තවත් දකුණු ආසියානු රටකට ටෙස්ට් වරම්

312

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සැසිවාරය පසුගියදා එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවති අතර එහිදී ගත් තීරණයකට අනුව ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තයට පූර්ණ සාමාජිකත්වය හෙවත් “ටෙස්ට් වරම්” හිමිවී ඇතැයි වාර්තා වේ.

ඊයේ (22) පැවති සැසිවාරයේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම යෝජනාවට අත්සන් තබා ස්ථිර කොට ඇත. එබැවින් මෙතෙක් දින පහේ ජාත්‍යන්තර ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමේ වරම හිමිවී තිබූ රටවල් අතරට එකොළොස්වැනි සහ දොළොස්වැනි රටවල් ද්විත්වය ලෙස එක්වීමට අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය සමත් විය.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි ශෆීක් ස්ටැනික්සායි මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ස්තුතිය පළකරමින් කියාසිටියේ මෙය ඇෆ්ගනිස්තානය කාලයක් පුරාවට බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවක් බවයි. අයර්ලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී වොරන් ඩියුට්‍රොන් මහතා කියාසිටියේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙමඟින් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය පිළිබඳ තමන්ගේ කැපවීම ප්‍රකට කළ බවයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් මහතා කියාසිටියේ ඊයේ (22) සිදුකිරීමට ලැබුණු ඓතිහාසික දැනුම්දීම පිළිබඳ තමන් මහත් සතුටටත් ආඩම්බරයටත් පත්වන බවයි. එමෙන්ම කණ්ඩායම් දෙකටම සුභ පැතීමටද ඔහු අමතක නොකළේය.

ලෝක ටෙස්ට් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතුරින් වඩාත් මිත්‍රශීලී ප්‍රජාව සේ සැලකෙන ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රජාව වශයෙන් අපි, ටෙස්ට් රාජ්‍යයන් අතරට ඔවුන් දෙපලම සාදරයෙන් පිළිගනිමු.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<