2014/15 ඩයලොග් රග්බි ලීග් තරඟාවලියට පළමුව පිල් මාරු රැසක්

263

ශ්‍රී ලංකා රග්බි පිටියේ වඩාත් කතාබහට ලක්වන ප්‍රිමියර් ලීග් රග්බි තරඟාවලියේ මෙවර විශේෂ වෙනස්කම් රැසක් සිදුවීමට නියමිත බව අප වෙත වාර්තා වේ. ගියවර ශූරයන් වන නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ හම්බන්තොට ෂාර්ක්ස් පිල අතර ඔක්තෝබර් 31 සිකුරාදා බෙලිඅත්තේදී පැවැත්වෙන තරඟයෙන් මෙවර අදියර ආරම්භ වීමට නියමිතයි.

මෙම වෙනස්කම් අතර වඩාත් කැපී පෙනෙන කරුණ නම් තරඟාවලියේ ආකෘතියේ සිදුවී ඇති වෙනසයි. මීට පෙර ක්‍රියාත්මක වූ ලීගයේ ඉහළම කණ්ඩායම් 6 ලීග් ශූරතාවය සඳහාත් අනෙක් කණ්ඩායම් 4 පළඟ ශූරතාවය සඳහාත්  දෙවැනි වටයේ තරඟ වැදීම වෙනුවට පළමු හා දෙවැනි වට වලදී කණ්ඩායම් 9 ම සිය ක්‍රීඩාංගනයේ හා පිටත ලෙස එකිනෙකා සමඟ තරඟ දෙක බැගින් සහභාගී වනු ඇති අතර එහිදී වැඩිම ලකුණු ලබගන්නා කණ්ඩායම ලීග් ශූරයින් බවට පත්වේ.

පසුගිය වසර 2 දී දේශීය තරඟාවලියට සහභාගී වූ අප් කන්ට්‍රි ලයන්ස් කණ්ඩායම විසුරුවා හැරීමත් සමඟ එහි ගිවිසුම්ගත ක්‍රීඩකයින් බොහොමයක් සී.ආර් හා සී.එච් කණ්ඩායම් වෙත එක්වී තිබේ. රග්බි පිටියේ ප්‍රබලයින් වන ශ්‍රීනාත් සූරියබණ්ඩාර හා නයිජල් රත්වත්තේ පිළිවෙලින් නාවික හමුදා සහ මහනුවර ක්‍රීඩා සමාජ සමඟින් මෙවර තරඟාවලියට එක්වෙයි.

මේ අතර, මහනුවර ක්‍රීඩා සමාජය මෙවර ශූරතාවය දිනාගනීමේ සටනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් බව පෙනෙන්නට තිබේ. හිටපු නායක ෂෝන් විජේසිංහ සිය ආබාධය සුවවීමෙන් අනතුරුව කණ්ඩායමට එක්වීම ඔවුන්ට සුවිශාල ශක්තියක් වන අතර ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම් නායක ෆසිල් මරීජා අනෙක් කණ්ඩායම් වලට දැඩි තර්ජනයක් එල්ල කරනු ඇති.වසර ගණනාවක් මහනුවර කණ්ඩායමට සුවිශේෂී දයකත්වයක් දැක්වූ කිෂෝ ජෙහාන්, ප්‍රදීප් ලියනගේ, දිනෙෂ් සංජීව වැනි ක්‍රීඩකයන් ඊට එක්වූ කල ඔවුන් ඉතා ප්‍රබල අභියෝගයක් වනු නිසැකය. මෙවරත් මහනුවර පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික ජොහාන් ටේලර් මහතා කටයුතු කරයි.

රාජපක්ෂ සොහොයුරන් මෙවර කණ්ඩායම් දෙකක් නියෝජනය කරමින් තරඟාවලියට එක්වන අතර රෝහිත රාජපක්ෂ පසුගිය වසරේ නාවික හමුදා පිලට නායකත්වය දෙමින් ඉතිහසගත ලෙස ඩයලොග් ලීගය  හා ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ තරඟාවලිය ජයග්‍රහණය කරා මෙහෙයවුවද මෙවර යුද හමුදා වර්ණයන්ගෙන් සැරසී ක්‍රීඩා කිරීමට නියමිතය.යුද හමුදා පිල පුහුණු කිරීමේ වගකීම මෙවර පැවරී තිබෙන්නේ මොතිලාල් ජයතිලක මහතාටයි.

