කොළඹ පාපන්දු කණ්ඩායමට එක් ගෝලයක් හරස් වේ

283

2019 ආසියානු පාපන්දු ශූරතාවලිය යටතේ කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම සහ ඉන්දියාවේ ‘Chennaiyin’ පාපන්දු සමාජ කණ්ඩායම අතර පැවති දෙවන වටයේ තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කරන්නට ‘Chennaiyin’ පාපන්දු සමාජ කණ්ඩායම සමත් විය.

කොළඹ ක්‍රීඩකයෝ චෙන්නායි ක්‍රීඩකයින්ට යටත් නොවෙති

2019 ‘AFC’ කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ ….

කණ්ඩායම් දෙක අතර පසුගිය සතියේ කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති පළමු වටයේ තරගය ජය-පරාජයෙන් තොරව නිමාවට පත්වීම නිසා මෙම තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම විවෘතව පැවති නමුත් තරගය සිය ක්‍රීඩාංගණයේ දී පැවතීම නිසා එහි වාසිය ‘Chennaiyin’ සතු විය.

බලාපොරොත්තු වූ පරිදි ‘Chennaiyin’ කණ්ඩායම සිය සංචිතයට වෙනස්කම් සිදුකර තිබුණේ ක්‍රිස් හර්ඩ් සහ සී. කේ. විනීත් දෙපළ කණ්ඩායමට එක්කර ගනිමින් ජේජේ ලාල්පෙක්ලුවා සහ පළමු තරගයේ ආදේශක ක්‍රීඩකයෙක් වූ තෝයි සිං සමඟ ඔවුන්ට ඉදිරිපෙළ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙමිනි.

අනෙක් පසින් කොළඹ පාපන්දු සමාජ කණ්ඩායමේ ඩක්සන් පුයිස්ලස් සිය ශාරීරික යෝග්‍යතාවයේ ගැටලු මත වුවද සංචිතයට ඇතුළත් කර තිබූ අතර තවදුරටත් අසිකුර් රහුමාන් සංචිතයට ඇතුළත් කර නොතිබූ නිසා වොඋන්ගේ ආරම්භක කණ්ඩායම පෙර තරගයේ කණ්ඩායමට සමාන විය.

තරගය ආරම්භයේ දී ‘Chennaiyin’ ක්‍රීඩකයින් පන්දුව ඔවුන් සතුව රඳවා ගනිමින් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට වුවත් එහිදී කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින් ඔවුන්ට ගෝලයක් වාර්තා කරගන්නට අවස්ථාවක් ලබානොදෙන්නට වගබලා ගත්තේය.

පසුව මේල්සන් හට ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවක් හිමිවුවත් එහි දී ඔහු පන්දුවට හිසින් එල්ල කළ පහර ගෝල රාමුවට ඉහතින් ඇදී යන්නට විය. පසුව බොඩ්රික් ඩිමිත්‍රි පිටියේ වමෙන් පන්දුව ඉදිරියට රැගෙන යමින් එය ගෝල රාමු කලාපය තුළට යොමු කළත් එය පහසුවෙන් ඉවතට යොමුකරන්නට මේල්සන් සමත් විය.

එයාලා හිතපු තරම් අභියෝගයක් වුනේ නැහැ – කොළඹ පුහුණුකරු

2019 ‘AFC’ කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ …..

‘Throw in’ අවස්ථාවකින් යොමු වූ පන්දුවක් ඉවතට යොමු කිරීමට මේල්සන් අසමත් වීමත් සමඟ එය ඉසාක් අඩේවු හට යොමු වූ අතර ඔහු එල්ල කළ පහර රැකගන්නට ‘Chennaiyin’ ගෝල රකින ක්‍රීඩක කරන්ජීත් සිං සමත් විය. එහි දී ලැබුණු කෝනර් අවස්ථාවේ දී ඉසාක් එල්ල කළ පහර ද ගෝල රාමුවට පිටතින් ඇදී යන්නට විය.

ඉන් අනතුරුව කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින් ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් තරගයේ පාලනය තමන් දෙසට යොමුකර ගන්නට සමත් වූ අතර එහි දී මොහොමඩ් ෆාසාල්ගේ ක්‍රීඩා විලාශය කැපී පෙනෙන්නට විය.

