රිනවුන් හා යුධ හමුදාව අවසන් සටනට

615
FA cup semi finals

කාගිල්ස් එෆ්.ඒ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරඟ දෙකක් ඊයේ (01) කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්විණි.එම තරඟ වලින් යුධ හමුදා කණ්ඩායම ගෝල 01- 00 ක් හා රිනවුන් කණ්ඩායම දඩුවම් පහර 04 – 02 ක් ලෙස ලබා ගනිමින් ජයග්‍රහණය කරන ලදි.

අවසන් පූර්ව වටයේ පළමු තරඟය යුධ හමුදා කණ්ඩායමට එදිරිව කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම

යුධ හමුදා කණ්ඩායම හා වත්මන් ශූරතාවය දරන කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම අතර පැවති මෙම තරඟය ඉතා උණුසුම්කාරී එකක් විණි. මීට පෙර මෙම කණ්ඩායම් දෙක අවසන් පූර්ව වට වලදී එකිනෙකා හමුවී ඇති අතර 2014 දී යුධ හමුදා කණ්ඩායම ද 2015 දී කොළඹ කණ්ඩායම ද ජයග්‍රහණය කිරීමට සමත් ව ඇත. කෙසේ වෙතත් තරඟයේ පළමු අර්ධයේ 19 වන මිනිත්තුවේදී යුධ හමුදා ක්‍රීඩක සජිත් කුමාර ලබාගත් ගෝලයත් සමඟ තරගයේ පළමු අර්ධයේ වැඩි වාසිය යුධ හමුදා කණ්ඩායම වෙත නතු විය.

ඒ අනුව පළමු අර්ධය ගෝල 01-00 ක් ලස යුධ හමුදා කණ්ඩායම පෙරමුණේ පසුවිය.

දෙවන අර්ධයේ දී කොළඹ කණ්ඩායම, යුධ හමුදා කණ්ඩායමේ දැල අසල පන්දුව බොහෝ වේලාවක් තබාගෙන ක්‍රීඩා කලද එය ගෝලයක් ලබා ගැනීමට කොළඹ කණ්ඩායමට ප්‍රමාණවත් නොවීය. තරඟය නිමා වූයේ ගෝල 1-0 ක් ලෙස යුධ හමුදා කණ්ඩායමට අවසන් මහා තරඟයේ ඉඩ කඩ වෙන් කර දෙමිනි.


අවසන් පූර්ව වටයේ දෙවන තරඟය රිනවුන් කණ්ඩායමට එදිරිව සෝන්ඩර්ස් කණ්ඩායම

රිනවුන් පාපන්දු සමාජ කණ්ඩායම සහ 21 වතාවක් මෙම තරගාවලියේ ශුරතාවය දිනා ඇති සෝන්ඩර්ස් පාපන්දු සමාජ කණ්ඩායම අතර තරඟය වෙත, පෙර තරඟයට වඩා ප්‍රේක්ෂකයන් ගේ දෙනෙත් යොමු වූ තරඟයක් විය. සෝන්ඩර්ස් කණ්ඩායම අවසන් වරට 2007 වර්ෂයේදී අවසන් මහා තරඟයට පැමිණි ඇති අතර එහි අනුශූරතාවයෙන් ඔවුන්ට සෑහීමකට පත් වීමට සිදු විය.

මුල සිටම කණ්ඩායම් දෙකම කරට කර තරගයේ නියලුනු අතර ගෝල ලබා ගැනීමට තිබූ අවස්ථාවන් කිහිපයක්ම ව්‍යවර්ථ විය.

එම තරගයේ පළමු අර්ධය නිමා වූයේ ගෝල 00 – 00 ක් ලෙසිනි.

දෙවන අර්ධයේ දී ප්‍රබල සෝන්ඩර්ස් කණ්ඩායමේ සිහින බොදවෙමින් ඔවුන්ගේ දක්ෂ ක්‍රීඩකයින් කිහිපදෙනක් ම අබාධ වලට ලක්වූ අතර එම නිසා තරඟය අතරතුර වෙනස්කම් කිහිපයක්ම එම කණ්ඩායමේ සිදු විය.

තරගයේ සම්පූර්ණ කාලය අවසානයේ දී ගෝල 00 – 00 ක් ලෙස දැක්වූ නිසා තරගයේ තීරණය දඩුවම් පහර මගින් තීරණය කිරීමට සිදුවිය.

ඒ අනුව පළමු දඩුවම් පහරම සාර්ථක කරගැනීමට රිනවුන් කණ්ඩායමට නොහැකි විය.සෝන්ඩර්ස් කණ්ඩායමේ පළමු දඩුවම් පහර සාර්ථක වුවද සෝන්ඩර්ස් කණ්ඩායමේ නායක සමීර හා තවත් ක්‍රීඩකයෙකු එල්ල කල පහරවල් සාර්ථක නොවීය. ඒ අනුව සෝන්ඩර්ස් කණ්ඩායම දඩුවම් පහර 1-0 ක් ලෙස පෙරමුණේ පසුවුවද, අනතුරුව ක්‍රියාත්මක වූ රිනවුන් කණ්ඩායම දඩුවම් පහරවල් 04 – 02 ක් ලෙස අවසන් මොහොතේ දී තම කණ්ඩායමේ නාමය අවසන් මහා තරගයේ සටහන් කිරීමට රිනවුන් කණ්ඩායම සමත් විය.

එෆ්.ඒ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරඟය ජුනි 11 වැනි සෙනසුරාදා රිනවුන් පාපන්දු සමාජ කණ්ඩායම හා යුධ හමුදා කණ්ඩායම අතර කොළඹ තුරඟ තරඟ පිටියේදී සවස 6.30 ට පැවැත්වීමට නියමිතව ඇත.