අධික වැසි මැද්දේ ලෝක ශූරතාවට සාර්ථක අවසානයක්

World Athletics Championship 2025

125

2025 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (21) ජපානයේ ටෝකියෝ හිදි අති සාර්ථක අයුරින් නිමාවට පත් වුනා. 

ඊයේ දිනය තුළ ද ඉසව් කිහිපයකම අවසන් තරග ක්‍රියාත්මක වූ අතර, මෙහි දී ඇමරිකා එක්සත් ජනපදය වැඩි වශයෙන් කැපී පෙනීමට සමත් වුනා. 

මේ අතර ඊයේ දිනය ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම මලල ක්‍රීඩිකාවක් වන ජැමෙයිකාවේ Shelly Ann Fraser Pryceගේ අවසන් ජාත්‍යන්තර මට්ටමේ මලල ක්‍රීඩා තරගාවලි සහභාගීත්වය ලෙස ද සටහන් වීම විශේෂත්වයක්. 

Olyslagers හීන සැබෑ කර ගනී 

කාන්තා උස පැනීම ඉසව්ව වෙනුවෙන් මෙම වසරේ ඉදිරියෙන් ම සිටි ඕස්ට්‍රේලියාවේ Nicola Olyslagers විසින් ඊයේ කාන්තා උස පැනීම ඉසව්ව පහසුවෙන් ම ජය ගැනීමට සමත් වුනා. ඊයේ දිනය තුළ ක්‍රීඩාංගණයට අධික වැසි ඇද වැටීම නිසා ක්‍රීඩිකාවන්ට සිය උපරිම දක්ෂතාවලට ළඟා වීමේ අපහසුවක් තිබූ බව පෙනෙන්නට තිබුණු අතරම, වත්මන් ලෝක වාර්තාවේ හිමිකාරිනිය වන යුක්‍රේනයේ Yaroslava Mahuchikh තරණය කිරීමට සමත් වුනේ මීටර් 1.97ක උසක් පමණයි. නමුත් මෙහි දී මීටර් 2.00 උසක් තරණය කළ Nicola පළමු ස්ථානය හිමි කර ගත් අතර, මෙය ඇයගේ පළමු ලෝක ශූරතා (ගෘහස්ථ නොවන) රන් පදක්කම ලෙස ද වාර්තා අතරට එක් වුනා. 

Aleknaගේ බලාපොරොත්තු බිඳ වැටේ 

පිරිමි කවපෙත්ත විසි කිරීම ඉසව්වේ වත්මන් ලෝක වාර්තාවට හිමි කම් කියන ලිතුවේනියාවේ Mykolas Alekna සිය පළමු ලෝක ශූරතා රන් පදක්කම හඹා යාමට පිටියට පිවිසුනත්, ඊයේ දිනයේ දී ඔහුට රිදී පදක්කමින් සෑහීමට සිදු වුනා. ඊයේ දිනය තුළ වැටුණු අධික වැසි හේතුවෙන් වැඩිම බාධාවක් එල්ල වූ ඉසව්ව මෙය වූ අතර, මෙහි දී ස්වීඩනයේ Daniel Stahl රන් පදක්කම හිමි කර ගැනීමට සමත් වුනා. 

Cole Hocker වාඩුව ගනී 

පිරිමි මීටර් 1500 ඉසව්වේ වත්මන් ඔලිම්පික් ශූරයා වන ඇමරිකාවේ Cole Hocker හට මෙවර මීටර් 1500 ඉසව්වේ අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමට සිදු වුනේ ධාවන නීති උල්ලංඝනය කිරීමේ වරද නිසායි. කෙසේ වෙතත් තමන්ට අහිමි වූ මීටර් 1500 ඉසව්ව වෙනුවට මීටර් 5000 ඉසව්ව ජය ගැනීමට Hocker ඊයේ සමත් වුනා. මෙම ඉසව්ව ජය ගැනීම සඳහා බොහෝ නම් ඉදිරිපත් වී සිටියත්, අවසන් මීටර් 400 තුළ සිය උපරිම ජවය යෙදූ Hocker මෙම ඉසව්වේ රන් පදක්කම තමන්ගේ කරගත්තා. 

කාන්තා මීටර් 800 සුපිරි චරිත පසු බසී 

කෙන්යාවට මෙවර ලෝක ශූරතාවය ඉතා විශේෂ එකක් බවට පත් කරවමින්, ඔවුන්ගේ හත් වැනි රන් පදක්කම දිනා දීමට Lilian Odira ඊයේ සමත් වුනා. කාන්තා මීටර් 800 ඉසව්ව නියෝජනය කළ ඇය විසින් දශක තුනක් ඉපැරණි තරග වාර්තාවක් ද බිඳ හෙළමින් ඉසව්ව ජය ගත්තේ තත්පර 1.54.62ක කාලයක් ද සමඟයි. මෙම ඉසව්වේ පදක්කම් ලාභී ක්‍රීඩිකාවන් තිදෙනාම තරගය තත්පර1.55ට අඩු කාලයකින් නිමා කිරීමට සමත් වීම විශේෂත්වයක්. 

