ලෝක ශූර එංගලන්තය “ඇහින්දාස් ටීම්” එකක් ද?

1339

ගමේ ගොඩේ අය පිට කෙනෙක් කණ්ඩායමකට ඇතුළත් වුනොත් කියන්නේ ඒක ඇහින්දාස් ටීම් එකක් කියලයි. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කළ එංගලන්තයටත් ඒ ලේබල් එක ඇලවිලා. ඇත්තටම එංගලන්තය ඇහින්දාස් ටීම් එකක් ද? 

එංගලන්තය “දෙඤ්ඤං බැටේ” දක්වා ආ ගමන

වසර 44ක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ….

ඔයින් මෝර්ගන්

බලාගෙන ගියහම කතාව ආරම්භ කරන්න වෙන්නේ එංගලන්ත කණ්ඩායමේ නායක ඔයින් ජෝසප් ජෙරාඩ් මෝර්ගන්ගෙන්. ඔහු උපත ලබන්නේ 1986 සැප්තැම්බර් මස 10 වැනිදා ඩුබ්ලින් හිදී. ඩුබ්ලින් අයර්ලන්තයේ අගනුවර. අයර්ලන්තය කියන්නේ බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාව අනුව පාලනය වන ප්‍රදේශයක්. ඒ කියන්නේ පාලනය නතුව තිබෙන්නේ බ්‍රිතාන්‍ය මහ රැජිණට. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ දී ඔවුන් ක්‍රීඩා කරන්නේ රටවල් දෙකකට. එහෙම බැලුවහම ඔයින් මෝර්ගන් ඇත්තටම අයිති එංගලන්තයට ද කියල හිතෙනවා. 

මෝර්ගන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට පිවිසීමට වරම් ලබා ගන්නේ අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන්. ඒ වෙද්දී ඔහු පසු වුනේ 19 වැනි වියේ. ඒ 2006 වසරේ යුරෝපියන් ශූරතාව වෙනුවෙන් පැවති අයර්ලන්තය හා ස්කෝට්ලන්තය සමඟ තරගයේ දී. එම තරගයේ දී ඔහු පන්දු 134කට මුහුණ දෙමින් ලකුණු 99ක් ලබා ගන්නවා. මංගල තරගයේ, තරගයේ වීරයා වීමට ද ඔහු වාසනාවන්ත වෙනවා. 

වැඩේ කියන්නේ ඔයින් මෝර්ගන් 2007 දී එංගලන්තයේ පැවති 9 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනවා. ඒ අයර්ලන්ත කණ්ඩායමට. නමුත් එම ලෝක කුසලානය ඔහු ගෙවා දමන්නේ ඉතා අමාරුවෙන්. අංක 3 පිතිකරු ලෙසින් කණ්ඩායමට එක් වූ ඔහුට ලබා ගන්න හැකිවෙන්නේ තරග 9ක දී ලකුණු 91ක් පමණයි. 

මෝර්ගන් අයර්ලන්ත කණ්ඩායම අවසන් වරට නියෝජනය කරන්නේ 2009 අප්‍රේල් 6 වැනිදා කැනඩාව සමඟ පැවති ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගය. එම තරගයේ දී ඔහු ලකුණු 84ක් ලබා ගන්නවා. ඒ වෙද්දී ඔහු අයර්ලන්තය නියෝජනය කරමින් ජාත්‍යන්තර එක්දින තරග 23ක් ක්‍රීඩා කරමින් කැනඩාවට එරෙහිව ලබා ගත් ශතකයක් සහ තවත් අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 744ක් ලබා ගන්නවා. 

ඊට පස්සෙ ඔහු පළමු වරට එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන්නේ අයර්ලන්තයෙන් ඉවත් වී මාසයකට මදක් වැඩි කාලයක ඇවෑමෙන්. ඒ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවයි. එතැන් සිට එංගලන්තය වෙනුවෙන් තම සේවය සලසන මෝර්ගන් මේ දක්වා එංගලන්තය වෙනුවෙන් තරග 210කට සහභාගී වී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 6604ක්. 

බෙන් ස්ටොක්ස්

බෙන්ජමින් ඇන්ඩෘ ස්ටොක්ස් හෙවත් බෙන් ස්ටොක්ස් උපත ලබන්නේ 1991 ජුනි මස 4 වැනිදා නවසිලන්තයේ ක්‍රයිස්චර්ච් හි කැන්ටබරි හිදී.  

