2026 නැගී එන ආසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ 3 වැනි තරගයේ දී තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ව ලකුණු 23ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා A ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
ඒ අනුව ඔවුන් B කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට එක් වීමට සුදුසුකම් ලබා ගන්නවා. එම කාණ්ඩයේ පළමු ස්ථානය ප්‍රසාද ලකුණු 6ක් ලබා ගත් බංග්ලාදේශ A ක්‍රීඩිකාවෝ සතු වෙන අතර ප්‍රසාද ලකුණු 4ක් ලබා ගත් ශ්‍රී ලංකා A කණ්ඩායමට හිමි වූයේ 2 වැනි ස්ථානයයි.
ඒ අනුව එළැඹෙන 20 වැනිදා ශ්‍රී ලංකා A කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය A කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ 1 වැනි අවසන් පූර්ව තරගයට ද සහ බංග්ලාදේශ A කාන්තා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තාන A කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ 2 වැනි අවසන් පූර්ව තරගයට ද සහභාගී වීමට නියමිතයි.
>>බංගලියන් ඉදිරියේ ශ්‍රී ලංකා යෞවනීයෝ අසරණ වෙයි
බැංකොක් හී Terdthai ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම වෙත ලබා ගනිමින් කඩුලු 5ක් දැවී ලකුණු 133ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී තායිලන්ත ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 110ක් පමණයි.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 29ක් වෙද්දී අහිමි වෙනවා. ඒ ලත් අසාර්ථක ආරම්භය යම් තරමකට මඟ හැරෙන්නේ හංසිමා කරුණාරත්න සහ අමා කාංචනා එක් ව 3 වැනි කඩුල්ලට එක් කළ ලකුණු 44ක සබඳතාව හේතුවෙනුයි.
එම සබඳතාව නිමා වෙන්නේ අමා කාංචනා පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 26කට දැවී යෑමත් සමඟිනුයි. ඉන් අනතුරු ව පිටියට පිවිසි ශයනි සේනාරත්න ලකුණු 10කට දැවී යද්දී සිව් වැනි කඩුල්ලට ද ලකුණු 46ක සබඳතාවක් එක් කිරීමට ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ හංසිමා කරුණාරත්න සමත් වෙනවා.
ඇය ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 62ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Phannita Maya ලකුණු 19කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභිනිය වූවා. ඊට අමතර ව Natthakan Chantham සහ Sunida Chaturongrattana කඩුල්ල බැගින් දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි තායිලන්ත ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට Natthakan Chantham සහ Aphisara Suwanchonrathi සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 49ක දී ලකුණු 50ක සබඳතාවක් එක් කරනවා.
එහි දී Aphisara Suwanchonrathi පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 24කට පළමු කඩුල්ලට දැවී යන අතර Natthakan Chantham 2 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57කට දැවී යනවා.
ඉනිමේ අනෙක් කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතුරින් සත්‍යා සංදීපනී සහ සචිනි නිසංසලා කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව මල්ශා ෂෙහානි, අමා කාංචනා සහ යසන්ති නිමන්තිකා කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකා Aකාන්ත කාණ්ඩායම – කඩුලු 5ක් දැවී 133 (20.0) හංසිමා කරුණාරත්න 62, අමා කාංචනා 26, Phannita Maya2/19
- තායිලන්ත කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 110 (19.2)Natthakan Chantham57, Aphisara Suwanchonrathi 24, සත්‍යා සංදීපනී 2/20, සචිනි නිසංසලා 2/23
ශ්‍රී ලංකා A කාන්තා කණ්ඩායමට ලකුණු 23ක ජයක්.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – හංසිමා කරුණාරත්න (ශ්‍රී ලංකාව)
අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා A ක්‍රීඩිකාවෝ පෙබරවාරි 20 වැනි දා ඉන්දියාව සමඟින් එම තරගයට මුහුණ දීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ඔබ සමඟ බෙදා හදා ගැනීමට ද ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.





















