එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඊයේ (15) ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම අතර පැවැත්වුණා.
අබුඩාබි හිදි පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 248ක් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් විශිෂ්ට ඉනිමක් දියත් කිරීමට සමත් වූ ඇෆ්ගන් නායක Darwish Rasooli පන්දු 147ක් තුළ ලකුණු 155ක් ලබා ගැනීමට සමත් වූ අතර, එම ඉනිමට හතරේ පහර සහ හයේ පහර 8 බැගින් අන්තර්ගත වුනා.
ඔහුගේ මෙම ඉනිමට අමතරව තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණක් ලකුණු 30 සීමාව ඉක්මවා ගිය අතර, වෙනත් කිසිදු පිතිකරුවකු ලකුණු 10 සීමාව හෝ තරණය කිරීමට සමත් නොවීමත් විශේෂත්වයක්.
ඇෆ්ගන් ඉනිමේ කඩුලු දවා ගැනීමේ දී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ ඩිල්ශාන් මදුශංක කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර, මොහොමඩ් ශිරාස් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමෙන් ලද ලකුණු 249ක ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසුණු ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ මුල් කඩුලු 2 ලකුණු 2ක් තුළ දවා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වූ අතර, ඉන් පසුව නායක සදීර සමරවික්‍රම සහ ළහිරු උදාර කඩුල්ලේ එක් වුනා.
ඔවුන් දෙදෙනා විසින් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 163ක වටිනා සබඳතාවක් ගොඩ නැංවීමට සමත් වූ අතර, මෙහි දී ළහිරු උදාර පන්දු 83කින් ලකුණු 81ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 12ක් ද එල්ල කරමිනුයි.
ළහිරු පිටියෙන් ඉවත් වීමෙන් පසුව සහන් ආරච්ච්ගේ, සදීර සමඟ කඩුල්ලේ එක් වෙමින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක් එක් කිරීමට සමත් වුනා. සහන් ලකුණු 23කින් ඉනිමට දායක වූ අතර, ඔහුගේ දැවී යාමෙන් පසුව සොනාල් දිනූශ, සදීර සමඟ එක්ව තරගය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුනා.
ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වෙමින් කඩුලු 6ක විශිෂ්ට ජයක් කරා කණ්ඩායම රැගෙන ගිය නායක සදීර පන්දු 110ක් තුළ ලකුණු 129ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් ද එකතු කර ගත්තා. එමෙන්ම තරගයේ වීරයා සම්මානය ද සදීර සතු වුනා.
මේ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගාවලියේ ක්‍රීඩා කළ තරග ද්විත්වයම ජය ගැනීමට සමත් වී සිටින අතර, තරගාවලියේ මීළඟ තරගය හෙට (17) ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය අතර පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිත මීළඟ තරගය එළඹෙන 19 වැනිදා අයර්ලන්ය සමඟ පැවැත්වෙනු ඇති.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<