සිය දනහිසේ ආබාධය හේතුවෙන් පසුගිය තරඟාවලියේදී සුපුරුදු දක්ෂතා අතරට පැමිනීමට නොහැකිවූ යෝෂිත රාජපක්ෂ, සුවය ලැබීමෙන් අනතුරුව මෙවර නාවිකයින් මෙහෙයවයි. තවද ගියවර හැව්ලොක්ස් පිල නියෝජනය කල හෙන්‍රි ටෙරන්ස්, චාමර දාබරේ, ෂාරො ප්‍රනාන්දු, හා හසිත පෙරේරා මෙවර නාවික හමුදා ක්‍රීඩා සමාජය හා එක්වෙයි.

මුදල් ගෙවීම් සම්බන්ධව ඇතිවූ ගැටලුවක් මත හැව්ලොක්ස් පිල නියෝජනය කල ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම නාවික හමුදා පිල හා එක්වීම් හේතුවෙන්, මෙවර හැව්ලොක්ස් කණ්ඩායම තරමක් දුර්වල වී ඇති බව පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත්, පරිණත ක්‍රීඩකයින් වන ෂෙරිෆ් මොහොමඩ්, සුදර්ශන් මුතුතන්ත්‍රි සහ මිතුන් හපුගොඩ හැව්ලොක්ස් පිල හා ගිවිසුම්ගතව ඇති අතර ග්ලෙන් ක්‍රිස්ටිනි මහතා පුහුණුකරු ලෙස කටයුතු කරයි.

සී.ආර් සහ එෆ්.සී පිල නියෝජනය කල රිසා මුබාරක් හා විශ්වමිත්‍ර ජයසිංහ ද මෙවර නාවිකයින් හා එක්වේ. මේ අතර සී.ආර් සහ එෆ්.සී පිල විසින් විසුරුවා හැරුනු ලන්කන්ස් පිලේ ක්‍රීඩකයින් රැසක් මිලදී ගෙන තිබේ.ඒ ඔවුන්ගේ පුහුණුකරු ලෙස ක්‍රියාකල පරිණත රග්බි පුහුණුකරු ඉම්ති මරික්කාර් ද සමඟිනි.ගියවර ලීග් ශ්‍රේණිගත කිරීම් වල 5 වන ස්ථානයේ රැඳුනු සී.ආර් සහ එෆ්.සී පිල මෙවර විදේශීය ක්‍රීඩකයන් කෙරෙහි වැඩි විශ්වාසයක් තබනු ඇති. කෙසේ වෙතත් ඔවුන්ගේ විදෙස් ක්‍රීඩකයින් කණ්ඩායම හා එක්වනු ඇත්තේ නවසීලන්තයේ පැවැත්වෙන අයි.ටී.එම්. කුසලාන අවසන් තරඟයෙන් අනතුරුවයි.

මෙවර තරඟාවලියේ තවත් එවැනිම කැපීපෙනෙන වෙනසක් වනුයේ සී.ආර්. සහ එෆ්.සී පිලේ ක්‍රීඩකයින් රැසක් පුහුණුකරු බිලාල් යූසුෆ් සමඟින් සී.එච් සහ එෆ්.සී පිල හා එක්වීමයි. ක්‍රීඩක විනය සම්බන්ධ ගැටලුවක් මත සී.එච් සහ එෆ්.සී පිල පසුගිය වසරේ ක්‍රීඩකයින් රැසකගේ සේවය අත්හිටවූ අතර මෙවර තරඟාවලිය තරුණ නවක ක්‍රීඩකයින්ට ඉතා හොඳ අවස්ථාවකි. ඔවුන් පසුගිය මැයි මාසයේදී සත් සාමාජික අනු ශූරයින් වුවද මෙවර තරඟ සමයේ විශේෂ අවධානයකට ලක්ව නැති කණ්ඩායමක් වීම කැපී පෙනේ. ජිම්කානා සමාජයේ හිටපු සභාපති ඉක්බාල් හසන් මහතා ඔවුන්ගේ නව සභාපති ලෙස පත්වීමත් සමඟ කණ්ඩායමට එක්වන විශේෂඥ දැනුම ඔවුන්ට ශක්තියක් වනු ඇති.

හම්බන්තොට ෂාක්ස් පිල පුහුණුකරු නිලූෆර් ඊබ්‍රාහිම් මහතා යටතේ ක්‍රියත්මක වන අතර ශ්‍රී ලාංකික ෆීජි ක්‍රීඩකයින් දෙදෙනා වන වකාවුලාගි ඉමෝරි හා ජෝස්ෆ් ඩන් ඔවුන් සමඟ රැඳේ. අවාසනාවකට මෙන් මෙම ක්‍රීඩකයින් දෙදෙනා ජාතික ටෙස්ට් හා සත් සාමජික කණ්ඩායම් නියෝජනය කල ද ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය විසින් ලබාදුන් නිර්වචනය අනුව ඔවුන් දේශීය ක්‍රීඩකයන් ලෙස යොදාගැනීමේ අවස්ථාව ෂාක්ස් පිලට මග හැරේ.