ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස මොරටුව හැඳින්වීම ඉතාම කාලෝචිත ය, සුදුසු ය. මන්දයත් ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට බිහි වූ අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් විශාල සංඛ්‍යාවකගේ උප්ත්තිය මේ පින් බිමේ සිදුවීමයි.

මොරටුව වේල්ස් කුමර විදුහල හා සාන්ත සෙබස්තියන් විදුහල මෙම දායකත්වයේ පුරෝගාමී පාසල් ද්විත්වයයි. වාර්ෂිකව සංවිධානය වන “මොරටු මහා රන් සටන” මෙවරත් අනාගත ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට නවමු දක්ෂයින් රැසක් දායාද කරමින් 68 වන වරටත් මාර්තු 9 හා 10 දෙදින පුරාවට මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරග ඉතිහාසය

ප්‍රථම මොරටු මහා රන් හටන දියත් වන්නේ 1933 වසරේ දී ය. එදා සිට අද දක්වා මහා තරගය ක්‍රියාත්මක වන අතර 1938 සිට 1953 දක්වා කාලය තුල දී තරගය නොපැවැත්වුනත් මේ වන විට වසර 68ක ගෞරවනීය මහා ක්‍රිකට් තරග ඉතිහාසයකට මොරටු මහා රන් සටන හිමිකම් කියයි.

සුරතලුන් සටනට කැඳවන සා. සිල්වෙස්තර සහ විද්‍යාර්ථ මහ තරගය

අඩසිය වසරක් තිස්සේ නොලැබූ ජයග්‍රහණයක් සොයමින් වෙහෙසෙන මහනුවර විද්‍යාර්ථයින්..

ප්‍රථම වරට තරග ජයක් හිමි කර ගැනීමට සමත් වන්නේ වේල්ස් කුමර විදුහලයි. ඒ 1935 වසරේ අර්නී ද සිල්වාගේ නායකත්වයෙනි. 1962 දී මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල තම ප්‍රථම ජයග්‍රහණයේ පහස ප්‍රියන්ත ප්‍රනාන්දුගේ නායකත්වය සමඟ විඳීය. මේ දක්වා පැවතී මහා ක්‍රිකට් ගැටුම් 67 දී සෙබස්තියන් ක්‍රීඩකයින් තෙවරක් තරගයේ ජය තමන් සතු කරගෙන ඇත.

කේම්බ්‍රියානුවන් සයවරක් ක්‍රිකට් ගැටුම දිනා ගනිමින් වැඩි ගෞරවයක් මේ දක්වා හිමි කර ගෙන ඇත. අනෙකුත් සියලු වාරයන් හීදී තරගය ජය පැරදුමෙන් තොරව හෝ තීරණයක් නොමැතිව අවසන් විය.

අවසන් වරට 1977 දී කේම්බ්‍රියානුවන් ජය ගත් අතර 2011 දී සෙබස්තියන්වරු සනිත ද මෙල්ගේ නායකත්වයෙන් ජය ගත්හ.

මෙතෙක්  ලබාගත් වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 1991 දී වේල්ස් කුමර පිතිකරු නිලන්ත බෝපගේ විසින් (179) නොදැවී ලබා ගැනීම දැක්විය හැක. හොදම පන්දු යැවීමේ වාර්තාව 2009 දී ලකුණු 53කට කඩුලු 8ක් දවා ගනිමින් අනුක් ද අල්විස් සෙබස්තියන්වරු වෙනුවෙන් පිහිටුවා ඇත. මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ ලබාගත් ඉහළම කණ්ඩායම් ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 415/9කට 1958 දී කේම්බ්‍රියානුවන් විසින් ලබා ගැනීමත්, අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස සෙබස්තියන්වරු ලකුණු 36කට 1937 දී දැවී යාමත් දැක්විය හැක. පසුගිය වසරේ පැවති 67 වන මොරටු මහා රන් සටන ජය පරාජයෙන් තොරව අවසන් විය.

වේල්ස් කුමර විදුහල

සවිඳු පීරිස්ගේ නායකත්වය සමඟින් මෙවර මහා ක්‍රිකට් තරගයට මොරටුව වේල්ස් කුමර විදුහල ප්‍රවිෂ්ට වේ. උප නායකත්වය අත්දැකීම් බහුල අවිඳු ප්‍රනාන්දු විසින් දරයි. මීට අමතරව වේල්ස් කුමර පිලේ ප්‍රධාන තුරුම්පුව ලෙස ගිය වසරේ 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ විශ්ව චතුරංග හැඳින්විය හැක. තවද ඔහු පසුගිය වසරේ මහා ක්‍රිකට් තරගයේ දී කේම්බ්‍රියානුවන්ට නායකත්වය දීම නිසා අත්දැකීම බහුල ක්‍රීඩකයෙකු ලෙස මෙවර තරගයට එක්කාසු වේ. එසේම මේ වන විට ක්‍රියාත්මක වන 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී විශ්ව ලකුණු 850ක් රැස් කර ඇත.

