ඕනෑම ක්‍රීඩාවක දී වගේම මලල ක්‍රීඩා කෙළිබිමත් වඩාත් කතා බහට ලක්වෙන්නේ එහි තරගකාරීත්වයක් ඇත්නම් පමණි. තමන්ගේම වාර්තාව නැවත නැවතත් අලුත් කරමින් වසරින් වසර තමන් සන්තකයේම තබා ගැනීමට යම් කෙනෙක්ට හැකියාවක් වෙත්නම් ඒක සුවිශේෂී දක්ෂතාවක් සේ සැලකිය හැකියි. එවැනි දක්ෂතාවකින් හෙබි යෞවනයෙකි, ශෙෂාන් දිලූෂ කාරියවසම්.
යොවුන් ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා තුරුම්පුව සංතුෂ්
ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩා කෙළිබිමේ ලියලා වැඩෙන අතු රිකිලි බොහෝ ය. කළ යුතුව ඇත්තේ…
මීටර් 110 කඩුලු පැන දිවීමේ ඉසව්වේ වයස අවුරුදු 18න් පහළ වයස් කාණ්ඩයේ ජාතික ශූරයා වන්නේ ශෙෂාන් ය. පසුගිය වසරේ පැවති සමස්ත ලංකා මලල ක්‍රීඩා තරගාවලියේ දී ඔහු නමින් මේ වාර්තාව ලියා ගැනීමට සමත් වෙද්දීත් මෙහි පැරණි වාර්තාව ද ඔහු නමින්ම ලියැවී තිබුණි. ඒ බහමාස් හී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී එම ඉසව්ව තත්පර 13.93කින් අවසන් කරමිනි. අනතුරුව ශ්‍රී ලංකාවේ දී ඔහු එම වාර්තාව 13.91ක් සේ අලුත් කරන්නේ ය. අද එහි හිමිකරුවා ඔහු ය.
“මාස කිහිපයක් ඇතුළත මගේම වාර්තාව නැවත වතාවක් අලුත් කිරීමට ලැබීම ගැන ඇත්තේ පුදුමාකාර සතුටක්. ඇත්තටම මේ ජයග්‍රහණය මේ වෙනුවෙන් කරනු ලබන කැප කිරීමට ලැබුණ දෙයක්. ඒ වගේම මේ වාර්තා සෑමදාම එකම තැන තියෙන්නේ නැහැ. ඒත් මා එම වයස් කාණ්ඩයේ පළමු වැනියා වූ පසු මට මේ වයස පහු වෙන තුරුම මේ වාර්තාවේ හිමිකාරිත්වය තබා ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තිබෙනවා.“ ශෙෂාන් දිලූෂ ThePapare.com සමඟ කතා බහට එක්වෙමින් පැවැසුවේ ය.
ශෙෂාන් දිලූෂ කාරියවසම් මලල ක්‍රීඩා කෙළිබිමට පිවිසෙන්නේ කොළඹ මරදානේ අසෝක විද්‍යාලයෙනි. ඒ 2013 වසරේ දී ය. එතෙක් ශෙෂාන්ගේ සිහිනයේ සිට ඇත්තේ රග්බි ක්‍රීඩකයෙකි. එසේත් නැතිනම් පැසිපන්දු ක්‍රීඩකයෙකි. මේ ක්‍රීඩා දෙකටම එකසේ ඇළුම් කළ ශෙෂාන්, ක්‍රීඩා දෙකෙන්ම විද්‍යාලයීය කණ්ඩායම් නියෝජනය කළේය. එහෙත් හිටි හැටියේම ශෙෂාන් මේ ක්‍රීඩා දෙකටම සමු දෙන්නේ ය.

ශෙෂාන් මලල කෙළිබිමට පැමිණ වසරක් ගත වෙද්දී සමස්ත ලංකා තරගාවලියක පළමු පදක්කම ලබා ගැනීමට සමත් වන්නේ ය. ඒ 2014 වසරේ පැවති සමස්ත ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී වයස අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩයේ මීටර් 80 කඩුලු පැන දිවීමේ ඉසව්වෙන් තුන් වැනි ස්ථානයට හිමි ලෝකඩ පදක්කම දිනා ගනිමිනි. මෙම පදක්කම ශෙෂාන්ගේ මලල කෙළිබිම කෙරෙහි වූ නැඹුරුව තව තවත් සුපෝෂණය කරන්නේ ය.
ශේෂාන්ගෙන් නව ජාතික පාසල් වාර්තාවක්
33 වෙනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග තෙවන දිනටත් ඊයේ (12) දියගම…
නිතර දෙවේලේ ක්‍රීඩා පිටියේ සැරිසැරුවත් ශෙෂාන් අධ්‍යාපනයට ද මුල් තැන දී කටයුතු කළේ ය. ඒ අනුව අසෝක විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ සමත් වෙන ශෙෂාන් උසස් අධ්‍යාපනය හැදෑරීමට කොළඹ, මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට පිවිසෙන්නේ ය. අද ඔහු සාන්ත ජෝසප් විද්‍යාලයේ උසස් පෙළ වානිජ්‍ය අංශයේ ඉගෙනුම ලබන්නේ ය.
අසෝක විද්‍යාලයේ සිටිය දී ට වඩා සාන්ත ජෝසප් විද්‍යාලයේ දී ශෙෂාන්ගේ මලල ක්‍රීඩා දිවිය වඩාත් දීප්තිමත් වන්නේ ය. ඒ විද්‍යාලයෙන් මලල ක්‍රීඩාවට ලැබෙන පහසුකම් හේතුවෙනි. කෙසේ වෙතත් පාසල් මාරු වූව ද ශෙෂාන්ගේ පුහුණුකරු අමිල ප්‍රසන්න මාරු වෙන්නේ නැත. අදටත් ඔහුගේ පුහුණුකරු වන්නේ අමිල ය.