බෙන් ස්ටොක්ස්ගේ පියා ජෙරාඩ් ස්ටොක්ස් නවසීලන්තයේ රගර් ක්‍රීඩාව වෙනුවෙන් ගෞරවනීය සේවයක් කළ කෙනෙක්. ඔහු ක්‍රීඩකයෙක් සේ ම පුහුණුකරුවෙක් ලෙසින් එකම කණ්ඩායම නියෝජනය කළ තැනැත්තෙක්. මේ දක්ෂතා නිසා ඔහුට බටහිර එංගලන්තයේ Workington Twon රගර් සමාජයේ පුහුණුකාර ධුරයක් ලැබෙනවා. ඔහු ඊට සහභාගී වෙන්නේ පවුලේ සාමාජිකයන් සමඟ. 

ඒ පැමිණීමත් සමඟින් බෙන් ස්ටොක්ස්ට යන්තම් අවුරුදු 15 ලබද්දී එංගලන්තයේ දී ක්‍රිකට් අත්පොත් තබනවා. ඒ බටහිර ක්‍රැම්බ්‍රියාවේ Cockrmouth ක්‍රිකට් සමාජය නියෝජනය කරමින්. උතුරු ලැන්කර්ෂයර් සහ ක්‍රැම්බ්‍රියා ක්‍රිකට් ලීග් තරගාවලිය ජයග්‍රහණය කිරීමට ඔවුන්ගේ කණ්ඩායම සමත් වීමත් සමඟින් බෙන් ස්ටොක්ස්ගේ නමත් එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයට එක් වෙනවා. ඔහු වයස අවුරුදු 19න් පහළ එංගලන්ත ක්‍රිකට් සංචිතයට එක් වෙනවා. 

බෙන් ස්ටොක්ස්ගේ පියාගේ සේවය අවසන් වෙන්නේ 2013 වසරේ දී. ඔවුන්ට එංගලන්තයේ රැඳී සිටීමට අවස්ථාව ලැබුනත් දෙමාපියන් නැවත නවසීලන්තය බලා යෑමට තීරණය කරනවා. නමුත් බෙන් ස්ටොක්ස් එංගලන්තය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට තීරණය කරමින් නතර වෙනවා. 

මේ වමත් පිතිකරුවාගේ ක්‍රිකට් සේවය කවදාවත් නවසීලන්තයට ලැබී නැහැ. ඉතිං ඔහු නවසීලන්ත නිෂ්පාදනයක් ලෙසින් හැඳින්විය හැකි ද යන්න ප්‍රශ්නයක්. කෙසේ වෙතත් ඔහුගේ නවසීලන්තයේ ලැබූ උපත අප කාටත් වෙනස් කරන්න බැහැ.

ජේසන් රෝයි

එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කළ ජේසන් ජොනතන් රෝයි හෙවත් ජේසන් රෝයිගේ උපත ලෙසින් සඳහන් වෙන්නේ 1990 ජූලි 21 වැනිදා දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයයි. 

ජේසන් රෝයි එංගලන්තයට සංක්‍රමණය වෙන්නේ ඔහුට වයස අවුරුදු 10ක් වෙද්දී. පැමිණ අවුරුද්දක් ඉක්ම වෙද්දී ඔහු එරට දී ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබනවා. ඒ සරේ ක්‍රිකට් ඇකඩමියට බැඳෙමින්. මේ ගමනේ දී ඔහු වයස අවුරුදු 19න් පහළ සරේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් තම උපන් රට වන දකුණු අප්‍රිකානු සංචාරයකට ද සහභාගී වෙනවා. 

දිගින් දිගටම සරේ ක්‍රිකට් කණ්ඩායමේ විවිධ කණ්ඩායම් නියෝජනය කරන ජේසන් රෝයි එංගලන්තය සහ දකුණු අප්‍රිකාව සමඟ ද ඕවල් පිටියේ 2008 දී පැවති අවසන් ටෙස්ට් තරගයේ දී කණ්ඩායම් සංචිතයේ නොසිටිය ද පන්දු රකින්නෙක් ලෙසින් කණ්ඩායමට ආදේශ කර ගන්නවා. ඒ ඔහු පන්දු රකින්නෙක් ලෙසින් පෑ දක්ෂතාවන් හේතුවෙන්. 

කෙසේ නමුත් ජේසන් රෝයිට එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගැනීමට තවත් වසර ගණනාවක් එංගලන්ත ප්‍රාන්ත පිටියේ රැඳී සිටීමට සිදු වෙනවා. ඔහුට එම අවස්ථාව ලැබෙන්නේ 2015 වසරේ මැයි මාසයේ අයර්ලන්තය සමඟ පැවති තරගයේ දී. නමුත් ඔහු ඊට පෙර වසරේ සිට එංගලන්ත කණ්ඩායම නියෝජනය කරමින් විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා තිබුණා.

දකුණු අප්‍රිකාවේ උපත ලැබූව ද ජේසන් රෝයි තනිකරම එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් පිටියෙන් මතු වූ ක්‍රීඩකයෙක්. එයිනුත් ඔහු සරේ ප්‍රාන්ත ක්‍රිකට්  ක්‍රීඩාවෙන් උපත ලැබූවෙක් බැව් කිව හැකියි.

​ප්‍රබල ඉන්දියානුවන් දණගැස්වූ නවසීලන්ත වික්‍රමය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ ……….

ජොෆ්රා ආචර්

අවසාන මහා තරගයේ සුපිරි පන්දුවාරය යැවීමේ දී එංගලන්ත ජාතිකයන් වඩාත් විශ්වාසය තබන්නේ මේ බාබඩෝස් ක්‍රීඩකයා වෙත. ජොෆ්රා චියෝකේ ආචර් හෙවත් ජොෆ්රා ආචර්ගේ උපත ලෙසින් සඳහන් වෙන්නේ 1995 අප්‍රේල් මස 1 වැනිදා කැරිබියන් දූපත්වලට අයත් බාබඩෝස් හී බ්‍රිජ්ටවුන් හිදී.

ජොෆ්රා ආචර්ගේ පියා ඉංග්‍රීසි ජාතික, බ්‍රිතාන්‍ය ගුවන් බලපත් හිමියෙකු ලෙසින් හැඳින්වෙනවා. නමුත් ඔහුට තවමත් එංගලන්තයේ ස්ථීර පුරවැසිකම හිමි වෙලා නැහැ. ඔහු තවදුරටත් එරට පුරවැසිකම ලබා ගැනීමට යෝග්‍ය තත්ත්වයේ සිටින්නේ. 

එහෙත් ජොෆ්රා ආචර් වෙත එංගලන්තයේ දොරටු විවර වෙනවා. ඒ එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනයේ නීති රීති අනුව ඔහුට වයස අවුරුදු 18 සම්පූර්ණ වීමත් සමඟ වසර 7ක් එරට පදිංචි වීමට වන පොරොන්දුවත් සමඟින්. ජොෆ්රා ආචර් වෙනුවෙන්ම වන එම නීතිය ඔවුන් ගෙන එන්නේ 2018 වසරේ නොවැම්බරයේ. ඒ අනුව අපට සිතා ගන්න පුළුවන් ජොෆ්රා ආචර් එංගලන්තයට කොච්චර වටින ක්‍රීඩකයෙක් වුනා ද කියලා. 

කෙසේ වෙතත් ඒ වෙද්දී ජොෆ්රා ආචර් බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 2014 වසරේ සිට පිට පිට වසර ත්‍රිත්වයක්ම නියෝජනය කරනවා. 

ජොෆ්රා ආචර් පළමු වරට එංගලන්තයේ පළමු පෙළ ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන්නේ 2016 වසරේ දී. ඒ පාකිස්තානය කළ එංගලන්ත තරග සංචාරයක පුහුණු තරගයකට සහභාගී වෙමින්. ඊට පසු ඔහු 2016 ලන්ඩන් රාජකීය එක්දින ශූරතාව දිනා ගැනීමට සමත් වූ ග්ලොස්ටෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් කාගේත් අවධානයට ලක් වෙනවා. 

