ඇල්පිටිය පොඩ්ඩන්ගේ 11න් පහළ වික්‍රමාන්විතය

5

ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය 23 වැනි වරටත් සංවිධානය කළ DSI Supersports අන්තර් පාසල් වයස් කාණ්ඩ වොලිබෝල් ශූරතා තරගමාලාවේ වයස අවුරුදු 11න් පහළ බාලක ශූරයන් බවට පත් වූයේ ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයයි.  

ළමුන් දහසකට අඩු ප්‍රමාණයක් සහ ගුරුවරුන් 30ක පමණ ප්‍රමාණයකින් හෙබි මේ පාසල මෙවන් ජයග්‍රහණයක් ලබා ගත් පළමු අවස්ථාව මෙයයි. මීට දශකයකට මදක් එපිට කාලයක දී නව අධ්‍යාපන ප්‍රතිපෝෂණ පාසලක් ලෙසින් ස්ථාපිත වූ ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලය ලැබූ මෙම ජයග්‍රහණය පාසල් ප්‍රජාවගේ පමණක් නොව ඇල්පිටියට හා ඒ හා ආසන්න ප්‍රදේශවාසීන්ගේ ද අමන්දානන්දනයට පත් වූවක්.  

මෙම ජයග්‍රහණය සාමූහිකව ලැබු සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හැඳින්විමට මම කැමතියි. පාසලේ වොලිබෝල් ක්‍රීඩාව ආරම්භ කළ විදුහල්පතිවරයාගේ, ක්‍රීඩාභාර ආචාර්යවරයාගේ සහ පුහුණුකරුගේ සිට වර්ථමාන ක්‍රියාවලිය සඳහා දායකත්වය දක්වන සැමගේ ම වෙහෙස මහන්සියට මේ පිටුපස තිබෙනවා.ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයීය විදුහල්පති රුවන් ඩී. හෙට්ටිආරච්චි මහතා ThePapare.com සමඟ මේ ජයග්‍රහණයේ සතුට බෙදා ගත්තේ ඒ ආකාරයෙන්.  

ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලය ලැබූ මෙම සමස්ත ලංකා ජයග්‍රහණය කරා යන විට ඔවුන් සතුව තිබුණේ 2023 වසරේ ද DSI supersport සමස්ත ලංකා පාසල් වොලිබෝල් තරගාවලියේ 11න් පහළ බාලිකා ඉසව්වේ අනුශූරතාවත් සහ එම වසරේ ම වයස අවුරුදු 11න් පහළ බාලක කණ්ඩායම ලබා ගත් සිව් වැනි වැනි ස්ථානයත් පමණයි.  

මේ ජයග්‍රහණය කරා යන ගමනේ දී හැම දරුවෙක් ම විශාල ලෙස මහන්සි වුණා. අධ්‍යාපනයත් සමඟින් ඔවුන් මේ වෙනුවෙන් විශාල කැපවීමක් කළා. ඒ වගේ ම පුහුණුකරු මොහාන් සංජීව මහතා තරගාවලියට යෑමට පෙර සිට ම අපි මෙම ශූරතාව දිනා ගන්නා බවට විශාල විශ්වාසයක් ඇති කළා. ඒ වගේ ම විද්‍යාලයේ ආචාර්යවරුන් වන ගනේෂ් කුමාර මහතා සහ සිතුමිණි ජයරත්න මහත්මිය මේ ජයග්‍රහණය පිටුපස සිටිමින් විශාල කාර්යභාරයක් කළා. ඒ වගේ ම මේ දරුවන්ගේ දෙමාපියන්, ආදි ශිෂ්‍යන් සහ ඇල්පිටිය ප්‍රජාව දැක් වූ දායකත්වය ද කවදාවත් අමතක කරන්න බැහැ. විදුහල්පති රුවන් ඩී. හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවැසුවා.  

ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලය මේ ජයග්‍රාහී ගමන ආරම්භ කරන්නේ තරගාවලියේ මූලික වටයේ දී ගාල්ල දිස්ත්‍රික් තරගාවලියට සහභාගී වෙමින් අනුශූරතාව දිනා ගනිමිනුයි. එම ගමනේ දී බෙන්තර ගාමිණී විද්‍යාලය වෙතින් පරාජය ලබන ඔවුන් සමස්ත ලංකා අවසන් මහා තරගයේ දී නැවත ප්‍රතිවාදින් ලෙසින් හමු වූ බෙන්තර ගාමිණී විද්‍යාලය ම පරාජය කරමින් මේ ඉසව්වේ ශූරයන් ලෙසින් අභිශේක ලබනවා.  

