ශානකගෙන් සටන්කාමී මංගල ශතකයක්; සිම්බාබ්වේ 1-1 කරයි

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022

1074

සංචාරක සිම්බාබ්වේ සහ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති දෙවැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය අද (18) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනා.

එම තරගයෙන් ලකුණු 22ක ජයක් ලබා ගත් සිම්බාබ්වේ කණ්ඩායම තරග තුනකින් සමන්විත තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ නායක Craig Ervine පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. නායක Craig Ervine සහ Sikandar Raza අර්ධ ශතක ලබාගෙන සිම්බාබ්වේ ලකුණු සටහන සවිමත් කළ නිසා ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 302ක් ලබා ගත්තා.

පළමු එක්දින තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත් චාමික ගුණසේකර ආබාධයකට ලක්ව තිබෙන නිසා ඒ වෙනුවට දුෂ්මන්ත චමීර නැවතත් කණ්ඩායමට කැඳවා තිබුණා. කෙසේ නමුත් පළමු තරගය පරාජයට පත්වුණු සිම්බාබ්වේ කණ්ඩායම කිසිදු වෙනස්කමක් සිදු කර තිබුණේ නැහැ.

  • ශ්‍රී ලංකාව – Pathum Nissanka, Kusal Mendis(w), Kamindu Mendis, Dinesh Chandimal, Charith Asalanka, Dasun Shanaka (c), Chamika Karunaratne, Maheesh Theekshana, Jeffrey Vandersay, Dushmantha Chameera, Nuwan Pradeep
  • සිම්බාබ්වේ – Takudzwanashe Kaitano, Regis Chakabva (wk), Craig Ervine(c), Sean Williams, Wesley Madhevere, Sikandar Raza, Ryan Burl, Wellington Masakadza, Blessing Muzarabani, Tendai Chatara, Richard Ngarava

සිම්බාබ්වේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට අවතීර්ණ වුනු Takudzwanashe Kaitano සහ Regis Chakabva පළමු Powerplay අවස්ථාව සඳහා පන්දුවාර 9කුත් පන්දු 5ක් තුල දී ලකුණු 59ක සබඳතාවයක් ගොඩනැංවූවා. එම සබඳතාවයට තිත තබමින් පන්දු 28ක දී ලකුණු 26ක් ලබාගෙන සිටි Kaitanoගේ කඩුල්ල බිඳ දැමීමට වැන්ඩර්සේ සමත් වුනා.

නැවත වරක් පිතිකරණයෙන් සාර්ථකත්වයක් ලබා ගත් කඩුලු රකින පිතිකරු Chakabva 4 පහර 5ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් ලකුණු 47ක් ලබා ගත් නමුත් ඔහුට නොකඩවා අර්ධ ශතක දෙකක් ලබා ගැනීමට තිබූ අවස්ථාව මඟ හරවාලීමට වැන්ඩර්සේ සමත් වුනා.

සිම්බාබ්වේ ලකුණු සටහනේ වැඩිම ලකුණු ලාභී පිතිකරුවා බවට පත්වෙමින් දක්ෂ පිතිකරණයක නිරත වුනු නායක Craig Ervineගේ කඩුල්ල ලකුණු 6 දී ස්ටම්ප්ස් කිරීමකට හසුකර දවා ගැනීමට තිබූ අවස්ථාවක් මඟ හැරී ගියා.

ඉන් උපරිම ඵල නෙලා ගත් Ervine සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 18 වැනි අර්ධ ශතකය වාර්තා කරගෙන පන්දු 98ක දී ලකුණු 91ක් ලබා ගත්තා. ඔහුගේ එම සුපිරි ඉනිමට මනරම් 4 පහර 10ක් ඇතුළත් වුනා. මහීෂ් තීක්ෂණ විසින් එම තීරණාත්මක කඩුල්ල දවා ගැනීමට සමත් වුනා.

සිම්බාබ්වේ ඉනිම තුල වාර්තා වුනු හොඳම සබඳතාවය ගොඩනැංවූ Ervine සහ Sean Williams සිය අත්දැකීම් සහ පරිණත බව පෙන්නුම් කරමින් පන්දු 105ක දී අගනා ලකුණු 106ක සබඳතාවයක් ගොඩනැංවූවා.

ලකුණු 48ක් ලබාගෙන සිටි Williamsගේ දැවී යාමත් සමඟ තෙවැනි කඩුල්ල සඳහා ගොඩනැංවුණු එම සුපිරි සබඳතාවය බිඳ වැටුණා.

