සත්‍යා සහ විශ්මි අර්ධ ශතක වාර්තා කරයි

Women's National Super League T20 2026

9
Women's NSL T20 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League කාන්තා විස්සයි විස්ස තරගාවලිය අද (11) පැවැති තරග අතුරින් නැවතත් Blues කණ්ඩායම ජයග්‍රහණය කරමින් මෙවර තරගාවලියේ පිට පිට ලත් 3 වැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූවා.

නිමා වූ දිනයේ විශේෂත්වයක් වූයේ සත්‍යා සංදීපනී සහ විශ්මි ගුණරත්න අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමයි.

Team Blues සහ Team Red අතර තරගය කොළඹ, තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගත් Blues කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 134ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Red කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 64ක් පමණයි.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Blues කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ සත්‍යා සංදීපනී. ඇය පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 50ක් රැස් කරනවා.

ඇය අමා කාංචනා හා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 60ක දී ලකුණු 70ක සබඳතාවක් ද එක් කරනවා. එහි දී අමා කාංචනා පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනාට අමතර ව ශයනි සේනාරත්න පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී චමෝදි ප්‍රබෝධා ලකුණු 16කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව ප්‍රමුදි මෙත්සරා සහ අසේනි තලගුණේ කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Red කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියන් දෙදෙනා වූ සත්‍යා සංදීපනී සහ විමෝක්ෂා බාලසූරිය පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 27ක දී ලකුණු 19ක් ලබා ගත්ත ද අනෙකුත් අනෙකුත් පිතිකාරිනියන්ට එවැනි සේවයක් තම කණ්ඩායමට ලබා දීමට හැකි වෙන්නේ නැහැ.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ සත්‍යා සංදීපනී. ඇය පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ලබා ගත්තා. ඊට අමතර ව විමෝක්ෂා බාලසූරිය පන්දු 22ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ද සහ ලිමංසා තිලකරත්න පන්දු 17ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ද ලබා ගත්තා.

ඊට අමතර ව අනෙකුත් කිසිදු ක්‍රීඩිකාවක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පැමිණීමට හැකි වූයේ නැහැ. ඔවුන්ගේ ඉනිම ඒ තරමින් අසරණ වෙද්දී නෙත්මි සංජනා ලකුණු 14කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව දෙව්මි විහංඟා කඩුලු 3ක් ද, සත්‍යා සංදීපනී කඩුලු 2ක් ද සහ ඉනෝකා රණවීර කඩුල්ලක් ද දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Team Blues – කඩුලු 6ක් දැවී 134 (20.0) සත්‍යා සංදීපනී නොදැවී 50, ශයනි සේනාරත්න 25, අමා කාංචනා 41, චමෝදි ප්‍රබෝධා 3/16
  • Team Red – සියලුම දෙනා දැවී 64 (20.0) සංජනා කාවින්දි 12, සත්‍යා සංදීපනී 2/08, දෙව්මි විහංඟා 3/11, නෙත්මි සංජනා 4/14

Blues කණ්ඩායමට ලකුණු 70ක ජයක්.

Team Greys සහ Team Green අතර තරගය කොළඹ, තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Team Greys කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 132ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Greens ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 97ක් පමණයි.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Greys කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා විශ්මි ගුණරත්න. ඇය පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 56ක් ලබා ගන්නවා.

ඊට අමතර ව ඇය ඉමේෂා දුලානි හා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 69ක දී ලකුණු 81ක සබඳතාවක් එක් කරනවා. එහි දී ඉමේෂා දුලානි පන්දු 34ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 40ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී නිමාශා මදුශානි සහ සුගන්දිකා කුමාරි කඩුලු ද්විත්වය බැගින් ද මල්ෂා ෂෙහානි සහ උදේශිකා ප්‍රබෝධනී කඩුල්ල බැගින් ද දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Green කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ඔෂදී රණසිංහ. ඇය පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ලබා ගන්නවා.

ඊට අමතර ව නිලක්ෂිකා සිල්වා පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ද නෙත්මි සේනාරත්න ලකුණු 11ක් ද සහ නායිකා හසිනි පෙරේරා ලකුණු 10ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී ඉනෝෂි ප්‍රනාන්දු ලකුණු 14කට කඩුලු 4ක් ද, සඳුන් නිසංසලා ලකුණු 16කට කඩුලු 3ක් ද සහ කවීෂා දිල්හාරි ලකුණු 23කට කඩුලු 2ක් දවාගත් අතර ඊට අමතර ව හිරුණිකා නිවර්තනී ද කඩුල්ලක් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Team Greys – කඩුලු 6ක් දැවී 132 (20.0) නෙතඟි ඉසුරාංජලී 23, ප්‍රමුදි මෙත්සරා නොදැවී 22, මල්කි මදාරා 2/23, තාරුකා ශෙහානි 2/23, හිරුනිකා නිවර්තනා 2/16
  • Team Green – සියලුම දෙනා දැවී 97 (19.4) නිලක්ෂිකා සිල්වා 16, ඕෂදී රණසිංහ 21, ඉනෝෂි ප්‍රනාන්දු 14/4, කවීෂා දිල්හාරි 2/23, සඳුනි නිසංසලා 3/16

Greys කණ්ඩායමට ලකුණු 35ක ජයක්.

තරගාවලියේ මිළඟ තරග ජනවාරි මස 12 වැනිදා (හෙට) පැවැත්වෙන අතර එහි දී Team Red සහ Team Green අතර තරගයත්, Team Greys සහ Team Blues සහ අතර තරගයත් කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<