Colombo උතුර සහ දකුණ අවසන් මහා තරගයට

U19 Sri Lanka Youth League 2025 

6
U19 Sri Lanka Youth League 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා Youth League ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට Colombo South සහ Colombo North කණ්ඩායම් අද (28) සමත් වුනා.

අනුරාධපුරයේ පැවැත්වෙන මෙම තරගාවලියේ අද පැවැති තරගවල දී පරාජයට පත් වෙන්නේ Kandy සහ Galle කණ්ඩායම්.

පළමු අවසන් පූර්ව තරගය

Kandy සහ Colombo South අතර අනුරාධපුර සමාධී ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගත් Colombo South ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී Kandy කණ්ඩායමට ලබා දුන් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 157ක් ලබා ගත්තා. එම ඉලක්කය කඩුලු 7ක් පමණක් දැවී තවත් පන්දු 88ක් ඉතිරි ව සපුරා ගැනීමට Colombo South ක්‍රීඩකයෝ සමත් වෙනවා.

Kandy ක්‍රීඩකයෝ තම ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද මැද පෙළ කඩා වැටීමත් සමඟින් ඔවුන්ගේ ලකුණු පුවරුව අඩු ලකුණු ප්‍රමාණයකින් සමන්විත වුණා. එම ඉනිමේ පළමු කඩුලු 3 තුළ ලකුණු 94ක් ලබා ගත්ත ද අනතුරු ව කඩුලු 5ක් දැවී යන විට කියැවුණේ ලකුණු 95ක් ලෙසයි. ඊට පසුව නැවත ලකුණු 118 දී සහ ලකුණු 120 දී කඩුලු ද්විත්වයක් දැවී යන අතර 8 වැනි කඩුල්ලට ලකුණු 30ක සබඳතාවක් එක් වීමත් සමඟින් එම ඉනිමේ ලකුණු 150 වාර්තා වෙනවා.

නැවත ඔවුන්ට එතැන් සිට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 7ක් පමණයි. ඒ අනුව ගිය ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ සෙත්මික සෙනෙවිරත්න. ඔහු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 35ක් ලබා ගන්නවා.

ඊට අමතර ව පුලීශ තිලකරත්න පන්දු 37ක දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 34ක් ද සහ යෝශිත ඉසුරංග පන්දු 41ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී දිනෙත් පීරිස් ලකුණු 27කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව දහම් නිර්මාල් කඩුලු ද්විත්වයක් ද සහ හිරුෂ ප්‍රනාන්දු කඩුල්ලක් ද දවා ගන්නවා.

හඹා ගිය Colombo South ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ දිනෙත් පීරිස්. ඔහු පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 46ක් ලබා ගන්නවා.

ඊට අමතර ව ජේසන් ප්‍රනාන්දු පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත් අතර තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී ජොශුවා සෙබස්තියන් පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 26ක් සහ මලින්ත සිල්වා පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 16ක් ලබා සිටියා.

ඔවුන් දෙදෙනා එක් ව Colombo South කණ්ඩායමේ 8 වැනි කඩුල්ල සඳහා පන්දු 34ක දී නොදැවුණ ලකුණු 40ක සබඳතාවක් ද එක් කරනවා.

කඩුලු දවා ගැනීමේ දී සෙත්මික සෙනෙවිරත්න ලකුණු 20කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව කවිජ ගමගේ සහ නිසල අබේරත්න කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Kandy – සියලුම දෙනා දැවී 157 (35.2) පුලීශ තිලකරත්න 34, යෝශිත ඉසුරංග 30, සෙත්මික සෙනෙවිරත්න 35, දහම් නිර්මාල් 2/30, දිනෙත් පීරිස් 4/27
  • Colombo South – කඩුලු 7ක් දැවී 161 (35.2) දිනෙත් පීරිස් 46, ජේසන් ප්‍රනාන්දු 27, ජොශුවා සෙබස්තියන් නොදැවී 26, මලින්ත සිල්වා නොදැවී 16, නිසල අබේරත්න 2/39, සෙත්මික සෙනෙවිරත්න 3/20, කවිජ ගමගේ 2/27
  • Colombo South කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
  • කොදෙව්වෝ තරගාවලිය 1-1ක් සේ සම කරයි

සුබ ගමන් මැතිව්ස්!

