ශ්‍රී ලංකාවට සමඟින් තරග කරන ඕස්ට්‍රේලියානු T20 සංචිතය නම් කෙරේ

1623
Australia T-20 squad

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගි වන ඕස්ට්‍රේලියානු සංචිතය මේ වන විට නම් කර තිබේ. එහිදී ඕස්ට්‍රේලියාව සතු නමගිය ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු වෙනුවට බිග් බෑෂ් ලීග් (BBL) වැනි ඕස්ට්‍රේලියානු දේශීය ක්‍රිකට් තරගාවලි වලදී සුපිරි දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් පිලිබඳ වැඩි විශ්වාසය තබා ඇති බව පෙනී යයි.

සුපුරුදු ප්‍රහාරය කොදෙව්වන්ටත්, ශ්‍රී ලංකාවට තවත් ජයක්

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා වන දෙවැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම …

ඒ අනුව වයස 36ක් වන දකුණත් පිතිකරු මයිකල් ක්ලින්ගර් සංචිතය සඳහා නම් වී ඇත්තේ වසර 6කින් පමණ ඕස්ට්‍රේලියානු හිස්වැස්ම පළඳන්නට වරම් නොලද කඩුලු රකින පිතිකරු ටිම් පේන් සමගිනි. තවමත් ජාත්‍යන්තර වරම් හිමි නොවූ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ජේ රිචඩ්සන් සහ තුන් ඉරියව් ක්‍රීඩක ඇෂ්ටන් ටර්නර් ද මෙවර සංචිතය සඳහා නම්කර ඇත.

නමුත් මෙවර බිග් බෑෂ් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ බෙන් ඩන්ක් සහ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූ සීන් ඇබට් යන දෙදෙනාටම ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ ඉඩකඩක් වෙන්වී නොමැත. එසේම කැන්ගරු දේශයෙන් බිහිවූ සුපිරි ක්‍රිකට් තරු වන ස්ටීවන් ස්මිත්, ඩේවිඩ් වෝනර්, මිචෙල් ස්ටාර්ක්, ජෝශ් හැසල්වුඩ් සහ ග්ලේන් මැක්ස්වෙල් වැනි ක්‍රීඩකයින් ද ඉන්දියාවේදී නුදුරේදීම ඇරඹීමට නියමිත ටෙස්ට් තරගාවලියට වැඩි අවධානයක් යොමු කිරීමට සිදුව ඇති මෙම තරගාවලියට සහභාගි වන්නේ නැත.

මෙම ක්‍රීඩකයින් අතුරින් ක්‍රිස් ලින් සහ ට්‍රැවිස් හෙඩ් BBL තරගාවලියේ කිරුළු පළන් රජුන් දෙදෙනෙකු ලෙස සැලකිය හැකි අතර අත්දැකීම් සහිත කඩුලු රකින පිතිකරුවෙකු වන ටිම් පේන් නැවතත් ජාතික කණ්ඩායම හා එක්වීම ඕස්ට්‍රේලියානු කණ්ඩායම අත්දැකීම් අතින් පොහොසත් කිරීමට හේතුවනු ඇත. එසේම මෙවර සංචිතය සඳහා නම්කර ඇති ඇෂ්ටන් ටර්නර්, ඇඩම් සැම්පා, පැට් කමින්ස්, වැනි පන්දු යවන්නන් කඩුලු දවා ගැනීම අතින් ද, ලකුණු අඩුවෙන් ලබා දීම අතින් ද ඉදිරියෙන් පසුවේ.

ඒ අනුව නවක ක්‍රීඩකයින් වැඩි වශයෙන් අඩංගු වූවත් දක්ෂතා අතින් අඩුවක් නොවන මෙවර ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස සංචිතයට එරෙහිව සුපිරි තරග රටාවක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත. රටවල් දෙක අතර ප්‍රථම විස්සයි විස්ස තරගය මෙම මස 17 වැනිදා මෙල්බර්න් හිදී ආරම්භ වීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු සංචිතය – ආරෝන් ෆින්ච් (නායක), මයිකල් ක්ලින්ගර්, ට්‍රැවිස් හෙඩ්, ක්‍රිස් ලින්, මොයිසස් හෙන්රිකස්, ඇෂ්ටන් ටර්නර්, ටිම් පේන්, ජේම්ස් ෆෝක්නර්, පැට් කමින්ස්, ඇඩම් සැම්පා, ඇන්ඩෘ ටයි, ජේ රිචඩ්සන්, බිලී ස්ටැන්ලේක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<