90 දශකයේ ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කළ පිතිකරුවා සනත් ජයසූරිය බව විවාදයකින් තොරව සෑම ක්‍රිකට් විචාරකයෙකුම පාහේ පිළිගන්නා කරුණකි. සනත් සහ කලූ එක්ව ලොවට හඳුන්වා දුන් පළමු පන්දුවාර 15 තුළ වේගයෙන් පන්දුවට පහර දීමේ කලාව ක්‍රිකට් ක්‍රීඩාව වෙනම තලයකට රැගෙන ගිය බව 90 දශකයේ ප්‍රේක්ෂකයන් හොඳින්ම දන්නා කරුණකි.
ෂොට් 10යි පිතිකරුවන් 10යි. කවුද හොඳම?
ක්‍රිකට් ක්‍රීඩාව මූලික වශයෙන් ඉරියව් තුනක එකතුවකි……
ෆ්ලික් කිරීම්, පුල් පහරවල්, කට් පහරවල් තමාටම ආවේණික ශෛලියකින් එල්ල කරමින් ලොව පුරා පන්දු යැවීමේ බල ඇණි සුනුවිසුනු කර දැමූ සනත් 90 දශකයේ අග භාගය වන විට ලොව සිටි බිහිසුණුම පිතිකරුවා බවට පත්වී සිටියේය. එම වකවානුවේ දී ක්‍රිකට් තරගයක් කෙරෙහි සනත් ජයසූරියගේ බලපෑම කෙතරම් වූවාදැයි කිවහොත් ප්‍රතිවාදී කණ්ඩායම් සනත්ගේ කඩුල්ල දවාගැනීම තරගය ජයගැනීම හා සමානවම සැලකූ කාලයක් තිබුණි.

ඒ වන විට කළු පැහැති සමකින් යුතු ශක්තිමත් වමත් ආරම්භක පිතිකරුවෙකුගේ අඩුව ක්‍රිකට් ලෝකයට දැනෙමින් තිබුණි.
සනත්ගෙන් හිස්වුන කළු සමක් සහිත ප්‍රවේගකාරී වමත් ආරම්භක පිතිකරුවාගේ ස්ථානයට අනුප්‍රාප්තිකයකු බිහි වන්නේ මෙවැනි වටපිටාවක් තුළය. මේ අනුප්‍රාප්තිකයා ලොව පුරා පන්දු යැවීමේ බලඇණිවලට හොඳහැටි පහර දෙමින් 20/20 තරග රටාව උඩු යටිකුරු කරන්නට සමත් වූයේ 1996 වසරේ සනත් ජයසූරිය එක්දින තරග රටාව උඩු යටිකුරු කළ ආකාරයටමය..
ක්‍රිස්ටෝෆර් හෙන්රි ගේල්.
නැතහොත් ක්‍රිස් ගේල්.

නමුත් පෙර ක්‍රීඩකයන් දෙදෙනාට කිසි ලෙසකින්වත් සමාන නොවන පරිදි තමාටම ආවේණික වූ රටාවකින් පිත්ත හසුරවමින් වේගයෙන් පන්දුවට පහර දීම යන්නට නව අරුතක් සැපයීමට ඔහුට හැකියාව ලැබුණි.
“ක්‍රිකට්වලට මගේ කැමැත්තක් නැහැ. මගේ එයට තියෙන්නෙ ආදරයක්.”
Six Machine නමින් එළිදැක්වුන තම චරිතාපදානයේ ගේල් ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ඇල්ම ගැන සඳහන් කරන්නේ එලෙසින්ය. තමා ක්‍රිකට් ක්‍රීඩාවට සදා ණයගැති බවත්, තමාට මේ සියල්ල හිමිවී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා බවත් ගේල් තම චරිතාපදානයේ සඳහන් කර ඇත.
ගේල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වන්නේ 1999 වසරේ දී වුවත් ගේල් ගේ සැබෑ දස්කම් ඉස්මතු වන්නට පටන් ගන්නේ 2006 වසරෙන් පසුව 20/20 තරග රටාව තුළින් ය.

ක්‍රිස් ගේල් යන නාමය තවත් එක් ක්‍රිකට් ක්‍රීඩක නාමයක් පමණක් නොවී එය වෙළඳ සන්නාම නාමයක් බවට පත්කරගැනීමට ගේල්ගේ මෙම ප්‍රහාරාත්මක පිතිකරණය සමත් වූ අතර ලොව පුරා ක්‍රිකට් ලීග වලින් ඩොලර් මිලියන ගණනක මුදල් සමඟින් ක්‍රීඩක කොන්ත්‍රාත්තු ඔහු වෙත පිරිනැමුණි.
ගේල්ගේ පිත්ත ක්‍රියාත්මක වන අයුරු නැරඹීමට පෙළ ගැසෙන ප්‍රේක්ෂකයන්ගෙන් ක්‍රීඩාංගන අතුරු සිදුරු නැතිව පිරී ගිය අතර ඒ බොහෝ අවස්ථා වලදී දැවැන්ත හයේ පහරවල් වලින් සැදුම්ලත් ගේල්ගේ ගිනිකෙළි සන්දර්ශන නැරඹීමේ වාසනාව ප්‍රේක්ෂකයන්ට හිමි විය.
ඔහුගේ ශක්තීන් අතර විශාලතම ශක්තිය නම් තම දෑත් සහ දෑස් අතර පවත්නා ඉතා හොඳ සම්බන්ධතාවයයි. මේ නිසාම තාක්ෂණය හෝ පාද චලනය ගැන වැඩි තැකීමක් නොකර පන්දුව එන මානය හොඳින් නරඹා ඒ අනුව පිත්ත නිදහසේ ගමන් කිරීමට ඉඩ හැරීම මඟින් දැවැන්ත පහරවල් කරා යෑමට ඔහුට අවකාශ ලැබේ.

2007 ලෝක විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු 57ක දී ලකුණු 117ක් ලබා ගනිමින් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල වාර්තා වූ පළමු ශතකය තමා නමින් ලියා ගන්නට ගේල් සමත් වූයේ ඉහත ප්‍රකාශය තවදුරටත් තහවුරු කරවමිනි.
2011 සහ 2012 යන වසර දෙකෙහි ඉන්දීය ප්‍රීමියර් ලීගයේ ගේල් දැක්වූ දස්කම් සහ එහිදී ඔහු පිත්ත හැසිරවූ විලාශය නිසා ලෝකයේ බිහිසුණුම පිතිකරුවා යන නාමය ගේල් හට හිමි විය. එම වකවානුවේ දී ඔහු පන්දු දෙකක් හෝ තුනක් ආරක්ෂාකාරී අයුරින් ක්‍රීඩා කළහොත් ඊළඟ පන්දුව බොහෝවිට නතර වූයේ ක්‍රීඩාගාරයක වහලයක් මතය. නැතිනම් ක්‍රීඩාගාරවලින් පිටත රථ ගාලක් හෝ මාර්ගයක් තුළය. ඒ තරමටම විශ්වාසයක් හා බිහිසුණු බවක් ඔහුගේ පිතිකරණයේ අන්තර්ගතව තිබුණි.
ලොව පුරා ක්‍රිකට් ලීග් වල සුපිරිතම තරුවක් ලෙසින් බැබළුණ ගේල් ක්‍රීඩා නොකළ ලීග් තරගාවලියක් නොමැති තරම් ය. ඔහු යන සෑම තැනකම පාහේ ප්‍රේක්ෂකයන්ව තම වසඟයට ගැනීමට සමත් වූ අතර විශේෂයෙන්ම තරුණියන්ගේ අවධානය තමා වෙත දිනා ගැනීමට ද ඔහු සමත් වූයේ ඇතැම් අවස්ථාවන් වලදී ඒ නිසාම විවිධ අකරතැබ්බයන්ටද මුහුණ දෙමිනි.

