ත්‍රිත්ව – රාජකීය තරගය විසඳුමකින් තොරව අවසන් වේ

U19 School Cricket 2026

3

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර තරගය (28දා) අවසන් වූ අතර එම තරගයේ දී ත්‍රිත්ව විද්‍යාලයට වැඩි වාසි හිමි වෙමින් නිමා වූවා.  

මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක රාජකීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 83ක් පමණයි.  

ඒ අනුව පිළිතුරු ඉනිමට පිවිසි සත්කාරක ත්‍රිත්ව ක්‍රීඩකයෝ තරග පළමු දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 243ක් ලබා සිටියා.  

තරගයේ දෙවැනි දිනයේ දී පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔවුන් තම පළමු ඉනිම අවසන් කරන විට ලකුණු 281ක රැඳී සිටියා. ඒ වෙද්දී නොදැවී ලකුණු 34ක් ලබා සිටි විදුනෙත් ධම්මගේ ඉනිමේ 9 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 55ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී වමතින් දඟ පන්දු යවන හිමරු ද සිල්වා ලකුණු 95කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව සෙහඳු සූරියආරච්චි සහ රමිරු පෙරේරා කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.  

ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 198ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිම ආරම්භ කළ රාජකීය විද්‍යාලයීය තරගය නතර කරන විට කඩුලු 9ක් දැවී ලකුණු 260ක් ලබා සිටියා.

එම ඉනිම වෙනුවෙන් විමත් දින්සර පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 89ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා.  

ඊට අමතර ව රමිරු පෙරේරා ද පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 118ක දී ලකුණු 85ක සබඳතාවක් ගොඩ නගනවා.  

ඔවුන් දෙදෙනා අමතර ව ආරම්භක පිතිකරු හිරුන් ලියනආරච්චි පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී කනිල්ක ඇන්තනී ලකුණු 56කට කඩුලු 3ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව විදුනෙත් ධම්මගේ සහ චනිරු සේනාරත්න කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.   

තරගයේ කෙටි ලකුණු පුවරුව 

නුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර තරගය මහනුවර අස්ගිරිය පිටියේ දී. (Traditional) 

කාසියේ වාසිය – රාජකීය විද්‍යාලය 

  • රාජකීයවිද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 83 (29.1) උදන්ත ගංගෙවත්ත 42, හිමරු ද සිල්වා 21, චනිරු සේනාරත්න 2/14, ඩිනාල් ප්‍රනාන්දු 3/20, කනිල්ක ඇන්තනී 2/07
  • ත්‍රිත්ව විද්‍යාලය – පළමු ඉනිමසියලුම දෙනා දැවී 281 (75.0) දිමන්ත මහවිතාන 60, මහේන්ද්‍ර අබේසිංහ 85, මාලික විතානගේ 28, විදුනෙත් ධම්මගේ 55, හිමරු ද සිල්වා 5/95, රමිරු පෙරේරා 2/50, සෙහඳු සූරියආරච්චි 2/21
  • රාජකීය විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 260 (82.0) හිරුන් ලියනාරච්චි 35, දුශේන් උඩවෙල 21, විමත් දින්සර 89, රමිරු පෙරේරා 47, තෙවිඳු වේවැල්වල 23, චනිරු සේනාරත්න 2/97, විදුනෙත් ධම්මගේ 2/13, කනිල්ක අන්තනී 3/56

තරගයේ විසඳුමක් නෑ.  

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<