සිම්බාබ්වේ පසුපෙළ සවිමත් කරමින් වේගවත් පිතිකරණයක නිරත වුනු Sikandar Raza පන්දු 46කදී  ලකුණු 56ක් ලබා ගත්තා. Razaගේ එම සටන්කාමී ඉනිම සඳහා 4 පහර 4ක් සහ එක් 6 පහරක් ඇතුළත් වුනා. එය ඔහුගේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 19 වැනි අර්ධ ශතකයයි.

මේ තරගයේ දී සිම්බාබ්වේ පිතිකරුවන් අතර අර්ධ ශතක සබඳතාවයන් දෙකක් සහ එක් ශතක සබඳතාවයක් ගොඩනැංවුනා. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා බවට පත්වුණු දඟපන්දු යවන වැන්ඩර්සේ ලකුණු 51කට කඩුලු 3ක් දවා ගත්තා.

නුවන් ප්‍රදීප් කඩුලු 2ක් දවාගෙන දස්කම් අතරට පැමිණෙද්දී, මහීෂ්, චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර පිතිකරුවන් වෙත ලකුණු ලබා දීම පාලනය කර ගනිමින් ඔවුන්ගේ පන්දු යැවීම සිදු කිරීමට වග බලා ගත්තා.

ලකුණු 303ක තරගකාරී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් හට පළමු තරගයේ දී මෙන් සාර්ථක වීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පළමු කඩුලු 4 ලකුණු 63ක් තුල දැවී ගියා.

පන්දුවාර 14කුත් පන්දු 3ක් ක්‍රියාත්මක වී තිබූ මොහොතේ කමිඳු සමඟ පිටියේ එක්වුණු නායක දසුන් ශානක පස්වැනි කඩුල්ල සඳහා සටන්කාමී පිතිකරණයක නිරත වුනා. ඔවුන් දෙදෙනා පන්දු 120ක් තුල ලකුණු 118ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් සිම්බාබ්වේ  දෙසට වැඩි වාසිය පෙරළෙමින් තිබූ තරගය නැවතත් දෙපසට දෝලනය වන මට්ටමක් දක්වා රැගෙන ආවා.

සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ මංගල අර්ධ ශතකය ලබා ගත් කමිඳු 4 පහර 4ක් සමඟ පන්දු 82ක දී ලකුණු 57ක් ලබා ගත් අතර Ngaravaගේ පන්දුවක් හමුවේ නායක Ervine mid off කලාපයේ සිට සුපිරි ඝනයේ උඩ පන්දුවක් රැකගනිමින් කමිඳුගේ කඩුල්ල දවා ගත්තා. එ්ත් සමඟින් ශානක – කමිඳු ගොඩනැංවූ එම සටන්කාමී සබඳතාවය අවසන් වුනා.

ඉන්පසුව ශානක සමඟ එක්වුනු චාමික 6 වැනි කඩුල්ල සඳහා පන්දු 61ක දී ලකුණු 66ක සබඳතාවයක් ගොඩනංවූවා. නායකත්වයේ ඉනිමක් දියත් කළ ශානක සිය හොඳම එක්දින ඉනිම වාර්තා කරගනිමින් පළමු ජාත්‍යන්තර එක්දින ශතකය ලබා ගැනීමට පසුව මුහුණ දුන් පන්දුවෙන් දැවී ගියා. ශානක 4 පහර 7ක් සහ 6 පහර 4ක් එල්ල කරමින් පන්දු 94ක දී එම ලකුණු 102 ලබා ගත් අතර චාමික ලකුණු 34කට දැවී ගියා.

පන්දු රැකීමෙන්, පිතිකරණයෙන් සහ පන්දු යැවීම යන අංශයන් තුනෙන්ම දස්කම් දැක්වූ සිම්බාබ්වේ කණ්ඩායමට හොඳ අභියෝගයක් ලබා දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 280ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Muzarabani සහ Chatara යන සිම්බාබ්වේ වේගපන්දු යවන්නන් දෙදෙනා කඩුලු 3 බැගින් දවා ගනිමින් දස්කම් දැක්වූ අතර පළමු තරගයේ දී ඔවුන් අතින් වුනු අඩුපාඩු බොහෝමයක් ඔවුන් මේ තරගයේ දී නිවැරදි කරගෙන තිබුණා.

ICC එක්දින සුපර් ලීගයේ තරගාවලියක් ලෙස පැවැත්වෙන මේ තරගයේ තෙවැනි සහ අවසන් තීරණාත්මක තරගය මේ මස 21 වැනිදා මේ ක්‍රීඩාංගණයේ දීම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්. රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<