එහි දී ඔහු හයේ පහර 978ක් එල්ල කිරීමට සමත් වී ඇති අතර හතරේ පහර 1026ක් ද ඔහුගේ නම යටින් සටහන් වී ඇත. ඒ අනුව හයේ සහ හතරේ පහරවල් වලින් පමණක් ගේල් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 9,972කි. එය ඔහු රැස්කරගෙන ඇති මුළු ලකුණු ප්‍රමාණයෙන් 75 %ක් වේ.
ඒ ඔහුගේ 20/20 තරග දස්කම් ය.
එක්දින ජාත්‍යන්තර පිටියේ ද ඔහු ඊට නොදෙවෙනි ලෙසින් ලකුණු රැස්කර ගැනීමට සමත් වී ඇත. ඒ තරග 301ක දී ලකුණු 10,480ක්. ලබා ගනිමිනි. එහි ඉනිමක සාමාන්‍යය 37.83ක් වන අතර පන්දුවට පහර දීමේ වේගය 87.19කි. එක්දින පිටිය තුළ ගේල් හයේ පහර 331ක් හා හතරේ පහර 1,128ක් එල්ල කර ඇති අතර හයේ සහ හතරේ පහරවලින් පමණක් රැස්කරගෙන ඇති ලකුණු ප්‍රමාණය 6,498කි. එය ඔහුගේ සමස්ත එක්දින ලකුණු ප්‍රමාණයෙන් 62%කි.
ගේල්ගේ නිදහස් හා ආක්‍රමණශීලී පිතිකරණ විලාසය සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවට වඩාත් සුදුසු වූ නමුත් ඔහු ටෙස්ට් පිතිකරුවෙකු ලෙස දක්වා ඇති දස්කම් පිළිබඳව සලකා බැලීමේ දී ඒවා පහසුවෙන් අමතක කර දැමිය හැකි නොවේ. ටෙස්ට් ඉනිමක ලකුණු 300 බැගින් අවස්ථා දෙකක දී ලබා ගැනීමට ගේල් සමත් වී ඇති අතර ක්‍රිකට් ඉතිහාසයේ එම දස්කම සිදු කර ඇත්තේ පිතිකරුවන් තිදෙනෙක් පමණි. ඒ සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, බ්‍රයන් ලාරා සහ විරේන්ද්‍ර ශෙවාග් ය.

මෑත භාගයේ දී ජාත්‍යන්තර පිටියෙන් තරමක් ඈත්ව සිටින ගේල් මේ දිනවල ඔහුගේ පූර්ණ අවධානය දේශීය ක්‍රිකට් ලීග සඳහා යොමු කර ඇත. පෙර තරම් දස්කම් අතර නොසිටිය ද තවමත් ඔහු පන්දුවට පහර දෙන විට කොයි මොහොතේ හයේ පහරක් එල්ල වේවිදැයි ප්‍රේක්ෂකයන් බලා සිටින්නේ ඔහු ලොව පුරා ක්‍රීඩාංගණවල දැක්වූ දස්කම් තම සිත්වල රඳවා ගෙන ය.
ගේල් දැන් සිටින්නේ 40 හැවිරිදි විය පසු කරමිනි. ඔහුගේ පිත්ත දැන් පෙර මෙන් ක්‍රියාත්මක නොවේ. ඉඳ හිට ඔහු දියත් කරන ඉනිමක් ඔහුගේ ස්වර්ණමය යුගය පිළිබඳව ප්‍රේක්ෂයකයන්ට යළිත් සිහි කරවන මුත් පෙර පරිද්දෙන්දස්කම් දැක්වීමට දැන් ඔහුට අපහසුය.
ඒ කෙසේ නමුත් සනත් ජයසූරිය ලෙසින්ම ක්‍රිස් ගේල් නාමය ක්‍රිකට් ඉතිහාසය තුළ එයටම ආවේණික වූ පරිච්ඡේදයක් වෙන් කරගෙන හමාරය. ඒ ජයසූරිය සේම දශක ගණනාවකට ගතවූ තැනක දී පවා සිහිකරන්නට හැකි දස්කම් ගේල් විසින් පෙන්වා ඇති බැවිණි.
Image Credits: Getty Images
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















