2017/18 වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග මේ දක්වා නවතා තිබුණේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හා දෙසැම්බර් නිවාඩු සමය හේතුවෙනි.
තරගාවලිය පසුගිය ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වුවත්, ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල දී පැවැත්වීමට තිබූ තරග කිහිපයක් පැවැත්වීමට නොහැකි වූයේ තරගවලට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවිනි. කෙසේ නමුත් පැවැත්වූ තරග කිහිපය ඉතාමත් උණුසුම් අයුරින් නිමාවට පත්විය.
ඕල්කට් ක්‍රිකට් ආදි සිසු කුසලානයත් ගාල්ල මහින්දයට
ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් වියතාණන් විසින් මෙරට ස්ථාපිත කරන ලද පාසල් අතුරින් කිහිපයක් එකතුව එතුමන්ට ගෞරව…
ලබන වසරේ ජනවාරි හා පෙබරවාරි මාසවල දී 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නවසීලන්තයේ දී පැවැත්වෙන නිසාවෙන්, මෙම ක්‍රිකට් තරගාවලියේ තරග කරනු ලබන පාසල් කිහිපයකම ක්‍රීඩකයින් ඊට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට තේරී ඇති බැවින් ඔවුන්ට ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරග කිහිපයක්ම මග හැරෙනු ඇත.
දිවයිනේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වන දක්ෂ පාසල් 36ක් මෙම පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන අතර මෙම තරගාවලියේ මූලික වටය තුල එක කාණ්ඩයකට පාසල් කණ්ඩායම් 9ක් බැගින් වන ලෙස කාණ්ඩ 4කට බෙදා වෙන්කර ඇත.
තරගාවලියේ පළමු වටය අවසානයේ ඒ ඒ කාණ්ඩයේ පෙරමුණ ගත් කණ්ඩායම්, 4 බැගින් වූ කාණ්ඩ 4ක් හරහා කණ්ඩායම් 16ක් මෙම තරගාවලියේ මීළඟ වටයට සුදුසුකම් ලබා ගන්නා අතර ඒ අනුව අන්තර් පාසල් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියට ද ඔවුන් නිතරගයෙන්ම සුදුසුකම් ලබා ගනු ඇත.
තරගාවලිය තුල සිටින ප්‍රබල පාසල්
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

ශ්‍රී ලංකා 19න් පහළ ජාතික කණ්ඩායමේ නායකයා වන කමිඳු මෙන්ඩිස් මේ දක්වා පැවැත්වූ තරග තුල ශතක 3ක් සමඟින් ලකුණු 400කට අධික ප්‍රමාණයක් ලබාගෙන ඇත. ඒසේම ඔහුගේ සහෝදරයා වන සඳුන් මෙන්ඩිස් ද මේ වන විට කඩුලු 35ක් දවාගෙන ඇත.
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

වමතින් වේගපන්දු යවන කළණ පෙරේරා ද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙන නිසා ඔහු හට ද ඉදිරියේ දී පැවැත්වෙන තරග කිහිපයක් මග හැරෙනු ඇත.
සාන්ත ජෝසප් විද්‍යාලය

D කාණ්ඩය යටතේ තරග කරන සාන්ත ජෝසප් විද්‍යාලය ඉදිරියේ දී ආනන්ද විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය සමඟින් ක්‍රීඩා කරනු ඇත. රෙවාන් කෙලී මේ වන විට පිත්තෙන් දස්කම් අතර සිටින අතර වයස අවුරුදු 14ක් වන වමතින් දඟපන්දු යවන දුනිත් වෙල්ලාලගේ හා අශේන් ඩැනියල් කඩුලු 80ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දක්වමින් සිටියි.
ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය

මෙවර තරගාවලිය තුල B කාණ්ඩයෙන් තරග කරනු ලබන සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන අශේන් බණ්ඩාර හා හරීන් බුද්ධිල ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම නියෝජනය කරනු ලබන නිසා ඔවුන්ට ද ඉදිරියේ පැවැත්වෙන තරග කිහිපයක්ම මගහැරෙනු ඇත. බුද්ධිල මෙවර තරගාවලිය තුල මේ වන විට සාන්ත ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා වී ඇත්තේ කඩුලු 55ක් දවා ගනිමිනි. පිත්තෙන් දස්කම් දක්වන රවිඳු සංජන ද මේ වන විට ලකුණු 500කට ආසන්න ප්‍රමාණයක් ලබා ගෙන ඇත.
තර්ස්ටන් විද්‍යාලය
නිපුන් ලක්ශාන්ගේ නායකත්වය යටතේ තරග කරනු ලබන තර්ස්ටන් විද්‍යාලය A කාණ්ඩයෙන් තරග කරයි. සුහද තරග ද ඇතුලත්ව තරග 5ක් ක්‍රීඩා කර ඇති අතර තර්ස්ටන් විද්‍යාලය මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය පරාජයට පත් කරමින් පූර්ණ ජයග්‍රහණ ලබාගෙන ඇත.
මීට අමතරව ආනන්ද විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය, මහානාම විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය වැනි පාසල් ද ඉදිරි තරග තුල හොඳින් දස්කම් අතරට පැමිණෙනු ඇත.
අවම දක්ෂතා දැක්වූ පාසල්
මරදාන සහිරා විද්‍යාලය හා හචිත තිමල්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරනු ලබන ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය ඔවුන් සහභාගී වූ තරග බහුතරයක් පරාජයට පත්විය. ඔවුන්ට මෙම තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් සිය අඩුපාඩුකම් ඉක්මනින්ම මඟ හරවා ගෙන ඉදිරියේ දී පැවැත්වෙන තරග තුල හොඳින් දස්කම් දැක්විය යුතුය.
ඉහත දැක්වූ පාසල්වලට අමතරව පානදුර සාන්ත ජෝන් විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, මාතර සාන්ත තෝමස් විද්‍යාලය එළඹෙන නව වසර තුල හොඳින් දස්කම් අතරට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