මේ අතර පිරිමි දසප්‍රයාම ඉසව්ව ද ඉතා තියුණු අවසානයක් කරා ළඟා වූ අතර, මෙහි දී වත්මන් ඔලිම්පික් රිදී පදක්කම හිමි වූ ජර්මනියේ Leo Neugebauer විසින් ඉසව්ව ජය ගැනීමට සමත් වුනා. 

සහය දිවීමේ ඉසව් සමඟ ක්‍රීඩා උළෙලට අනර්ග නිමාවක්! 

කාන්තා මීටර් 100×4 ඉසව්ව පහසුවෙන් ම ජය ගැනීමට ඇමරිකාව සමත් වුනා. මෙහි දී ලොව වත්මන් වේගවත් ම කාන්තාව වූ Melissa Jefferson-Wooden සහ හිටපු වේගවත් ම කාන්තාව වූ Sha’carri Richardsonගේ සහය ඇමරිකාව සතු වූ අතර, මේ නිසාම ඔවුන් පහසු ජය කරා යොමු වුනා. මෙම ජයත් සමඟ Melissa Jefferson-Wooden විසින් මෙවර ලෝක ශූරතාවයේ දී රන් පදක්කම් ත්‍රිත්වයක් (මීටර් 100, 200 සහ 100×4) ජය ගැනීමට සමත් වුනා. 

මෙවන් දස්කමක් සිදු කළ ලොව දෙවැනි ක්‍රීඩිකාව බවට පත් වීමට Melissa සමත් වන අතරේ, ඇයට පෙර එම දක්ෂතාව දැක්වූ ජැමෙයිකාවේ Shelly Ann Fraser Pryce ඊයේ 100×4 කණ්ඩායම සමඟ සිය අවසන් ලෝක ශූරතා පදක්කම ලෙස රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

මේ අතර පිරිමි මීටර් 100 ඉසව්ව ද ඇමරිකානු ආධිපත්‍යයට නතු වූ අතර, Noah Lyles ප්‍රමුඛ ඇමරිකානුවන් පහසු ජයක් කරා ගිය මෙම ඉසව්වේ දෙවැනි ස්ථානය හිටපු ලෝක සහ ඔලිම්පික් පදක්කම් ලාභී, තවත් විශිෂ්ටතම මලල ක්‍රීඩකයකු වන Andre De Grasse ප්‍රමුඛ කැනඩාවට හිමි වුනා. 

කාන්තා මීටර් 400×4 ඉසව්ව ද ඇමරිකාව නතු වුනේ Sydney Mclaughlin Levrone ගේ තවත් අති විශිෂ්ට ධාවනයක් නිසායි. 

මෙහි දී ඔවුන් වසර 32ක් පැරණි තරග වාර්තාවක් ද අලුත් කරමින් ඉසව්ව පහසුවෙන් ජය ගැනීමට සමත් වූ අතර, මෙම ඉසව්වේ හිටපු ලෝක ශූරියන් වූ Femke Bol ප්‍රමුඛ නෙදර්ලන්තයට ලෝකඩ පදක්කමින් සෑහීමකට පත් වීමට සිදු වුනා. 

සහය දිවීමේ ඉසව්වල ඇමරිකානු ආධිපත්‍යය බිඳ වැටුණු එකම ඉසව්ව වූ පිරිමි මීටර් 400×4 ඉසව්ව ජය ගැනීමට බොට්ස්වානා කණ්ඩායම සමත් වුනා. වත්මන් මීටර් 400 ඉසව්වේ ලෝක ශූරයා වන බොට්ස්වානා හි Collen Kebinatshipi ප්‍රමුඛ ක්‍රීඩකයින් ඉසව්ව ජය ගනිද්දී, ඇමරිකාවට දෙවැනි ස්ථානය හිමි වුනා. එමෙන්ම මීටර් 400 ඉසව්වේ ලෝක වාර්තාවට හිමි කම් කියන දකුණු අප්‍රිකාවේ Wayed Van Niekerk ප්‍රමුඛ දකුණු අප්‍රිකානුවන් ඉසව්වේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුනා. 

ඇමරිකාව පෙරමුණේ 

මේ අයුරින් දින 09ක් මුළුල්ලේ ක්‍රියාත්මක වූ 2025 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය නිමාවට පත් වූ අතර, සුපුරුදු පරිදි ඇමරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 16ක් සමඟ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුනා. මෙහි දෙවැනි ස්ථානය රන් පදක්කම් 7ක් දිනා ගත් කෙන්යාවට හිමි වන අතරේ, තෙවැනි ස්ථානය රන් පදක්කම් තුනක් දිනූ කැනඩාවට හිමි වුනා. 

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<