තවද අවිඳු ප්‍රනාන්දු ලකුණු 650ක් ද, ආරම්භක පිතිකරු සඳුන් ප්‍රනාන්දු ලකුණු 600ක් ද රැස් කරගෙන ඇත. පන්දු යැවීමේ දී කෞමාල් නානායක්කාර කඩුලු 75ක් ලබාගෙන ඇත. නායක සවිඳු කඩුලු 98ක් සහ ලකුණු 400ක් සමඟින් තුන් ඉරියව්වෙන් කැපී පෙනෙයි. මහා ක්‍රිකට් තරගයේ දී ද මෙම ක්‍රීඩකයන්ගෙන් විශාල බලාපොරොත්තුවක් ඇති බව වාර්තා වේ.

සාන්ත සෙබස්තියන් විදුහල

තරුෂ ප්‍රනාන්දුගේ නායකත්වය සමඟින් මෙවර සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයින් රන් සටනට අවතීර්ණ වේ. උප නායකත්වය භාර වී ඇත්තේ අත්දැකීම්වලින් පරිපූර්ණ ප්‍රවීන් ජයවික්‍රමටයි. ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම වර්තමානය තුල නියෝජනය කරන ක්‍රීඩකයින් දෙපලක් සමඟින් රන් සටනට පිවිසීම සෙබස්තියන්වරුන්ට වැඩි වාසියක් අත්කරදෙනු නොඅනුමානයි. ඒ ප්‍රවීන් ජයවික්‍රම සහ නුවනිදු ප්‍රනාන්දු ය.

මෙම තරග වාරයේ දී අන්තර් පාසල් දෙදින තරගාවලිය තුල සාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කීරීමට ලකුණු 1000ක් සමඟ තරුෂ ප්‍රනාන්දු සමත්ව තිබේ. එපමණක් නොව ඔහු කඩුලු 33ක් දවා ගැනීමට ද සමත්ව ඇත. මීට අමතරව දක්ෂ පිතිකරුවෙකු වන ශෙනාල් ප්‍රනාන්දු ලකුණු 500ක් ද, විනුජ රණසිංහ පන්දුවෙන් කඩුලු 53ක් ද දවා ගනිමින් දක්ෂතා දක්වා ඇත. නැවතත් මහා ක්‍රිකට් ජයකට ඉව කරමින් සෙබස්තියන්වරු පසුවන බව වාර්තා වේ.

සීමිත පන්දුවාර ක්‍රිකට් ගැටුම.

මොරටු මහා රන් සටනේ මහා ක්‍රිකට් තරගයට සමගාමීව පවත්වනු ලබන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මාර්තු මස 11 වැනිදා මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මේ දක්වා පැවති තරග 32න් 16ක ජය සෙබස්තියන් ක්‍රීඩකයින් සතු වන අතර කේම්බ්‍රියානුවන් තරග 13ක් ජයගෙන ඇත. එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වීමෙන් ද, තරග දෙකක් තීරණයක් නොමැතිව ද අවසන් වී ඇත.

2011 වසරේ පැවති සීමිත ඕවර් ක්‍රිකට් තරගයේ දී සෙබස්තියන්වරු මෙතෙක් දෙවිදුහල් අතර සීමිත පන්දුවාර තරගයක වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන්නට සමත් විය. ඒ පළමුව පන්දුවට පහර දුන් කේම්බ්‍රියානුවන් ලබාගත් ලකුණු 287 හඹා ගොස් ජය ගැනීමෙනි. එම තරගයේ දී කුසල් මෙන්ඩිස්, අවිෂ්ක ප්‍රනාන්දු වැනි සුවිශේෂී ක්‍රීඩකයින් රැසක් දක්ෂතා දැක්විය.

සාරාංශය

කණ්ඩායම් දෙක දෙස ස්වාධීනව බැලූ කල ඉතාම සමබර කණ්ඩායම් ද්විත්වයක් දැකිය හැක.19න් පහළ ක්‍රිකට් තරග වාරය සැලකීමේ දී වැඩි ගෞරවය මොරටුව වේල්ස් කුමර විදුහල අත්පත් කරගෙන ඇති හෙයින් මොරටු මහා රන් සටනට වැඩි අපේක්ෂාවන් සමඟින් ඔවුන් පිවිසේ.‍

නමුත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය දෙස බැලූ කල ඉතිහාසය හා සැසඳීමේ දී සෙබස්තියන්වරු ඉදිරියෙන් පසුවේ.

1977න් පසු තවමත් මහා ක්‍රිකට් තරග ජයක පිපාසාවෙන් කේම්බ්‍රියානුවන් මෙවර තරගයට තරග කරයි. ඒ අතර මහා ක්‍රිකට් තරග ජයග්‍රහණයන්හී හිඟය පිරවීමේ අභිලාෂයෙන් සෙබස්තියන්වරු තරගයට සූදානම් ය.

මොරටු මහා රන් සටනේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්. එමෙන්ම සීමිත පන්දුවාර තරගය සජීව ලෙස ආවරණය කිරීමට ThePapare.com සූදානම්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<