පසුව කොළඹ පාපන්දු සමාජයට ගෝල රාමු කලාපය තුළ නිදහස් පහර අවස්ථාවක් හිමිවුවත් එහි දී එය ලබාගත් මෝමස් යාපෝ එල්ල කළ පහර ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුගේ වැදී ඉවතට ඇදී යන්නට වූ ඉන් අනතුරුව ඔවුන්ට අඛණ්ඩව කෝනර් අවස්ථාවන් දෙකක් ලැබුනත් ඒවා ද සාර්ථක කරගන්නට ඔවුන් සමත් වූයේ නැත.

පළමු අර්ධය: ‘Chennaiyin’ FC 00 – 00 කොළඹ පාපන්දු සමාජය  

පළමු අර්ධය ආරම්භයේ දී මෙන් දෙවන අර්ධය ආරම්භයේ දී ද ‘Chennaiyin’ ක්‍රීඩකයින් පන්දුව ඔවුන් සතුව රඳවා ගනිමින් ගෝලයක් වාර්තා කරගන්නට උත්සාහ කළ නමුත් එම උත්සාහයන් ව්‍යර්ථ කර දමන්නට කොළඹ පාපන්දු සමාජ කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයින් සමත් විය.

අනතුරුව නිරාන් කණිෂ්ක අතින් සිදු වූ අත්වැරදීමක් හරහා විනීත් හට ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවක් හිමිවුවත් එහි දී ඔහු එල්ල කළ පහර ඉතා විශිෂ්ට ලෙස රැකගන්නට කවීෂ් ප්‍රනාන්දු සමත් විය.

කෙසේ නමුත් කොළඹ පාපන්දු සමාජ පසුපෙළ අභිබවා යන්නට ‘Chennaiyin’ ක්‍රීඩකයින් තරගයේ 68 වැනි මිනිත්තුවේ දී සමත් වූ අතර එහි දී චලන චමීර අතින් සිදු වූ අත්වැරදීමකින් පන්දුව ලබා ගත් ලාල්පෙක්ලුවා එය පහසුවෙන් ගෝල රාමුව තුළට යොමුකරමින් එම ගෝලය වාර්තා විය.

කොළඹ ක්‍රීඩා සමාජය සමඟ ක්‍රීඩා කරන Chennaiyin සංචිතය නම් කෙරේ

දෙවතාවක් ඉන්දීය සුපර් ලීග් ශූරතාව දිනූ චෙන්නායි ….

ඒ අනුව මෙම තරග වටයේ ජයග්‍රහණය හිමිකර ගැනීම සඳහා කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින්ට තවදුරටත් එක් ගෝලයක් අවශ්‍යව තිබූ අතර එහි දී සර්වාන් ජොහාර්ව මොහොමඩ් ආකීබ් වෙනුවට ආදේශ කරන ලදි. කෙසේ නමුත් ‘Chennaiyin’ ක්‍රීඩකයින් ගෝලය ලබා ගැනීමෙන් අනතුරුව පන්දුව ඔවුන් සතුව රඳවා ගනිමින් ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට විය.

තරගයේ අවසාන මිනිත්තු කිහිපය තුළ කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ගෝලයක් වාර්තා කරගැනීමට උත්සාහ දැරුවත් ඒ සඳහා කිසිඳු අවස්ථාවක් ලබා නොදුන් ‘Chennaiyin’ක්‍රීඩකයින් තරගාවලියේ කාණ්ඩ වටයේ සිය ස්ථානය වෙන්කර ගන්නට සමත් විය.

කෙසේ නමුත් කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින් මෙහි දී ප්‍රතිවාදීන්ට ප්‍රබල තරගයක් ලබා දීමට සමත් වීම සතුටු විය හැකි කරුණක් වන අතර ඒ අනුව ඉදිරියේ දී තවත් ප්‍රබල ක්‍රීඩා සමාජවලට එරෙහිව ප්‍රබල තරගයක් ලබා දීමට ඔවුන් සමත්වනු ඇති බවට නොඅනුමානය.

සම්පූර්ණ කාලය: ‘Chennaiyin’ FC 01 – 00 කොළඹ පාපන්දු සමාජය  

ගෝල ලාභීන්

  • ‘Chennaiyin’ FC – ජේජේ ලාල්පෙක්ලුවා 68’

කහ කාඩ්පත්

  • ‘Chennaiyin’ FC – ක්‍රිස්ටෝපර් හර්ඩ් 12’
  • කොළඹ පාපන්දු සමාජය – චලන චමීර 5’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<