ශෙෂාන්ට මේ ගෙවී යන වසර ඉතා කාර්ය බහුල වසරක් වී තිබේ. ඉදිරියේ දී පැවැත්වෙන ජාත්‍යන්තර තරග ත්‍රිත්වයක් සඳහාම ඔහු සංචිත ගත ව ඇති බැවිනි. ඒ අනුව ඔහු ලබන වසරේ දී ආසියානු යොවුන් ශූරතා තරගාවලිය, සාෆ් තරගාවලිය සහ සාෆ් යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගී වීමට නියමිත ය.
“මේ දවස්වල ඉතා වෙහෙසකර කාල සටහනකට අනුව පුහුණුවීම් කරනවා. මේ සියල්ලම අමිල සර් අතින් තමයි සිදු වෙන්නේ. ඇත්තටම මට ලැබූ සෑම ජයග්‍රහණයකම සැබෑ හිමිකරුවා වෙන්නේ අමිල සර්. එළඹෙන වසරේ දී මට තවත් තත්පර දෙක තුනකින් මගේ දක්ෂතා දියුණු කර ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසයෙන් පුහුණුවීම් කටයුතු කරනවා. සමහර විට එම තරගවල තිබෙන තරගකාරීත්වය අනුව අපිට ඊට වඩා හොඳ තරග කාලයක් වාර්තා කරන්න පුළුවන් වෙයි.“ ඒ රටක් දිනවීමට බලාපොරොත්තුවෙන් සිටින ශෙෂාන්ගේ අහිංසක බලාපොරොත්තුවකි.

ඒ කෙසේ වෙතත් නිමා වූ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී තත්පර තුනකින් ලෝකඩ පදක්කම අහිමි වීම නම් ඔහුගේ හිත තුළ තවමත් හොල්මන් කරයි.
“මේ අවුරුද්දේ මුල පැවති ආසියානු යොවුන් ශූරතා තරගාවලියේ දී මට හිමි වුනේ 5 වැනි ස්ථානය. මට ඉස්සරහින් සිටි 4 දෙනාම මට වඩා වැඩිමල් අය. ඒත් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගයේ දී මම ඔවුන් සමඟ හරි හරියට තරගයක් දුන්නා. තත්පර තුනකටත් වඩා අඩු කාලයකින් ලෝකඩ පදක්කම අහිමි වීම විශාල දුකක් වුනා. ඒත් මට විශ්වාසයි මෙවර තරගවල දී මට රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කරන්න පුළුවන් කියලා.“

ඔවුන්ගේ සහයෝගය නොවන්නට ඔහුට මේ ගමන මේ ආකාරයෙන් පැමිණිය නොහැකි වනු ඇතැයි ශෙෂාන් විශ්වාස කරයි. එමෙන්ම ඔහු මෙතෙක් ආ ගමනේ දී ඔහුට සහයෝගය දැක්වූ පුහුණුකරු අමිල ප්‍රසන්න මහතා, සාන්ත ජෝසප් විද්‍යාලයීය විදුහල්පති ඇතුළු සියලුම දෙනා සේ ම තමන්ට මලල ක්‍රීඩාවට පිවිසීමට දොර විවර කළ අසෝක විද්‍යාලයේ විදුහල්පති ඇතුළු සියලු දෙනාමත්, නෑදෑ හිත මිතුරනුත් ඔහු ඉතාම ගෞරවයෙන් යුතුව සිහිපත් කරනුයේ තමන්ගේ ජයග්‍රහණයේ දීත් පරාජයේ දීත් කිසිදු වෙනසක් නොදක්වා ඔවුන් තමන් සමග රැඳී සිටිය බැවිනි.
හෙට දිනයේ දී ලොවක් දිනා මව්බිමේ ගෞරවනීය පුතකු වීමට පෙරුම් පුරන ශෙෂාන්ට ThePapare.com වෙතින් ද සුබ පැතුම් එක් කරමු.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<





















