ආසියානු මල්ලවපොර පිටිය ජය ගන්න යන ශ්‍රී ලාංකිකයා

447

18 වන ආසියානු ශූරතා තරගාවලිය වෙනුවෙන් විවිධ ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 200කට ආසන්න පිරිසක් මේ සති අන්තයේ දී ඉන්දුනීසියාවේ “ජකර්තා” අගනුවර වෙත ළඟා වීමට සූදානමින් සිටියි. ඒ අතරින් මල්ලවපොර ක්‍රීඩාව වෙනුවෙන් ද මෙවර තරගාවලිය නියෝජනය කරන්නට ශ්‍රී ලාංකිකයෙකු සුදුසුකම් ලබා ඇත. නමින් ඔහු චාර්ල්ස් දිවෝෂන් ප්‍රනාන්දු.

1989 වසරේ සැප්තැම්බර් 25 වැනිදා මෙලොව එළිය දුටු චාර්ල්ස් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ  දීප්තිමත් ආදී ශිෂ්‍යයෙකි. මේ වන විට චාර්ල්ස් ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් දස්කම් දක්වන අතර චාර්ල්ස්ගේ ජාත්‍යන්තර ජයග්‍රහණ දෙස හැරී බැලීමේ දී නිමාවුණු 2016 ආසියානු තරගාවලියේ දී  නිදහස් ආර කි.ග්‍රෑ. 61 බර පන්තිය නියෝජනය කරමින් සමස්ත ශ්‍රේණි ගත කිරීමේ 5 වන ස්ථානය දිනා ගැනීමට ඔහු සමත් විය. තවද 2017 වසරේ දී ඔහු 11 වන ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා පිවිසුණු අතර එහි දී නිදහස් ආර කි.ග්‍රෑ. 57 බර පන්තිය නියෝජනය කරමින් සත්වැනි ස්ථානය දිනා ගන්නට ඔහු සමත් විය. පසුගිය වසරේ පැවති ආසියානු ගෘහස්ථ හා සටන් කලා තරගාවලියේ දී නිදහස් ආර කි.ග්‍රෑ. 57 බර පන්තිය නියෝජනය කරමින් ඔහු 18 වන ස්ථානය ද දිනා ඇත.

තවමත් වයස 28ක් වන කි.ග්‍රෑ. 61ක දේහ ධාරී සිරුරක් ඇති මේ තරුණයා මෙවර තරගාවලිය ද ශ්‍රී ලංකා මාතෘ භූමිය නියෝජනය කරන්නට සූදානමින් සිටියි. මිලියන 20ක් වූ සියලු ක්‍රීඩාලෝලීන් සමඟින් ThePapare.com අපි ද ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනන්නට ඔබට ශක්තිය ලැබේවා’යි ප්‍රාර්ථනා කරමු.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<