෝන්ඩර්ස් කණ්ඩායම 2018 FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය දක්වා..

සෝන්ඩර්ස් ආරක්ෂක ක්‍රීඩකයන්ගේ දුර්වලතාවයක් හේතුවෙන් 27 වැනි මිනිත්තුවේ දී යුධ හමුදා කණ්ඩායම ලද අවස්ථාව මඟ නොහැරි ජේසුරාජ් බර්නාඩ් යුධ හමුදා කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කරනු ලැබුවේ සෝන්ඩර්ස් කණ්ඩායම තව තවත් පසුපසට ඇද දමමිනි.

ඉන් මිනිත්තු දෙකකට පසුව ද සෝන්ඩර්ස් ආරක්ෂක පෙළ විසින් තවත් අත්වැරදීමක් සිදු කළ නමුත් එම අවස්ථාවේ දී ගෝලයක් වාර්තා කිරීමට යුධ හමුදාවේ මොහොමඩ් ඉසඩීන් හට නොහැකි විය.

33 වැනි මිනිත්තුවේ දී සෝන්ඩර්ස් කණ්ඩායමට දඬුවම් පහරක් හිමි විය. යුධ හමුදා දඬුවම් කලාපයේ එක් අන්තයක දී යුධ හමුදා ක්‍රීඩකයෙකු විසින් සෝන්ඩර්ස් ක්‍රීඩකයෙකු අනිසි බලපෑමකට (foul) යටත් කළ බැවින් එම දඬුවම් පහර සෝන්ඩර්ස් කණ්ඩායමට හිමි විය.

සුන්දරාජ් නිරේෂ් විසින් එම දඬුවම් පහර සාර්ථක කර ගනිමින් සෝන්ඩර්ස් කණ්ඩායම නැවතත් තරගය වෙත ප්‍රවිෂ්ට කිරීමට සමත් විය.

පළමු අර්ධයේ අතිරේක කාලයේ දී යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ජේසුරාජ් බර්නාඩ් හට සිය දෙවැනි ගෝලය වාර්තා කිරීමට ඉතා වටිනා අවස්ථාවක් හිමි වූවත්, සුරාජ් විසින් ගෝල සීමාවෙන් ඉහළට පන්දුව යොමු කළේය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ඒ අනුව පළමු අර්ධය නිමා වූයේ ගෝල 2-1ක් ලෙසින් යුධ හමුදාවට පෙරමුණ අත්කර දෙමිනි. පළමු අර්ධයේ දී බොහෝ අවස්ථාවල දී සෝන්ඩර්ස් කණ්ඩායම ඔවුන් විසින්ම පන්දුව අහිමි කර ගනු දක්නට ලැබුණි.

පළමු අර්ධය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 2 – 1 සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය

පළමු අර්ධයේ අතිරේක මිනිත්තු කිහිපයේ දී අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් පිටියට එක්වූ යුධ හමුදා කණ්ඩායමේ සජිත් කුමාර හට 54 වැනි මිනිත්තුවේ දී කහ කාඩ්පතක් හිමි විය. එය ඔහු විසින් තරගයේ ක්‍රීඩා කළ සුළු කාලය තුළ දී ලද දෙවැනි කහ කාඩ්පත විය. ඒ අනුව සජිත් හට රතු කාඩ්පතක් හිමි වූ අතර තරගයේ ඉතිරි මිනිත්තු 40ක කාලය (අතිරේක කාලයත් සමඟින්) යුධ හමුදා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සිදු වූයේ ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙනි.

62 වැනි මිනිත්තුවේ දී නිසැක ගෝලයක් වළක්වාලීමට යුධ හමුදා ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් ලුතුෆිට හැකි විය. මීටර 25ක පමණ දුර සිට සෝන්ඩර්ස් කණ්ඩායමෙන් එල්ල වූ එම ප්‍රහාරය සිය අතැඟිලි භාවිතා කරමින් ලුතුෆි විසින් වළක්වාලන ලදි.

දඬුවම් පහර වටයෙන් කොළඹ ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට

2018 FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ කොළඹ පාපන්දු සමාජය..

79 වැනි මිනිත්තුවේ දී සෝන්ඩර්ස් කණ්ඩායමේ නිරේෂ් විසින් එල්ල කළ ප්‍රහාරය ගෝල කණුවේ වැදුණි. එය තරගයේ ඔහුගේ පහරක් ගෝල කණුවේ දැවටුණ දෙවැනි අවස්ථාව විය. මෙවැනි දෑ තරගයක ප්‍රතිඵලය කෙරෙහි ඇති කරනු ලබන්නේ දැඩි බලපෑමකි.

කෙසේ නමුත් තරගයේ 54 වැනි මිනිත්තුවේ සිට යුධ හමුදා කණ්ඩායම ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන් ක්‍රීඩා කළ ද එහි උපරිම වාසිය සෝන්ඩර්ස් කණ්ඩායම විසින් ලබා ගත්තේ නැත. සෝන්ඩර්ස් කණ්ඩායම විසින් තමන් ලද සෑම අවස්ථාවකින්ම ගෝල වාර්තා කිරීමට උත්සාහ කරනු බවක් පෙනෙන්නට තිබුණ අතර ඒ අනුව පන්දුව ඔවුන්ගෙන් ගිලිහෙනු දක්නට ලැබුණි.

සංවිධානාත්මක බවකින්  යුතුව ක්‍රීඩා කරමින් අවස්ථා වැඩි වැඩියෙන් නිර්මාණය කර ගනිමින් ඒ අනුව ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ කිරීම සෝන්ඩර්ස් කණ්ඩායමෙන් දැක ගත නොහැකි විය.

අවසාන මහා තරගයේ දී තමන්ගේ දෙවැනි ගෝලය වාර්තා කිරීමට මොහොමඩ් ඉසඩීන් සමත් වූයේ 84 වැනි මිනිත්තුවේ දී ය. ඒ අනුව 3-1ක් ලෙසින් පෙරමුණ යුධ හමුදාවට හිමි විය.

කෙසේ වෙතත් තරගය පහසුවෙන් අතනොහැරි සෝන්ඩර්ස් කණ්ඩායම 93 (90+3) වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරන්නට සමත් විය. සමස්ත තරගයේ දී ම සෝන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කළ චමෝද් දිල්ශාන් අවසානයේ දී ගෝලයක් වාර්තා කළේය. තරගය 3-2ක් ලෙසින් ආසන්න විය.

ඉරාන කාන්තාවන්ට තහනම් “පුරුෂයන්ගේ පිටිය”

රසවිඳීම, ලොව ඕනෑම කෙනෙකුගේ අයිතියකි. එයට ස්ත්‍රී පුරුෂභාවයක් නැත. ස්ත්‍රීන් සහ පුරුෂයන්…

ඉන්පසු ඉතිරි අතිරේක කාලයේ දී තවත් ගෝලයක් වාර්තා කිරීමට සෝන්ඩර්ස් කණ්ඩායම දැඩි උත්සාහයක නිරත විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සෝන්ඩර්ස් ආරක්ෂක වළල්ල ඉතා දුර්වල විය. එම අවසරයෙන් ප්‍රයෝජනය ගත් යුධ හමුදා කණ්ඩායම දෙවැනි අර්ධයේ අතිරේක කාලය අවසන් වන්නට මිනිත්තු දෙකක් පමණ ඉතිරිව තිබිය දී ගෝලයක් වාර්තා කරමින් 4-2ක් ලෙසින් තරගය ජය ගනිමින් 2018 FA කුසලානය දිනා ගැනීමට සමත් විය. ගෝලයේ හිමිකරු වූයේ කසුන් ප්‍රදීප්ය.

තරගාවලියේ වැඩිම ගෝල ලාභියාට හිමි රන් පාවහන දිනා ගනු ලැබුවේ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ මොහොමඩ් ඉසඩීන්ය.

අවසාන තරගයේ හොඳම ගෝල රකින්නා වශයෙන් යුධ හමුදා ගෝල රකින මොහොමඩ් ලුතුෆි විසින් රන් අත්වැසුම හිමිකර ගත්තේය. අවසාන තරගයේ හොඳම ක්‍රීඩකයා ලෙසින් අභිෂේක ලැබුවේ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ආර්. එම්. වරකාගොඩයි.

අවසාන ප්‍රතිඵලය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 4 – 2 සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය

ගෝල ලබා ගත් ක්‍රීඩකයන්:

  • යුධ හමුදා ක්‍රීඩා සමාජය – මොහොමඩ් ඉසඩීන් 16′, 84′, ජේසුරාජ් බර්නාඩ් 27′, කසුන් ප්‍රදීප් 90+6′
  • සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය – සුන්දරාජ් නිරේෂ් 33′, චමෝද් දිල්ශාන් 90+3′

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<