ඉන්දියාව නැවතත් දකුණු අප්‍රිකාව පරාජය කරයි

Women’s ODI Tri-Series 2025

26
Women’s ODI Tri-Series 2025

ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සහභාගී වන තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අද (07) පැවැති තරගයෙන් ලකුණු 23ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. ඒ සමඟ ඔවුන් තරගාවලියේ පළමු වටය අවසන් කරන්නේ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ද සුදුසුකම් ලබා ගනිමින්.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගය, තරගාවලියේ 5 වැනි තරගය වූ අතර එම තරග ප්‍රතිඵලයත් සමඟින් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට තරගාවලියේ අවසන් මහා තරගයට සහභාගී වීමේ බලාපොරොත්තු අතහැර දැමීමට සිදු වූවා.

දකුණු අප්‍රිකානුවෝ මේ දක්වා සහභාගී වූ තරග ත්‍රිත්වයෙන් ම පරාජය වූ අතර ඔවුන්ට තවත් ඉතිරි ව ඇත්තේ ශ්‍රී ලංකාව හා සමඟ තරගය පමණයි. ශ්‍රී ලංකාව දැනටමත් තරග 3කට සහභාගී වෙමින් ඉන් තරග ද්විත්වයක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 4ක් ලබා සිටිනවා.

අද තරගයේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනස්කම් ත්‍රිත්වයක් සමඟින් පිටියට පිවිසියා. ඔවුන්ගේ ප්‍රධාන වෙනස්කම වූයේ පෙර තරග ත්‍රිත්වයේ නායිකාව ලෙසින් කටයුතු කළ Laura Wolvaardt වෙනුවට Chloe Tryon නායකත්වයට පත් කිරීමයි. පෙර නායිකාවට අමතර ව  Karabo Meso සහ Ayabonga Khaka ද කණ්ඩායමෙන් ඉවත්කර තිබූ අතර ඒ වෙනුවට Nondumiso Shangase, Sinalo Jafta සහ Miane Smit එක් කර තිබුණා. Miane Smit අද සහභාගී වූයේ තම මංගල එක්දින ජාත්‍යන්තර තරගයටයි.

ඉන්දීය කණ්ඩායම ද අද තරගයට එක් වෙන්නේ Kashvee Gautam සහ Arundhati Reddy වෙනුවට Amanjot Kaur සහ මංගල එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් Shuchi Upadhyay සමඟයි.

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Chloe Tryon (නායිකාව), Tazmin Brits, Lara Goodall, Miane Smit, Annerie Dercksen, Nondumiso Shangase, Sinalo Jafta (කඩුලු රකින්නිය), Nadine de Klerk, Sune Luus, Nonkululeko Mlaba සහ Masabata Klaas.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Harmanpreet Kaur (නායිකාව), Pratika Rawal, Smriti Mandhana, Harleen Deol, Jemimah Rodrigues, Richa Ghosh (කඩුලු රකින්නිය), Deepti Sharma, Amanjot Kaur, Shree Charani, Sneh Rana සහ Shuchi Upadhyay.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 9ක් දැවී ලකුණු 337ක් ලබා ගන්නවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වෙන්නේ Jemimah Rodrigues. ඇය පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 123ක් ලබා ගත්තා. එය ඇයගේ එක්දින ජාත්‍යන්තර තරග පිටියේ 2 වැනි ශතකය වූ අතර තමන් විසින් වාර්තා කරන ලද ඉහළ ම ඉනිම ද වූවා.

ඇය Smriti Mandhana සමඟ සිව් වැනි කඩුල්ලට එක් වෙමින් පන්දු 99ක දී ලකුණු 87ක් ද සහ Deepti Sharma සමඟ එක් වෙමින් 5 වැනි කඩුල්ලට පන්දු 117ක දී ලකුණු 93ක සබඳතාවක් ද එක් කළා.

එහි දී Smriti Mandhana පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 51ක් ද සහ Deepti Sharma ද පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 93ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Masabata Klaas, Nadine de Klerk සහ Nonkululeko Mlaba කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර Annerie Dercksen සහ Chloe Tryon කඩුල්ල බැගින් දවා ගත්තා.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 338ක් හඹා යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ තම ඉනිම කඩුලු 7ක් දැවී අවසන් කරන්නේ ලකුණු 314ක් ලබා ගනිමිනුයි. එම ඉනිම වෙනුවෙන්  Annerie Dercksen පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 81ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වුනා.

ඊට අමතර ව නායිකා Chloe Tryon පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 67ක් ද, Miane Smit පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 39ක් ද සහ Nondumiso Shangase පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Amanjot Kaur ලකුණු 59කට කඩුලු 3ක් දවා ගත් අතර, Deepti Sharma කඩුලු 2ක් ද, Pratika Rawal සහ Shree Charani කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 337 (50.0)Smriti Mandhana 51, Harmanpreet Kaur28, Jemimah Rodrigues 123, Deepti Sharma 93, Richa Ghosh 20, Masabata Klaas 2/51, Nadine de Klerk 2/54, Nonkululeko Mlaba 2/71
  • දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 314 (50.0)Tazmin Brits26, Miane Smit 39, Annerie Dercksen 81, Nondumiso Shangase 36, Sinalo Jafta 21, Chloe Tryon 67, Nadine de Klerk  නොදැවී 22,  Amanjot Kaur 3/59, Deepti Sharma 2/57

ඉන්දීය කන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 23ක ජයක්.

  • තරගයේ වීරයා – Jemimah Rodrigues (ශ්‍රී ලංකාව)

කාන්තා තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ මීළඟ තරග මැයි මස 09 වැනිදා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ම පැවැත්වීමට නියමිතයි. මෙය මෙම තරගාවලියේ 6 වැනි සහ පළමු වටයේ අවසන් තරගයයි.

මෙම තරගාවලියේ සජීවී දසුන් Dialog Television හී ThePapare TV 2 නාලිකා අංක 63 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<