කොළඹ රාජකීයයන් හමුවේ පොළොන්නරුව පසු බසී

9
U 17 Inter Schools Division Il Tournament

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගයෙන් සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ 2 වැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වූවා.

කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දී (10) පැවැති අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූයේ පොළොන්නරුව රාජකීය විද්‍යාලය වන අතර ඔවුන්ට එරෙහි ව ලකුණු 60ක ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම කුසලානය කොළඹ රඳවා ගැනීමට අගනුවර රාජකීය විද්‍යාලය සමත් වූවා.

කාසියේ වාසිය දිනා ගත් කොළඹ රාජකීය විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 166ක් ලබා ගත් අතර ප්‍රතිවාදී පොළොන්නරුව රාජකීය විද්‍යාලයට සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 106ක් පමණයි.

කොළඹ රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ B කණ්ඩායම

ඔෂාන් සුලක්ෂණ (නායක), නෙසඳු මන්දිව්, තුමිඳු සෝමසිරි, තරුල් වෛද්‍යරත්න, රසුල මදාරසිංහ (කඩුලු රකින්නා), ඉසුක වික්‍රමසිංහ, ජවීත් පෙරේරා, ජනිරු වීරරත්න, මහිරු කොඩිතුවක්කු, මොහොමඩ් නිෆාඩ්, තෙනුජ බණ්ඩාර.

පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

සේසිත දින්සර කල්‍යාණවංශ (නායක), තේජාන් බණ්ඩාර, පූර්ණ පෘතුවි ගුණරත්න (කඩුලු රකින්නා), දෙනිත් සඳුල්, සංදිත් දිනාන්, සෙසඳු චමත්සර, මෙසඳු නෙත්මික, මහීෂ ඉඳුරංග, සස්මිත චමෝද්, චමිඳු සස්මිත, දෙසඳු මෙත්සිත්.

පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ රාජකීය විද්‍යාලය සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද මැද පෙළ එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුල්ල වෙනුවෙන් නෙසඳු මන්දිව් සහ තුමිඳු සෝමසිරි ලකුණු 35ක් ලබා ගන්නා ලද අතර ඉන් ලකුණු 31ක් ම ලබා ගන්නේ නෙසඳු මන්දිව්. ඔහු දැවී යද්දී පන්දු 51කට මුහුණ දී සිටි අතර හතරේ පහර 4ක් ද ඊට අයත් වුණා.

අනතුරු ව කොළඹ රාජකීය ඉනිමේ කඩුලු 4ක් ලකුණු 31ක් තුළ දැවී යනවා. එම අවාසනාවන්ත තත්ත්වයෙන් කණ්ඩායම ගොඩ ගැනීමේ මෙහෙවරක නිරත වූයේ ජවිත් පෙරේරා සහ ජනිරු වීරරත්න. ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට ලකුණු 59ක සබඳතාවක් එක් කරනවා. එහි දී ජවිත් පෙරේරා පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගන්නා ලද අතර ජනිරු වීරරත්න පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 41ක් ලබා ගන්නවා. ඊට අමතර ව මහිරු කොඩිතුවක්කු පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී චමිඳු සස්මිත ලකුණු 42කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව සස්මිත චමෝද් සහ තේජාන් බණ්ඩාර කඩුලු ද්විත්වය බැගින් ද සහ දෙනිත් සඳුල් කඩුල්ලක් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයන්ට සාර්ථක ආරම්භයක් ලැබුණේ නැහැ. ඔවුන්ගේ ඉදිරි පෙළ පිතිකරුවන් 5 දෙනා අතුරින් ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා පිය නැගුවේ පූර්ණ පෘතුවි පමණයි. ඔහු පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබා ගන්නවා.

ඊට අමතර ව මැද පෙළින් පිටියට පිවිසි සෙසඳු චමත්සර ඉනිම අවසන් වෙද්දී පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 30ක් ලබා සිටියා.

සස්මිත චමෝද් පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා ගනිමින් චමිඳු සස්මිත සමඟ 8 වැනි කඩුල්ලට ලකුණු 27ක් එක් කරනවා. චමිඳු සස්මිත පන්දු 20කට මුහුණ දෙමින් ලකුණු 11ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී ඔශාන් සුලක්ෂණ ලකුණු 32කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව නෙසඳු මන්දිව් කඩුලු 3ක් ද, මහිරු කොඩිතුවක්කු කඩුලු 2ක් ද සහ තෙනුජ බණ්ඩාර කඩුල්ලක් ද දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

කොළඹ රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 166 (50.0) නෙසඳු මන්දිව් 31, ජවීත් පෙරේරා 23, ජනිරු වීරරත්න 41, මහිරු කොඩිතුවක්කු 23, චමිඳු සස්මිත 4/42, තේජාන් බණ්ඩාර 2/36, සස්මිත චමෝද් 2/27

 

පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 106 (44.4) පූර්ණ පෘතුවි 27, සෙසඳු චමත්සර නොදැවී 30, සස්මිත චමෝද් 21, නෙසඳු මන්දිව් 3/22, මහිරු කොඩිතුවක්කු 2/18, ඔශාන් සුලක්ෂණ 4/31

කොළඹ රාජකීය විද්‍යාලයට ලකුණු 60ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<