පාකිස්තානයේ නැගිටීම සහ අපි

450
Pakistan cricket team and Sri lanka Team

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ අතිශය අවමන් සහගත පරාජයක් ලබා ඊයේ (03) වන විට ගතව තිබුණේ හරියටම දින දෙකක් පමණකි.

නොකඩවා ලද එක්දින තරග පරාජයන් 11ක් අතරතුර පිට පිට 4 වරක් තමන් පරාජය කරන්නට සමත් වූ සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පාකිස්තානය පිටියට පිවිසෙන විට ඔවුන් වැටී සිටි අගාධයෙන් ගොඩ එන්නට මේ තරගය ඉඩ දෙනු ඇතැයි විශ්වාස කළ පිරිස අතලොස්සකට වඩා වැඩි විය නොහැක.

කෙසේ වෙතත් පාකිස්තානුවන් තමන්ව අවිශ්වාස කළ ක්‍රිකට් ලෝකයට වචනයෙන් නොව ක්‍රියාවෙන් පිළිතුරු දුන්නේ සත්කාරක එංගලන්තයටත් සිතා ගත නොහැකි අයුරිනුයි.

දකුණු අප්‍රිකාව කලින්ම ”පිස්සු කෙළින” ලකුණු

දකුණු අප්‍රිකාව සහ ලෝක කුසලාන ක්‍රිකට් අතර ඇත්තේ එතරම් මිහිරි සම්බන්ධයක් නම් නොවේ…

වගකීම තේරුම් ගත් පිතිකරුවන්

කොදෙව්වන් සමඟ පැවති තරගයේ දී කෙටි පන්දු හමුවේ අසරණ වූ පාකිස්තානු කණ්ඩායම කබලෙන් ලිපට ඇද දැමීමේ අරමුණ ඇතිව එංගලන්තය ඊයේ තරගයට පිවිසුණේ මාක් වුඩ්ගේ පන්දුවේ වේගය ද සිය කණ්ඩායමට එක් කර ගනිමිනුයි. කෙසේ වෙතත් එකම වරද දෙවරක් කිරීමට අකමැති වූ පාකිස්තානු පිතිකරුවන් මෙම තරගයට පිවිස තිබුණේ සිය වගකීම් කොටස පිළිබඳ මනා අවබෝධයක් ඇතිවයි.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 82ක ස්ථාවර සබඳතාවක් ගොඩනගද්දී මැදපෙළ පිතිකරුවන් සියලු දෙනා ක්‍රම ක්‍රමයෙන් ඉනිමට වේගය එක් කරන්නටත්, සිය වගකීම් කොටස මනාව ඉටු කරන්නටත් සැදී පැහැදී සිටීම මෙම තරගයේ පළමු ඉනිම පුරාවටම කැපී පෙනුණු කරුණක් විය.

ලකුණු 14 දී නැවත ජීවය ලද මොහොමඩ් හෆීස් ලකුණු 84ක් සමඟින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙද්දී, බාබර් අසාම් සහ සෆ්රාස් අහමඩ් ද අර්ධ ශතක රැස් කරමින් ඉනිම සවිමත් කිරීමට දායකත්වය ලබා දුන්නේය.

පාකිස්තානු ඉනිම පුරාවට එකදු ශතකයක් හෝ වාර්තා නොවුනත් ඉනිම අවසන් වන විට ලකුණු පුවරුව 348ක දැවැන්ත එකතුවක් වෙත ගොඩ නැගී තිබුණේ ක්‍රිකට් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කණ්ඩායම් ක්‍රීඩාවක් බව පෙන්වා දෙමින්. ශතක දෙකක් අන්තර්ගත වූ නමුත් ඊළඟ වැඩිම ලකුණු 32 සහ 21 වූ එංගලන්ත ලකුණු පුවරුවේ ඉදිරි ගමන පාකිස්තානයට පසුපසින් නතර වීම තරම් මෙම කරුණ සනාථ කරන්නට තවත් උදාහරණ කුමටද..?

වගකීම කාට ද..?

එංගලන්ත කණ්ඩායම 2015 වසරෙන් පසු සිය රටේ දී ලකුණු හඹා ගිය එක්දින තරගයක් පරාජය වී තිබුණේ නැත. ඊට ප්‍රධාන හේතුව පන්දු යවන්නන් ප්‍රතිවාදීන්ව අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත් වීමටත් වඩා පන්දු යවන්නන්ගේ වැරදිවලට පිත්තෙන් පැලැස්තර දැමිය හැකි පිතිකරුවන් එංගලන්තය සතු වීම ලෙස විචාරකයන් නිරතුරුවම පෙන්වා දෙන කරුණකි.

කෙසේ වෙතත් වර්තමානය වන විට පිතිකරුවන්ට සහ පන්දු යවන්නන්ට ඇති වගකීමට එහා ගිය වගකීමක් පන්දු රකින්නන්ට ඉටු කිරීමට ඇති බව ඊයේ තරගයේ දී පෙනී ගියේ එංගලන්ත පන්දු රකින්නන් අසාමාන්‍ය ලෙස දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීම හේතුවෙනුයි.

එංගලන්ත පන්දු රකින්නන් අතින් පන්දු ගිලිහී ගිය අවස්ථා (mis-fields) 13ක් ඊයේ තරගයේ දී දක්නට ලැබුණු අතර එමගින් පාකිස්තානුවන් සොරා ගත් ලකුණු සංඛ්‍යාව 17ක් ලෙස ක්‍රිකට් දත්ත විශ්ලේෂකයන් පෙන්වා දෙයි. මෙම තරගයෙන් එංගලන්ත කණ්ඩායම පරාජය වුනේ ලකුණු 14කින් වන අතර පිටියේ දී වැඩිපුර ලබා දුන් ලකුණු 17 නොවන්නට තරගයේ තීරණය කෙතරම් දුරට වෙනස් වන්නට තිබුණා ද යන්න විමසා බැලිය යුතුය.

එමෙන්ම මොහොමඩ් හෆීස් ලකුණු 14ක් ලබා සිටිය දී ලබා දුන් පහසු උඩ පන්දුව ජේසන් රෝයි අතින් ගිලිහී යාම තරම් එංගලන්තයට අවාසිදායක වූ තවත් සිදුවීමක් තරගය තුළ දක්නට ලැබුණේ නැති තරම් ය. එම සිදුවීමෙන් පසු හෆීස් ලබාගත් ලකුණු සංඛ්‍යාව 70 කි.

පාකිස්තානුවන් අතින් වඩාත් හානිදායක උඩපන්දු ගිලිහී යාමක් සිදු වුනත් (ජෝ රූට් ලකුණු 9ක් ලබා සිටිය දී ලබා දුන් තරමක් අපහසු උඩපන්දුව ගිලිහී යාමෙන් පසු ඔහු ශතකයක් වාර්තා කිරීම) වාසනාවට මෙන් එය ඔවුන්ගේ ජයග්‍රාහී ගමනට විශාල බලපෑමක් කිරීමට හේතු නොවීය.

එංගලන්තයේ පරාජය ගැන නායකයාගෙන් දුක හිතෙන කතාවක්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ වන විට එංගලන්තයේ දී පැවැත්වෙනවා…

නීතිය නවන්නට ගිය නායකයන්ට විනිසුරුවන්ගෙන් දෝස්මුරයක්

පන්දුව පළුදු කිරීම හෝ පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම ක්‍රිකට් නීති පොතට අනුව බරපතළ වරදකි. පන්දුවට පැණි රස කෑම මිශ්‍රිත කෙළ ආලේප කළ ෆෆ් ඩු ප්ලේසී සහ දිනේෂ් චන්දිමාල් තරග තහනම්වලට ලක් වන අයුරුත්, වැලි කඩදාසියකින් පන්දුව ‘පරණ’ කරන්නට උත්සාහ කළ ස්ටීවන් ස්මිත්ට සහ ඩේවිඩ් වෝනර්ට වසරක් ක්‍රිකට් අහිමි වූ අයුරුත් ඔබට මතක ඇත.

කෙසේ වෙතත් ඊයේ තරගයේ දී කණ්ඩායම් දෙකම මේ නීතිය නීත්‍යනුකූල ලෙසම උල්ලංඝනය කරන්නට ක්‍රමවේදයක් සොයාගෙන තිබුණි. පන්දුව පිටියේ ඈත කෙළවරට ඇදී යන අවස්ථාවල දී පන්දුව නැවත භාර දීමට පෙර දෙතුන් වරක් බිම පතිත වී එන ලෙස පන්දුව යොමු කිරීම මගින් පන්දුවේ දිස්නය අඩු කිරීම එම ක්‍රමයයි. පන්දුව පළුදු කිරීම වැරැද්දක් වුවත් පිටියේ ඈත කෙළවරේ සිට පන්දුව යොමු කිරීමේ දී බිම පතිත කළ හැකි වාර ගණන පිළිබඳ නීතියක් ක්‍රිකට් පොතේ නැත.

නමුත් මේ නීති නැමීම ගැන අවධානයෙන් සිටි විනිසුරුවන් පළමුව එංගලන්ත කණ්ඩායමට අවවාද කළේ පන්දුව යොමු කිරීමේ දී අනවශ්‍ය ලෙස බිම පතිත කිරීමෙන් වළකින ලෙසයි.  එංගලන්ත නායක ඔයින් මෝගන් තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී මේ බව සනාථ කළ අතර එම උපක්‍රමය එලෙසම භාවිත කිරීමට පාකිස්තානුවන් ද පසුබට වී තිබුණේ නැත.

තරගයෙන් අනතුරුව මොහොමඩ් හෆීස් මාධ්‍ය වෙත පවසා තිබුණේ තම කණ්ඩායම පන්දු යවන අවස්ථාවේ පන්දුවාර 20ක් පමණ අවසන් වීමෙන් අනතුරුව විනිසුරුවන් මේ පිළිබඳව කණ්ඩායම සමඟ සාකච්ඡා කළ බවයි. පන්දුව එක් වරකට වඩා බිම පතිත කරමින් පිටිය මැදට යොමු කිරීම තවදුරටත් සිදු වුවහොත් ප්‍රතිවාදීන් වෙත දඬුවම් ලකුණු ප්‍රදානය කිරීමට සිදු වන බව විනිසුරුවන් පැවසූ බවයි හෆීස් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ඉන් අනතුරුව පකිස්තානු කණ්ඩායම එසේ කිරීමෙන් වැළකී ඇති අතර මෙම තත්ත්වය හරහා වින්දනයක් ලැබීමට සිතූ මොහොමඩ් හෆීස්  වරක් විනිසුරුවරයා වෙතම දිව ගොස් පන්දුව ඔහු වෙත භාර දී එන අයුරු ද දක්නට ලැබුණි.

උගත යුතු පාඩම්

පාකිස්තානය මේ තරගයට පිවිසෙන්නේ නොකඩවා ලද එක්දින තරග 11ක අමිහිරි මතකයත් සමඟයි. වසර ගණනාවක් සිය මව් රටේ ක්‍රීඩා කිරීමට ත්‍රස්තවාදය ඉඩ නොදෙන පසුබිමක, තම ක්‍රීඩකයන් තරග පාවා දීමට වරදකරුවන් වූ එංගලන්ත බිමේ දී, මසක් පමණ ඇතුළත නොකඩවා තරග 4ක් තමන්ව පරාජය කළ කණ්ඩායමක් හමුවේ, ලෝක කුසලාන ඉතිහාසයේම දරුණු පරාජයක් ලබා දින 3ක් ඇතුළත, ලෝක කුසලාන තරගයක පීඩනය සමඟින්, මේ තරගයට පිවිසෙන පාකිස්තානයට හිතා බලන්නට ධනාත්මක කරුණක් තිබුණා ද යන්න ගැටලුවක්. නමුත් ඔවුන්ගේ කණ්ඩායම මෙම තරගය ක්‍රීඩා කළ ආකාරය දෙස බලා සිටියා නම් මා ඉහත සඳහන් කළ තත්ත්වයන් එකකට හෝ ඔවුන්ට මුහුණ දීමට සිදු වුනා දැයි සිතා ගැනීම අපහසු වනු ඇති.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

ශ්‍රී ලංකාව ද මේ වන විට සිටින්නේ එවැනිම පසුබිමක බව නොරහසක්. කෙසේ වෙතත් මෙරට ක්‍රීඩකයන් තුළ දක්නට නොලැබෙන්නේ ඊයේ තරගයේ පාකිස්තානුවන් ප්‍රදර්ශනය කළ සටන්කාමීත්වයයි. පාකිස්තානය නැවත නැගී සිටීමේ පාඩමක් ලොවට පෙන්වමින් සිටින අතරතුර මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම තුළ ඇති ප්‍රධාන ගැටලුවක් පිළිබඳ සඳහන් කළේ මෙවන් අදහසක්.

“පහුගිය කාලය තිස්සෙම මැච් එකක් පරදිනවා, ඒක අමතක කරනවා, අනිත් එකට යනවා, ඒක පරදිනවා, ඊළඟ එකට යනවා. එහෙම ගියොත් අපිට හැමදාම මේ විදියට යන්න පුළුවන් වෙයි. එහෙම ක්‍රිකට් ගහන්න බැහැ. හැම ක්‍රීඩකයෙක්ටම තමන්ගේ තරගකාරිත්වය සම්බන්ධයෙන් බයක්, ලැජ්ජාවක්, (තියෙන්න ඕන), තමන් දක්ෂතා දක්වන්නම ඕන කියන මතේ ඉඳගෙන ක්‍රීඩා කළ යුතුයි. නැත්නම්, අපේ ක්‍රිකට් මෙතනින් එහාට අරගෙන යන්න අමාරුයි. හෙට ඉඳලා හරි ලංකාවෙන් පහළොස් දෙනෙක් අතරට තේරිලා ඉන්න මම නිකන් තරගයට ඇවිත් යන්න නෙවෙයි, මට බාරදීලා තියෙන ජොබ් එකක් තියෙනවා, මම එක කරන්න ඕන කියල බයක් ලැජ්ජාවක් තිබුනොත් විතරයි හැමදේම වෙනස් වෙන්නේ.”

එංගලන්ත ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඊයේ තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ මෙම තරග පරාජය පිළිබඳ සහ කණ්ඩායමේ පන්දු රැකීමේ දුර්වලතා පිළිබඳ අතිශයින් කනගාටුවට සහ ලැජ්ජාවට පත්වන බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙස අවධානයෙන් බලා සිටින ක්‍රීඩාලෝලීන් බොහෝ දෙනා පවසන කරුණක් වන්නේ ඔවුන්ට තරග පරාජයක් හෝ අසාර්ථකත්වය පිළිබඳ කනගාටු වන බවක් හෝ ඒ හරහා යමක් ඉගෙන ගන්නා බවක් නොපෙනෙන බවයි.

වසර ගණනාවක් තුළ මෙරට හා විදේශීය වශයෙන් ජයග්‍රාහී කණ්ඩායම් රැසක අත්දැකීම් ලබා ඇති ලසිත් මාලිංග පවසන කරුණු හරහා ක්‍රීඩාලෝලීන් කණ්ඩායම පිළිබඳ එවන් ආකල්පයක පසු වීම අසාධාරණ නොවන බව ද තහවුරු වේ.

පරාජයේ ගැඹුරුම පතුලේ සිට ජයග්‍රහණයේ කඳු මුදුන කරා ළඟා වන්නට වැඩි කාලයක් අවශ්‍ය නොවන බව පාකිස්තානුවන් ඇතුළු කණ්ඩායම් කිහිපයක් මෑත ඉතිහාසයේ දී ම ආදර්ශයෙන් පෙන්වා දී තිබේ.

එසේ තිබියදීත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවශ්‍ය වන්නේ පරාජය දෙස සැහැල්ලුවෙන් බලා, ඉඳ හිට ලැබෙන ජයග්‍රහණයක දී තමන්ට නොලැබෙන සහයෝගය පිළිබඳ දෙස් දෙවොල් තබන්නට නම් හෙට දිනය ගැන ක්‍රීඩාලෝලීන්ට තබා ගත හැකි බලාපොරොත්තුව කුමක්ද? ඊට පිළිතුර දෙන්නේ අප නොව ලසිත් මාලිංගයි.

‘අපේ ක්‍රිකට් මෙතනින් එහාට අරන් යන්න අමාරුයි.”

ප.ලි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තුළ ඇති සහජ දක්ෂතා පිළිබඳ තර්කයක් නොමැත. නමුත් විශිෂ්ටයන් බිහි වන්නේ දක්ෂතාවයට, කැපවීම සහ යහපත් ආකල්ප එක්වීමෙන් පමණි. තම ක්‍රිකට් දිවියේ අවසන් දිනය තෙක් පැය ගණන් පුහුණු තණතීරුවේ කල් මැරූ සංගක්කාරලා, වයස හතළිස් ගණන් වනතුරුත් කණ්ඩායමේ ශක්තිමත්ම ක්‍රීඩකයා වීමට පැය ගණන් ව්‍යායාම කළ ජයසූරියලා, ඔසවා ගන්නට අපහසු ශරීරයක් සමඟ පවා රට ගැන හිතා ක්‍රිකට් ගැසූ රණතුංගලාගෙන් වත්මන් ක්‍රීඩකයන් බොහෝ දෙනෙකු ලබා ගත යුතු ආදර්ශය එයයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<