දෙවැනි අවසන් පූර්ව තරගය

Galle සහ Colombo North අතර තරගය අනුරාධපුර සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගත් Colombo North ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දු යැවීම තෝරා ගනිමින් ප්‍රතිවාදී Galle කණ්ඩායමට පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් ලකුණු 217ක් ලබා ගන්නවා. එම ඉලක්කය ඉනිමේ තවත් පන්දු 11ක් සහ කඩුල්ලක් ඉතිරිව තබා ගනිමින් සපුරා ගැනිමට Colombo North ක්‍රීඩකයෝ සමත් වෙනවා.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Galle ඉනිමට අර්ධ ශතක ද්විත්වයක් එක් වෙනවා. පළමු අර්ධ ශතකය වාර්තා කරන්නේ ආරම්භක පිතිකරු දුල්සිත් දර්ශන. ඔහු පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 50ක් ලබා ගන්නවා.

ඊට පසුව නායක විරාන් චමුදිත පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 64ක් ලබා ගන්නවා.

ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 92ක දී ලකුණු 79ක සබඳතාවක් ද එම ඉනිමට එක් කරනවා.

ඔවුන්ට අමතර ව ලිදුල නෙත්මිණ පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 29ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී චාමික හීනටිගල සහ දුනික් පෙරේරා කඩුලු 3ක් බැගින් දවා ගන්නා ලද අතර මානස මදුභාෂණ කඩුලු ද්විත්වයක් ද සහ ශ්‍රීමන් ජීවහන් කඩුල්ලක් ද දවා ගන්නවා.

Colombo North කණ්ඩායමේ හඹා යන ඉනිමේ දී වැදගත් ම කාර්යභාරයක් කළ පිතිකරු බවට පත් වෙන්නේ දිනෝෂ් ගමගේ. ඔහු පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 65ක් ලබා ගන්නවා.

ඔහු 5 වැනි කඩුල්ල වෙනුවෙන් නායක චාමික හීනටිගල සමඟ එක් වෙමින් පන්දු 116කට මුහුණ දෙමින් ලකුණු 68ක සබඳතාවක් ද සහ මානස මදුභාෂණ සමඟ 6 වැනි කඩුල්ලට පන්දු 83ක දී ලකුණු 58ක් ද එක් කරනවා.

චාමික හීනටිගල පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ද සහ මානස මදුභාෂණ පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ද ලබා ගන්නවා.

තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී පන්දු 10ක දී හයේ පහර ද්විත්වයක් සමඟින් නොදැවී ලකුණු 21ක් ලබා ගැනීමට කිත්ම විතානපතිරණ සමත් වෙනවා.

කඩුලු දවා ගැනීමේ දී සදෙව් නෙත්මිණ ලකුණු 42කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව මලිත් ද සිල්වා සහ ලිදුල නෙත්මිණ කඩුලු ද්විත්වය බැගින් ද, විරාන් චමුදිත කඩුල්ලක් ද දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Galle – සියලුම දෙනා දැවී 217 (48.2) දුල්සිත් දර්ශන 50, විරාන් චමුදිත 64, ලිදුල නෙත්මිණ 29, මානස මදුභාෂණ 2/34, දුනික් පෙරේරා 3/46, චාමික හීනටිගල 3/28
  • Colombo North – කඩුලු 9ක් දැවී 223 (48.1) පූර්ණ කල්හාර 19, චාමික හීනටිගල 35, සිල්වා 2/31, ලිදුල නෙත්මිණ 2/48, සදෙව් නෙත්මිණ 4/42

Colombo North කණ්ඩායමට කඩුල්ලක් ජයක්.

තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 30 වැනිදා අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙම තරගයේ සජීවී දසුන් Dialog Television හී ThePapare TV 1 නාලිකා අංක 62 සුසර කර ගැනීමෙන් සහ ThePapare 1 HD නාලිකා අංක 126 සුසර කර ගැනීමෙන් මෙන් ම,  ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<