අවසන් මහා තරගයේ දී ඇල්පිටිය ප්‍රාථමිකයෝ බෙන්තර ගාමිණී විද්‍යාලයට එරෙහි ව තරගවට 2-0ක පහසු ජයග්‍රහණයක් ලබා ගන්නේ පළමු වටයේ දී 15-1ක් ද සහ 2 වැනි වටයේ දී 15-7ක් ද ලෙසින් පහසුවෙන් ම ප්‍රතිවාදීන්  පරාජයට පත් කරමිනුයි 

ඔවුන් මෙම කඩඉම් තරගය සඳහා එක් වෙන්නේ අර්ධ අවසන් පූර්ව වටයේ දී ගම්පහ දිස්ත්‍රික් ශූරයන් වූ මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යාලයට එරෙහි ව තරග වට 3-2ක සහ අවසන් පූර්ව වටයේ දී වයඹ පළාත් ශූරයන් වූ නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලයට එරෙහි ව තරග වට 3-2ක ජයග්‍රහණයක් ද ලබා ගනිමිනුයි. 

මම වසර දෙක තුනක් ම මේ කණ්ඩායම සමඟ සිටියේ. ගිය වසරේ දී මේ කණ්ඩායම 8 වැනි ස්ථානය දක්වා රැගෙන ඒමට මට හැකි වුණා. මෙවර ඔවුන් ව සමස්ත ලංකා තරග වටයට රැගෙන යනවා කියල තමයි වැඩේ පටන් ගත්තේ. ඒ වෙනුවෙන් විශාල ප්‍රයත්නයක් දැරුවා. දරුවෝ සෑම කෙනෙක් ම විශාල ලෙස මහන්සි වුණා. පළමු වටයේ දී හරියට නොකළ තරග අවසානයේ දී පාසලට පැමිණ නැවත පුහුණුවිම් කළා. සමහර දවස්වලට අපි රාත්‍රියේ පවා පුහුණුවිම් කළා. ඒ කැපවීමේ ප්‍රතිඵල සමස්ත ලංකා තරගාවලිය ජය ගැනීමෙන් කෙළවර වීම ගැන සතුටු වෙනවා. ඇල්පිටියට ප්‍රාථමික විද්‍යාලයේ වොලිබෝල් පුහුණුකරු මොහාන් සංජීව මහතා පැවැසුවා.  

යුද හමුදා වොලිබෝල් කණ්ඩායමට වසර 14ක් පමණ තම දක්ෂතා එක් කළ මොහාන් සංජීව, වොලිබෝල් පුහුණුකරුවෙක් ලෙසින් ගමන ආරම්භ කරන්නේ තම පාසල වූ බෙන්තර ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයට ස්වේඡ්ඡා පුහුණුකරුවෙක් ලෙසින් එක් වෙමින්.  

දශකයට වැඩි කාලයක් තම මව් පාසලට දායකත්වය දුන් මොහාන් සංජීව, අනතුරු ව තම බිරිඳ වූ සුරේනි ශාලිකා මහත්මියගේ ඉල්ලීම මත ඇයගේ පාසල වූ බටුවන්හේන රතනසිරි රාජකීය විද්‍යාලයේ පුහුණුකරු ලෙසින් එක් වෙනවා. එවකට එහි විදුහල්පතිනිය වූ මල්ලිකා කුමාරිහාමි මහත්මියත්, වොලිබෝල් භාර ආචාර්යවරිය ලෙසින් කටයුතු කළ මල්ලිකා පත්මිණි මහත්මියත් ඒ වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දැක් වූ බැව් ද ඔහු පවසනවා. 

