ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් පළාත් සුපිරි 4 ක්‍රිකට් තරගාවලිය පසුගිය දා නිමා වූයේ ක්‍රිකට් පිටියේ අංකුර ක්‍රීඩකයෙක්ගේ කලඑළි බැසීමක් සමඟිනි.
ඒ පැතුම් නිශ්ශංක සිල්වා ය. තවමත් 19 වැනි වියේ පසුවෙන පැතුම් තරගාවලියේ කාගේත් අවධානය දිනා ගන්නේ තමන් සහභාගී වූ පළමු තරගයේ දී ම නොදැවී ලකුණු 188ක් ලබා ගනිමිනි.
“කණ්ඩායමේ 11 දෙනා අතරට නම් කෙරුණට පස්සේ හැමෝගෙම ආශීර්වාදය ලැබුණා. හැම කෙනෙක්ම කිව්වේ කලබල වෙන්නේ නැතිව මේක තවත් එක් තරගයක් විතරයි කියල හිතල සෙල්ලම් කරන්න කියලයි. මටත් අවශ්‍ය වුනේ හොඳ ඉනිමක් සෙල්ලම් කරන්න. ඒත් පළමු ඉනිමෙ දි මට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 6ක් විතරයි.” පැතුම් සුපිරි 4 තරගාවලියේ තමන්ගේ සහභාගීත්වය සම්බන්ධයෙන් කතා කළේය.

ගාලු ක්‍රීඩකයෝ සුපිරි හතරේ ශූරතාවය දිනති
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලිය අද (24) නිමා වූයේ ගාලු ක්‍රීඩකයන්ට
පන්දු 226කට මුහුණ දෙන පැතුම් හතරේ පහර විස්සක් සහ හයේ පහර තුනක් සමඟින් නොදැවී ලකුණු 188ක් ලබා ගන්නේය. “ද්විත්ව ශතකය අහිමි වීම ගැන පුංචි දුකක් තියෙනවා. නමුත් මේ තරමින් ඉනිමක් ගොඩ නගන්න දායකත්වය දෙන්න ලැබීම ගැන සතුටුයි.” පැතුම් පවසන්නේ ය.
පැතුම්ගේ මෙම ඉනිම තුළ ඔහු මහේල උඩවත්ත සමඟින් පළමු කඩුල්ලට ලකුණු 34ක සබඳතාවක් ද, චරිත් අසලංක සමඟින් දෙවැනි කඩුල්ලට ලකුණු 148ක සබඳතාවක් ද, තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක ඇන්ජලෝ මැතිව්ස් සමඟින් ලකුණු 49ක් ද සහ නිරෝෂන් දික්වැල්ල සමඟින් සිව්වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 132ක සබඳතාවක් ද ගොඩ නැගීමට දායක විය.
“මහේල උඩවත්ත, ඇන්ජලෝ මැතිව්ස් සහ නිරෝෂන් දික්වැල්ල වැනි ජ්‍යෙෂ්ඨයන් සමඟ දීර්ඝ වේලාවක් පිටියේ සිටීමට ලැබීම විශාල භාග්‍යයක්. ඔවුන් සැම අවස්ථාවක ම කිව්වේ ඉනිම අතාරින්න එපා කියලා. පුළුවන් තරම් හොඳින් පන්දු තෝරා බේරාගෙන බැට් කරන්න කියන එක තමයි සිහිපත් කළේ. ඒ වගේම විකට් එක නොදී නොටවුට් වෙලා ඉන්න කියන අවවාදයත් දුන්නා. චරිත් අයියත් සමඟ දෙවැනි විකට් එකට සෙල්ලම් කරද්දි අපේ අරමුණ වෙලා තිබුණේ වැඩි ඕවර ප්‍රමාණයක් බැට් කරන්න. අපි පහරකට වුනත් ගියේ ලූස් බෝල් එකකට විතරයි. චරිත් අයියත් මගේ ඉනිමට විශාල සහයෝගයක් දැක්වූවා.” පැතුම් තම ඉනිමේ අප නොදත් තතු පැවසුවේ එසේ ය.
පැතුම් නිශ්ශංක යනු ක්‍රිකට් පිටියට අහම්බයක් නොවේ. වයස අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩයේ සිටම ඔහු ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරමින් තරග සංචාර සඳහා එක්ව ඇත. එමෙන්ම වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ ද ඔහු සාමාජිකයෙකි. ඔහු අහම්බයක් වනුයේ සුපිරි 4 ක්‍රිකට් තරගාවලියේ අවසන් සතියේ කරළියට පිවිසීමය.