ඔහු 2018 වසරේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්තාන් රෝයල් කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් 800,000කට අලෙවි වීමට වාසනාවන්ත වෙනවා. ඊට අමතරව එංගලන්තය සහ වේල්සය අතර එම වසරේ දී ම පැවති T20 Blast තරගාවලියේ දී මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් අවසාන පන්දුවාරයේ දී කඩුලු ත්‍රිත්වයක් දවා ගන්නවා. මේ දක්ෂතා ජොෆ්රා ආචර්ට එංගලන්ත කණ්ඩායමට පැමිණීමට හේතු වෙනවා. 

ඒ අනුව ඔහු 2019 අප්‍රේල් මස පාකිස්තානය සමඟ පැවති විස්සයි විස්ස තරගයේ දී එංගලන්තය වෙනුවෙන් පළමු වරට ජාත්‍යන්තර පිටියට අවතීර්ණ වෙනවා. ඊට පසු මාසයේ දී අයර්ලන්තය සමඟ පැවති එකම එක්දින තරගයේ දී ද එංගලන්ත කණ්ඩායම නියෝජනය කිරීමට ජොෆ්රා ආචර් සමත් වෙනවා. 

එතැන් සිට එංගලන්තය වෙනුවෙන් එක්දින තරග 14කට මෙතෙක් සහභාගී වීමට ජොෆ්රා ආචර් සමත් වෙලා තිබෙනවා. ඉන් තරග 11ක්ම මෙවර නිමා වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග. එහි දී ඔහු කඩුලු 20ක් දවා ගැනීමට සමත් වුනා.   

ජොෆ්රා අචාර් එංගලන්ත කණ්ඩායම එක් වීම ගැන හිතන කොට, ඇත්තටම ඔහු කණ්ඩායමට බඳවා ගත් ඇහින්දාස් කෙනෙක් ලෙස කෙනෙක්ට හිතුනෝත් ඒකෙ වරදක් දකින්නත් බැහැ. 

අදිල් රෂීඩ් 

එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පා දඟපන්දු යවන්නා වන අදිල් උස්මාන් රෂීඩ් හෙවත් අදිල් රෂීඩ් ද පාකිස්තානු සම්භවයක් සහිත ක්‍රීඩකයෙක්. ඔහු 1988 පෙබරවාරි මස 17 වැනිදා යෝක්ෂයර් හිදී උපත ලැබූවත් ඔවුන්ගේ දෙමාපියන් 1967 වසරේ දී පාකිස්තානයේ කාෂ්මීර් ප්‍රදේශයේ සිට මෙරටට සංක්‍රමණික වූවෝ. 

ඔහු එංගලන්ත කණ්ඩායමට එක් කර ගැනීමේ දී ඇහින්දාස් නාමය පටබැඳීම වරදක්. මොකද අදීල් රෂීඩ්ගේ උපත එංගලන්තයේ වීම නිසා. 

මොයීන් අලි 

අවසාන මහා තරගය සඳහා ඔහුගේ සහභාගීත්වය නොවූවත් ඔහු ලෝක කුසලානය සඳහා නම් කරන ලද එංගලන්ත සංචිතයේ ක්‍රීඩකයෙක්. 

මොයීන් මුනිර් අලි හෙවත් මොයීන් අලීගේ උපත ලෙස සඳහන් වෙන්නේ 1987 ජුනි මස 18 වැනිදා එංගලන්තයේ බර්මින්ග්හැම්වල. ඔහු ද පාකිස්තානු සම්භවයක් සහිතව පැවත එන්නෙක්. 

මොයීන් අලිගේ මිත්තනිය බ්‍රිතාන්‍ය මුල් පුරවැසියන්ගේ පරපුරේ කෙනෙක් ලෙසයි හැඳින්වෙන්නේ. අලිගේ පියා එරට ටැක්සි රියදුරෙක් ලෙසින් සේවය කරන අතරතුර මනෝචිකිත්සක සාත්තුවරයෙක් ලෙස ද කටයුතු කරන බවයි පැවසෙන්නේ. ඉතිං මොයීන් අලීගේ උපත අනුව ඔහුත් ඇහින්දාස් ගොඩට වැටෙන්නේ නැහැ.

මේ අනුව ජයග්‍රාහී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම “ඇහින්දාස් ක්‍රිකට් කණ්ඩායමක්” ද නැද්ද යන්න ඔබටම විසඳා ගන්න පුළුවන්. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<