ඊට පසුව ඔහුගේ වොලිබෝල් පුහුණු නවාතැන වෙන්නේ ඇල්පිටිය ප්‍රාථමිකය. එවකට විදුහල්පතිව සිටි ප්‍රියන්ත ගුණවර්ධන මහාතාගේත් සහ වොලිබෝල් භාර ආචාරිනිය වූ සුමිතා ජයන්ති මහත්මියගේත් මඟ පෙන්වීම සහ කැපවීම යටතේ ආරම්භ වූ ඇල්පිටිය ප්‍රාථමිකයේ වොලිබෝල් ක්‍රීඩාවට ගෞරවනීය ඉතිහාසයක් එක් කරන්නේ මොහාන් සංජීව. ඒ ගැන තමන් තුළ නිහතමානී සතුටක් තිබෙන බැව් ද ඔහු පවසනවා.  

“2019 වසරේ දී හිටපු විදුහල්පති ප්‍රියන්ත ගුණවර්ධන සර් වොලිබෝල් කෝට් එක හදල මට බාර දුන්නේ හොඳ දෙයක් කරල දෙන්න කියලා. එදා සිට අද දක්වා ම මම ඇල්පිටිය ප්‍රාථමිකයේ පුහුණුකරු. එදා ප්‍රියන්ත ගුණවර්ධන සර් යටතේ වගේ ම වර්ථමාන විදුහල්පති රුවන් හෙට්ටිආරච්චි සර් යටතේත් ඉතා කැමැත්තෙන් කිසිඳු පීඩනයකින් තොරව මම මගේ වැඩ කොටස කරගෙන යනවා. ඒ වගේ ම මාව ඇල්පිටියට හඳුන්වා දුන් විද්‍යාලයීය ආචාර්ය ගනේෂ් කුමාර මහතා වගේ ම ඇල්පිටිය ප්‍රාථමිකයේ ක්‍රීඩාභාර ආචාරිනී සිතුමිණි ජයරත්න මහත්මියත් මේ වෙනුවෙන් දක්වන සහයෝගය ඉතා වැදගත්. 

ඔවුන්ට අමතර ව විද්‍යාලයීය වොලිබෝල් ක්‍රීඩා කරන දෙමාපියන් සහ ආදි ශිෂ්‍යයන් සමඟ ද මනා අබවෝධයකින් වැඩ කරගෙන යන්න ලැබෙන නිදහසත්, දවසේ වැඩි කාලයක් වොලිබෝල් පුහුණුකිරීම් සඳහා වැය කිරීමට ගෙදරින් ලැබෙන නිදහසත් ඔහු විශාල ලෙස අගය කරනවා.  

මේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑම පිටුපස තිබෙන්නෙ ඒ නිදහස. මේ දක්වා කිසිම කෙනෙක් මගේ නිදහස අවහිර කරල නැහැ. මම මගේ සැලසුම් ක්‍රීඩකයන් ලවා ක්‍රියාත්මක කරවද්දී ඔවුන් ද ඊට අනුගත ව කටයුතු කරනවා. ඒක මගේ වැඩවලට විශාල පහසුවක්.මොහාන් සංජීව මහතා නැවත පැවැසුවා.  

ඇල්පිටියට ප්‍රාථමික විද්‍යාලය වඩාත් ප්‍රචලිත ක්‍රීඩාවට වඩා ඉගෙනුමට වැඩි තැනක් දෙන පාසලක් ලෙසයි. ඒ බැව් සෑම වසරක ම 5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත ගම්‍ය වෙනවා. ජයග්‍රාහී මෙම කණ්ඩායමේ ළමුන් 14 දෙනාගෙන් ළමුන් 13 දෙනෙක් ම ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අය. ඉන් ළමුන් 9 දෙනෙක් ශිෂ්‍යත්වය සමත් වෙන අතර අනෙක් ළමුන් සිව් දෙනා ලකුණු 120-139ත් අතර සමත් කඩඉමට ආසන්න ලකුණු ගත් අය.   

මේ ජයග්‍රහණය වෙනුවෙන් අපේ දරුවෝ විශාල කැපවීමක් කළා. සමහර අවස්ථාවල අපිට මහන්සියි, නොයෙකුත් වැඩ. නමුත් දරුවන්ට ඒ ගැන වැටහීමක් නැහැ. ඔවුන් පැය ගණන් එක දිගට මේ වෙනුවෙන් මහන්සි වුණා. ඒ අතර ඉගෙනීම් කටයුතුත් අතපසු කළේ නැහැ. ඔවුන් ඔවුන්ගේ උපරිම ධාරිතාව මේ වෙනුවෙන් වැය කළා. ඔවුන් ඒ තරමට ම වෙහෙස වෙද්දි, අපට ඔවුන් ව අතහැර දාන්න බැරි තත්ත්වයකුත් ඇති වුණා. කුමන වැඩක් තිබුණත් අපිටත් ඔවුන් සමඟ සිටීමට ඔවුන්ගේ දක්ෂතා අපිට බල කළා. අද අපි භුක්ති විඳින්නේ ඔවුන්ගේ ඒ කැපවීමේ ප්‍රතිඵල. ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ වොලිබෝල් කණ්ඩායම් භාර ආචාරිනී සිතුමිණි ජයරත්න මහත්මිය පැවැසුවා.  

