2017 ආධුනික බොක්සිං තරගාවලිය මැයි 28 ඇරඹේ

226
BASL Novices tournament

ශ්‍රී ලංකාවේ දක්ෂ ආධුනික බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වේදිකාවක් සපයන “2017 ආධුනික බොක්සිං තරගාවලිය” එළඹෙන මැයි 28 වනදා ඇරඹීමට නියමිතව ඇත්තේ රාජකීය මාස් බොක්සිං කවයේදීයි. තරගාවලිය ජූනි 1 වැනිදා දක්වා පැවැත්වේ.

තරගාවලිය, වයස අවුරුදු 19 සිට 40 දක්වා වයස් තුළ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සඳහා සුදුසු වන අතර සෑම දිනකම සවස 3.00 සිට තරග පැවැත්වෙන්නේ බොක්සිං ප්‍රේක්ෂක ඔබට ඒවා නැරඹීමේ අවස්ථාව උදාකරමිනි.

උපන් වර්ෂය අනුව වයස් කාණ්ඩ අතරට යොමු කෙරෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ තරගාවලියට පෙර අන් කිසිදු ප්‍රමුඛ පෙළේ තරගාවලියක් ජයග්‍රහණය කර නොතිබීම ද අත්‍යාවශ්‍ය වේ. මේ තරගාවලියේ ජයග්‍රහණ ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ලේටන් කුසලානය, ක්ලිෆර්ඩ් කුසලානය සහ ජාතික බොක්සිං ශූරතාවලිය ආදී දිවයිනේ නමගිය තරගාවලි නියෝජනය කිරීමේ වරම හිමිකර ගනියි.

ජාත්‍යන්තර නීතිරීති වලට අනුකූලව පැවැත්වෙන තරගාවලියේ සෑම තරගයක්ම මිනිත්තු 3 බැගින් වූ වට තුනකින් යුක්ත වන අතර ඒ සෑම වටයක් අතරතුරම ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩිකාවන්ට මිනිත්තුවක විවේකයක් හිමි වේ. බර පන්ති 10ක් යටතේ තරග පැවැත්වීමට නියමිතයි. පිරිමි කි.ග්‍රෑ. 49 ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තියේ සිට කි.ග්‍රෑ. 91ට වැඩි හෙවි වෙයිට් බරපන්තිය දක්වාත්, කාන්තා කි.ග්‍රෑ. 48 ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තියේ සිට කි.ග්‍රෑ. 81ට වැඩි හෙවි වෙයිට් බරපන්තිය දක්වාත් තරග පැවැත්වේ. මීට අදාළ බර මැනීමේ සහ වෛද්‍ය වාර්තා ලබා දීමේ කටයුතු එළඹෙන දින 5 පුරාවටම රාජකීය මාස් බොක්සිං කවය තුළ දී පැවැත්වෙන්නේ පෙ.ව. 8.00 සහ 9.00 අතරයි.

තරගාවලියේ සුපුරුදු නියෝජනයන් වන යුධ හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා සහ පොලිස් ක්‍රීඩා සමාජත්, ස්ලිම්ලයින්, යුනිචෙලා, ලීනියා, රාජකීය බොක්සිං සමාජය, විද්‍යාර්ථ, ත්‍රිත්ව ක්‍රීඩා සමාජයන් මෙවරත් තරගාවලියට එක්වෙනු ඇතැයි බලාපොරොත්තු වේ. නවක ක්‍රීඩා සමාජයක් ලෙස ගොඩනගන ලද හෙළ බොක්සිං සමාජය ද මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම එක්කොට ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට