ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සහභාගී වන වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් එංගලන්තයට එරෙහි ව ලකුණු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුණා.
මෙම තරගය (12දා) Gold Coast හී Bill Pippen Oval ක්‍රීඩාංගණයේ දී පැවැතියා.
ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
චමෝදි ප්‍රබෝධා (නායිකාව), සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, උමයංගනා පීරිස්, ලිමංසා තිලකරත්න, ශෂිනි ගිම්හානි, නෙතගි ඉසුරාංජලී (කඩුලු රකින්නිය), දනෝද්‍යා සෙව්මිණි, ප්‍රමුදි මෙත්සරා, අසේනි තලගුණේ සහ චමෝදි හේරත්.
එංගලන්ත කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Genevieve Jeer (නායිකාව), Olivia Cunliffe, Eliza Bristowe, Shristi Patil, Prarthana Reddy, Sophie Beech, Diya Badge (කඩුලු රකින්නිය), Bea Willis, Malisha Tennakoon, Clara Thaker, Venus Weerappuli
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් ම පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 136ක් ලබා ගත්තා.
එම ඉනිම වෙනුවෙන් සංජනා කාවින්දි සහ විමෝක්ෂා බාලසූරිය එක් ව ආරම්භ කළ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 41ක්. පන්දු 27ක් වැය වු එම සබඳතාව බිඳී යන්නේ පන්දු 10කට මුහුණ දෙමින් ලකුණු 6කට දැවී ගිය විමෝක්ෂා බාලසූරිය ගේ දැවී යෑමත් සමඟිනුයි.
අනතුරු ව 2 වැනි කඩුල්ලට ද පන්දු 19ක දී ලකුණු 21ක සබඳතාවක් එක් කිරීමට සංජනා කාවින්දි පෙරමුණ ගත් අතර එවර ඇය ගේ සහායිකාව වූයේ උමයංගනා පීරිස්. ඇය එම සබඳතාවට පන්දු 7ක දී එක් කළ ලකුණු සංඛ්‍යාව 2ක්.
3 වැනි කඩුල්ලට සංජනා කාවින්දි දැවී යන විට ඇය පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 45ක් ලබා සිටියා.
එම දැවී යෑමෙන් අනතුරු ව සංජනා කාවින්දි ගෙන් ගිලිහී ගිය යශ්ටිය අතට ගත් නෙතගි ඉසුරාංජලී, ශෂිනි ගිම්හානි සමඟ 4 වැනි කඩුල්ලට එක් වෙමින් පන්දු 29ක දී ලකුණු 26ක සබඳතාවක් ද සහ ලිමංසා තිලකරත්න එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 17ක දී ලකුණු 17ක සබඳතාවක් ද එක් කරනවා.
ඇය දැවී යන විට පන්දු 27කට මුහුණ දෙමින් එක් හතරේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා සිටි අතර ශෂිනි ගිම්හානි පන්දු 15ක දී ලකුණු 12ක් ද සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී ලිමංසා තිලකරත්න පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 14ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Venus Weerappuli ලකුණු 19කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙක් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.
- ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ නවසීලන්තය 3-0කින් පරාජය කරයි
- ශ්‍රී ලංකා යෞවනියෝ එංගලන්තය පරාජය කරයි
- Colts ක්‍රීඩකයෝ Major Club ශූරයන් බවට පත් වෙයි
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග කාලසටහන එළිදැක්වෙයි
- කුසල් මෙන්ඩිස් PSL පිටියේ ඉතිහාසගත ශතකයක් වාර්තා කරයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත ඉනිම තවත් පන්දු 4ක් ඉතිරි ව තිබිය දී ලකුණු 128කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වෙනවා. ප්‍රතිවාදීන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 26ක් තුළ දවා ගන්නා ඔවුන් නැවත ඉනිම මැද දී ලකුණු 35කට කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ පාලනය තමන් සතු කර ගත්තා.
ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ සිව් වැනි කඩුල්ලට පන්දු 40ක දී ලකුණු 36ක සබඳතාවක් එක් කිරිමට Prarthana Reddy සහ නායිකා Genevieve Jeer සමත් වෙනවා. එහි දී Prarthana Reddy පන්දු 21කට මුහුණ දෙමින් ලකුණු 16ක් ද සහ Genevieve Jeer පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 23ක් ද ලබා ගත්තා.
එංගලන්ත ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 95ක් ව තිබිය දී 9 වැනි කඩුල්ලට ලකුණු 26ක සබඳතාවක් එක් කරන්නට Clara Thaker සමඟ එක් වූ ශ්‍රී ලංකා සම්භයක් සහිත ක්‍රීඩිකාවක් වන මලීෂා තෙන්නකෝන් සමත් වෙනවා.
තම කණ්ඩායමෙන් ගිලිහුණ තරගය නැවත ඔවුන් වෙත නතු කර ගැනීමට Clara සහ මලීෂා එක් ව කළ මේ උත්සාහය පන්දු 13කින් සමන්විත වූවා. Clara Thaker පන්දු 9ක දී හයේ පහර 2ක් සමඟින් ලකුණු 20කට දැවී යෑමත් සමඟින් එම සබඳතාව බිඳ වැටෙන්නේ ඔවුන්ගේ උත්සාහය ද අසාර්ථක කරමින්.
මලීෂා තෙන්නකෝන් එංගලන්ත ඉනිමේ අවසන් කඩුල්ලට දැවී යද්දී පන්දු 11කට මුහුණ දෙමින් ලකුණු 12ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ලිමංසා තිලකරත්න ලකුණු 26කට කඩුලු 3ක් සහ නායිකා චමෝදි ප්‍රබෝධා ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව අසේනි තලගුණේ කඩුලු 2ක් ද සහ ශෂිනි ගිම්හානි කඩුල්ලක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකාකාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 6ක් දැවී 136 (20.0) සංජනා කාවින්දි 45, නෙතගි ඉසුරාංජලී 25, ලිමංසා තිලකරත්න නොදැවී 14, Venus Weerappuli 2/19
- එංගලන්තකාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 128 (19.2) Genevieve Jeer 23, Bea Willis 21, Clara Thaker 20, චමෝදි ප්‍රබෝධා 3/32, අසේනි තලගුණේ 2/17, ලිමංසා තිලකරත්න 3/26
ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 8ක ජයක්.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන 2 වැනි තරගය අද (13) ඕස්ට්‍රේලියාව සමඟින් Gold Coast හී Bill Pippen Oval ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