මෙම වයස් කාණ්ඩයේ මෙම තරගාවලියේ ශූරතා කුසලානයට අමතර ව ප්‍රදානය කෙරුණ ශූරතා කුසලාන සියල්ල ම දිනා ගැනීමට ද ඇල්පිටිය ප්‍රාථමිකයේ ක්‍රීඩකයන් සමත් වීම කැපී පෙණුනා. ඒ අනුව දක්ෂතම පන්දු ඔසවන්නා ලෙස නිමෙන් නිඳුවර ද දක්ෂතම ප්‍රහාරකයා ලෙස මිනෙව් නුත්මාන් ද සහ දක්ෂතම ක්‍රීඩකයා ලෙස හසේන් නිම්තරු ද සම්මාන දිනා ගත්තා. 

11න් පහළ බාලක වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් හසේන් නිම්තරු සම්මාන ලබා ගත් අවස්ථාව 

පාසලක මේ වයස් කාණ්ඩය සඳහා ළමුන් එකතු කර ගැනීම හරි අමාරු දෙයක්. විශේෂයෙන් ම ගෙවල්වලින් ළමුන් එවන්නෙ නැහැ. ඔවුන්ගේ ඉලක්කය වෙන්නේ ශිෂ්‍යත්ව විභාගය. ඔවුන් බලන්නේ දැනුම විතරයි. නමුත් මේ දරුවන් වගේ ම ඔවුන්ගේ දෙමාපියන් ද එය කිසිසේත් ම බාධාවක් කර ගත්තේ නැහැ. විද්‍යාලයීය විදුහල්පති තුමා වගේ ම නියෝජ්‍ය විදුහල්පතිනි තුෂාරා හේන්ගෙදර මහත්මිය සහ මේ සියලු දරුවන්ගේ පංතිභාර ගුරුවරුන් මේ පිටුපස සිටියා. අධ්‍යාපනයත් ක්‍රීඩාවත් සමබරව රැගෙන යන්න නිරතුරුව අවවාද අනුශාසනා කරමින් තරග පවා නැරඹීමට පැමිණෙමින් ඔවුන් ව දිරිමත් කළා. 

මේ මෙහෙයුමේ දී දෙමාපියන් ද විශේෂ කාර්යභාරයක් කළ බවත් සිතුමිණි ජයරත්න මහත්මිය පැවැසුවා. 

ඒ වගේ ම කියන්න ඕන මේ දරුවන්ගේ දෙමාපියන්. ඔවුන් සියලුම දෙනා මේ වෙනුවෙන් එක වගේ කැපවීමක් කළේ. වොලිබෝල් ඔවුන්ගේ ආත්මවලට කාවැදී තිබෙනවා ද කියල හිතෙන තරමට ම ඔවුන් මේ ගේම් එක අතහැරියෙ නෑ. සමහර අවස්ථාවල අපිවත් ඇදගෙන යන තරමට ම ඔවුන් මේ වෙනුවෙන් කැප වුණා. අත්‍යවශ්‍ය වියදම්වල දී ඇතැම් දෙමාපියන් කණකර උගස් තියලා පවා උදව් කළ අවස්ථා තියෙනවා. ඇත්තට ම මේ ජයග්‍රහණය ඔවුන්ට අවශ්‍ය වුණා. දරුවෝ ඒ දේ ලබා දුන්නා. ඔවුන්ගේ මහන්සිය, කැපවීම අපතේ ගියේ නෑ. සිතුමිණි ජයරත්න මහත්මිය නැවත පැවැසුවා.  

