කවීන් දෙනෙත් ශතකලාභී ලැයිස්තුවට එක් වෙයි

U19 School Cricket 2026

7
U19 School Cricket 2026

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ Tier A සහ Tier B  ක්‍රිකට් තරගාවලියන් හී අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (25) ආරම්භ වූවා.

තරගාවලියේ මෙම වටයේ තරග පැවැත්වෙන්නේ තෙදින තරග ලෙසිනුයි.

ඒ අනුව කුරුවිට යුද හමුදා පිටියේ දී පැවැත්වෙන Tier B කොටසේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර තරගය අද ආරම්භ වූ අතර එහි දී කාසියේ වාසිය දිනූ ශ්‍රී සුමංගල විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය පිටියට පිවිසියා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ වමත් ආරම්භක පිතිකරු කවීන් දෙනෙත්. ඔහු පන්දු 161කට මුහුණ දෙමින් හතරේ පහර12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 106ක් ලබා ගත්තා.

ඊට අමතර ව සෙනුක පැහැසර් පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ද සහ කෝෂිත ආදිත්‍ය පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී වමතින් දඟ පන්දු යැවූ මෙවිඳු කුමාරසිරි ලකුණු 82කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව සදික දම්යුරු, සිහස් නෙත්දිනු, මෙතුම් ප්‍රනාන්දු සහ බිහඟ සිල්වා කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගය පළමු දිනයට නතර කරන විට පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී සුමංගල විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 18ක් ලබා සිටියා.

දැවී ගිය එම කඩුලු ද්විත්වයේ ම හිමිකාරීත්වය සතිඳු ප්‍රබෝධ සතු වුණා.

කාසියේ වාසිය – ශ්‍රී සුමංගල විද්‍යාලය

  • ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 211 (76.3) කවීන් දෙනෙත් 106, සෙනුක පැහැසර 29, මෙවිඳු කුමාරසිරි 5/82
  • ශ්‍රී සුමංගල විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 18 (11.0)සතිඳු ප්‍රබෝධ 2/10

ශ්‍රී සුමංගල විද්‍යාලය ලකුණු 193ක් පිටුපසින්.

මෙම තරගය හෙට (26) 2 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<