1998 මැයි මස 18 වැනි දින උපත ලද පැතුම් නිශ්ශංක පවුලේ බඩපිස්සා ය. ඔහුට වැඩිමල් සහෝදරියක් සිටිය ද ඔවුන් අතර එතරම් පයුරුපාසානමක් නම් තිබී නැත. හේතුව වී ඇත්තේ ක්‍රිකට් ය. 
“තාත්තා තමයි මගේ ක්‍රිකට් ලෝකයේ අංක එක. තාත්ත තමයි මගේ මුල්ම පුහුණුකරු වෙන්නේත්. ඒ ආව ගමන තමයි මේ.” පැතුම් පැවසුවේය.
එසේ එන ගමනේ දී පැතුම්, වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් මීපාවල අමරසූරිය විද්‍යාලයට එරෙහිව පන්දු 109කට මුහුණ දෙමින් ලකුණු 221ක් වාර්තා කරන්නේය. එය පැතුම්ගේ මංගල ද්විත්ව ශතකය ද වන අතර ජීවිතයේ වැදගත් ස්ථානයක ලැගුම්ගෙන සිටින මතකයක් ද වේ. එම වසරේ දී ම දිස්ත්‍රික් සහ පළාත් කණ්ඩායම් නියෝජනය කරන පැතුම් ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම් නියෝජනය කරමින් මැලේසියානු සංචාරයකට ද එක් වේ. එමෙන්ම එම වසරේ දී ම වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට ද පැතුම් සුදුසුකම් ලබන්නේය.
වසර දෙකක් වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම නියෝජනය කරන පැතුම් එම වසර ද්විත්වයේම දිස්ත්‍රික් සේ ම පළාත් කණ්ඩායම ද සහ මැලේසියා සංචාරයට සහභාගි වූ කණ්ඩායමේ ද සාමාජිකයෙක් වෙන්නේය. ඊට අමතරව එම වසරේ දී අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ද සම්මාන දිනා ගන්නේය.
වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු වසර ක්‍රීඩා කරද්දී මෙරට පැමිණි එංගලන්ත වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට ද පැතුම් සමත් වෙන්නේය. එම වසරේ දී 17න් පහළ තරගාවලිය නියෝජනය කරමින් ලකුණු 500 සීමාව පසු කරන ඔහු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 1000ක් ලබා ගන්නේය. මෙම ලකුණු දහස තුළ දෙබරවැව ජාතික පාසලට එරෙහිව රැස් කළ ද්විත්ව ශතකයක් ද වේ.

“කළුතර විද්‍යාලයෙන් වගේම ඉසිපතන විද්‍යාලයෙන් ද මගේ ක්‍රිකට් ජීවිතයට ලැබුණ දේ බොහෝමයි. මම කළුතර විද්‍යාලයෙන් කොළඹට එන්නේ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන්න තිබුණ දැඩි අවශ්‍යතාව නිසා. මම හිතනවා මගේ ඒ ආශාව මට ආශීර්වාදයක් වුනා කියලා.”

එම දක්ෂතාත් සමඟින් අන්තර් පළාත් තරගාවලිය ද නියෝජන කරන පැතුම් වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් දකුණු අප්‍රිකානුවන් මෙරට කළ සංචාරයට ද, එංගලන්ත සහ දකුණු අප්‍රිකා සංචාරයට ද එක්විය. දකුණු අප්‍රිකාව සමඟ මෙරට පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දී පැතුම් ලකුණු 170ක් ලබා ගනිමින් දක්ෂතා දක්වන්නේය.
“විදෙස් කණ්ඩායමකට එරෙහිව මම වාර්තා කළ හොඳම ඉනිම වෙන්නේ එය. ඇත්තටම එය මගේ ගමනට ආශීර්වාදයක් වුනා. ඊට පසුව ලැබුණ සංචාර දෙක ද මම ඉතාම හොඳින් ලකුණු අතර සිටියා. නමුත් දීර්ඝ ඉනිමකට යන්න නොහැකි වුනා.” පැතුම් පවසන්නේ ය.

“මට සෑම තරගයක දී ම දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කරන්න ලැබෙනවා නම් මම ඒ දේ කරනවා. මොනම අවස්ථාවකදීවත් ගේම් එක ලූස් කරන්න මම කැමති නැහැ. දිගටම යන්න තමයි බලන්නේ.” පැතුම් පවසන්නේ ය.
සෑම තරගයක දී ම තමන් පිටියට පිවිසෙන්නේ එකී බලාපොරොත්තුව පොදි බැඳගෙන බැව් ය, පැතුම් පවසන්නේ. ඒ වෙනුවෙන් ඉතා වෙහෙසෙන බවත් එහි අවසානය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් වීම බවත් ය ඔහුගේ බලාපොරොත්තුව.
“පුංචි කාලෙ ඉඳලම මගේ එකම බලාපොරොත්තුව වුනේ හොඳ ක්‍රිකට් එකක් ගහල කවදා හරි දවසක ශ්‍රී ලංකා ටීම් එකට සෙල්ලම් කරනවයි කියන එක. එදා වගේම අදටත් ඒ බලාපොරොත්තුවේ වෙනසක් නැහැ. අද දවසේ මම වෙහෙසෙන්නේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට කර ගන්න.” පැතුම් පැවසුවේය.

උත්සාහය සහ කැපවීම ජයග්‍රහණයයි. පැතුම්ගේ අද දවසේ අදිටන වී ඇත්තේ එයයි. ThePapare.com ද ඔහුට සුබ පැතුම් එක් කරයි!
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<





