මෙම කණ්ඩායම මෙලෙස විවිධ අභියෝග මැද විද්‍යාලයීය එළිමහන් ක්‍රීඩා පිටිය උපයෝගී කර ගනිමින් පුහුණුවීම් කටයුතු සිදු කළ ද සමස්ත ලංකා තරගාවලියේ දී එවන් පුහුණුවීමක් පමණක් ප්‍රමාණවත් නොවේ, යන්න කාගෙත් මතය වූවා. විශේෂයෙන් ම ඔවුන්ට අවශ්‍ය වූයේ සමස්ත ලංකා තරග පැවැත්වෙන ගෘහස්ථ ක්‍රීඩාංගණයක පුහුණුවීම් අවස්ථා ලබා දෙමින් ඔවුන්ට එම අත්දැකීම් ලබා දීම.  

ඇත්තට ම ඒක අපි මුහුණ දුන් විශාල අභියෝගයක්. ඒ වෙද්දීත් දෙමාපියන් විශාල ලෙස මුදල් වියදම් කරල තිබුණේ. ඒත් ඔවුන් නිතර ම කිව්වේ අපි කොහොම හරි මේ ටිකත් ඇදගෙන යමු කියන එක. විද්‍යාලයටත් වියදම් කළ හැකි අනුමත ප්‍රමාණයක් තියෙනවා. ඉන් එහා යෑමේ හැකියාවක් අපිට තිබුණෙ නැහැ. නමුත් ඒ අවස්ථාවේ දී අපිට උදව්වට විද්‍යාලයීය ආදි ශිෂ්‍යයන් සහ ඇල්පිටිය වෙළඳ ප්‍රජාව ඉදිරිපත් වුණා. ඔවුන්ගේ උදව් මත අපිට ගාල්ල, දඩැල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී වගේ ම කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදීත් පුහුණුවීම් කරගෙන යෑමට අවස්ථාව ලැබෙනවා. තරගවලට සහභාගී වෙන්න බස් පවා අපට ලබා දීමට ඇල්පිටියේ ප්‍රජාව ඉදිරිපත් වෙනවා. ඔවුන් මේ දෙවල්වලට ඉදිරිපත් වුණේ කිසිදු ලාභ අපේක්ෂාවකින් නොවේ. මේ දරුවන්ගේ කැපවීම සහ දක්ෂතාව දැකලා. ඒ අයට විද්‍යාලය වෙනුවෙන් මම විශේෂයෙන් ම ස්තූති වන්ත වෙනවා. විද්‍යාලයීය වොලිබෝල් කණ්ඩායම් සම්බන්ධීකාරක සහ සහාය පුහුණුකරු විද්‍යාලයීය ආචාර්ය ගනේෂ් කුමාර මහතා අප සමඟ පැවැසුවා.  

ඒ සියලු උදව් උපකාර මධ්‍යයේ ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයීය ඉතිහාසයට අධ්‍යාපනයෙන් ම එක් වූ ජයග්‍රහණ අතරට ක්‍රීඩාවෙන් ද ජයග්‍රහණයක් එක් කිරීමට හිෂේන් නිම්තරු ගේ නායකත්වයෙන් යුත් වයස අවුරුදු 11න් පහළ වොලිබෝල් ක්‍රීඩකයෝ සමත් වෙනවා. එය විද්‍යාලයට පමණක් නොවේ, ඇල්පිටිය අධ්‍යාපනය කලාපයට සේ ම ඇල්පිටිය ප්‍රජාවට ද උදම් ඇනිය හැකි ජයග්‍රහණයක්.  

ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයීය වයස අවුරුදු 11න් පහළ වොලිබෝල් කණ්ඩායම 

හෂේන් නිම්තරු (නායක), සන්දුල් භාතිශ්ක, සනෙත් තිහාර, ඉනුර එව්මික, මිනෙව් නුත්මාන්, සනුත් පබසර, මෙතුක සස්වින්, සෙතුල රන්දීර, ෂෙහංස රිසිජ, නිසිල යොනාල්, අනුක් ශනුමික, සෙනුත් පැහැසර, තිවීන් නිඳුවර, ගමිතු සුලක්ෂණ. 

DSI Supersports අන්තර් පාසල් වයස් කාණ්ඩ වොලිබෝල් ශූරතා තරගමාලාවේ වයස අවුරුදු 11න් පහළ බාලක ශූරයන් බවට පත් වූ ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයීය වොලිබෝල් කණ්ඩායමට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්! 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<