ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරග 3කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ (3) සමත් වෙනවා.
දෙරට අතර පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වන වන අතර අනෙක් තරග ද්විත්යේ ම ජයග්‍රහණ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සතු වෙනවා.
වසර 16ක දෙරට විස්සයි විස්ස තරග ඉතිහාසයේ මීට පෙර අවස්ථා 5ක දී දෙරට ක්‍රීඩිකාවෝ එකිනෙකා හමුවී ඇති අතර ඒ සෑම අවස්ථාවක් ම ජයග්‍රහණය කළේ බටහිර ඉන්දීය කොදෙව්වනුයි. ලත් මෙම ජයග්‍රහණයත් සමඟින් දෙරට ඉතිහාසයට නවතම පරිච්ඡේදයක් එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
මෙම තරග සංචාරයේ දී මීට පෙර පැවැති එක්දින තරගාවලිය ද 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
>>කොදෙව් කාන්තා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට<<
St George’s හී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී සත්කාරක ක්‍රීඩිකාවන්ට පුද කරනවා.
ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 119ක් ලබා ගන්නා ලද අතර පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ප්‍රතිවාදී ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී සපුරා ගන්නවා.
ජයග්‍රාහී එම ඉනිමට ආරම්භක පිතිකාරිනී හසිනි පෙරේරා අර්ධ ශතකයක් එක් කිරීමට සමත් වෙනවා. ශ්‍රී ලංකා ඉනිමේ තවත් පන්දු 14ක් ද ඉතිරි ව තිබිය දී තරගය ජයග්‍රහණය කරා රැගෙන යද්දී ඇය පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා සිටියා.
එය ඇයගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 92ක 2 වැනි අර්ධ ශතකය ද වන අතර ඒ සමඟින් ඇය විස්සයි විස්ස ජාත්‍යන්තර ලකුණු 1000 කඩඉම සපුරා ගැනීමට ද සමත් වෙනවා.
චමරි අතපත්තු හා එක් ව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන ඇය පළමු කඩුල්ලට පන්දු 42ක දී ලකුණු 49ක් ද එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ චමරි අතපත්තුගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 34ක් ලබා සිටියා.
ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට එක් වූ ඉමේෂා දුලානි හා එක් වූ හසිනි පෙරේරා තරගය ජයග්‍රහණය කරන විට 2 වැනි කඩුල්ලට පන්දු 64ක දී ලකුණු 72ක සබඳතාවක් ද එක් කරනවා.
ඉමේෂා දුලානි පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 34ක් ලබා ගනිමින් ඊට දායකත්වය දැක් වූවා.
ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය Afy Fletcher සතු වුණා.
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 1-0කින් T20 ඉදිරියට
- කොදෙව් කාන්තාවෝ ලකුණු 49කට දැවී යයි
- ශ්‍රී ලංකා යෞවනීයෝ නැගී එන තරගාවලිය අවසන් කරයි
- ශ්‍රී ලංකාවට එරෙහි Matthews ගේ කොදෙව් බල ඇණිය
- ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙක් 2026 PSL තරගාවලියට
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 28ක් වෙද්දී නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. ඒ වෙද්දී ඉනිමේ පන්දු 25ක් පමණක් වැය ව තිබූ අතර නායිකා Hayley Matthews (8), විස්සයි විස්සයි ජාත්‍යන්තර වරම් හිමිකර ගත් Eboni Brathwaite (8) සහ Shawnisha Hector (5) අඩු ලකුණුවලට සීමා වී තිබුණා.
ඉන් අනතුරු ව කඩුල්ලේ දී Deandra Dottin සහ Stafanie Taylor එක් ව පන්දු 70ක දී ලකුණු 48ක් එක් කර ගැනීමට සමත් වෙනවා. ඔවුන් දෙදෙනා අතුරින් Deandra Dottin ගේ දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳ වැටෙනවා. ඒ වෙද්දී ඇය පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටියා.
ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණු සිව් වැනි පන්දුවේ දී Stafanie Taylor ගේ ඉනිම ද නිමා වෙන අතර ඒ වෙද්දී ඇය පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා.
බටහිර ඉන්දීය කොදෙව් ඉනිම අවසන් වන විට Chinelle Henry පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ලබා සිටියා. ඇය Jahzara Claxton (නොදැවී 8) සමඟ එක් වෙමින් 6 වැනි කඩුල්ලට පන්දු 20ක දී නොදැවුණ ලකුණු 41ක සබඳතාවක් ද එක් කරනවා.
කඩුලු දවා ගැනීමේ දී ඉනෝකා රණවීර සහ සුගන්දිකා කුමාරි කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නා ලද අතර ඊට අමතර ව කවීෂා දිල්හාරි කඩුල්ලක් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 119 (20.0) Stafanie Taylor 24, Deandra Dottin 28, Chinelle Henry නොදැවී 32, සුගන්දිකා කුමාරි 2/32, ඉනෝකා රණවීර 2/16
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුල්ලක් දැවී 121 (17.4) හසිනි පෙරේරා නොදැවී 52, චමරි අතපත්තු 32, ඉමේෂා දුලානි නොදැවී 34
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
- තරගයේ වීරයා – හසිනි පෙරේරා (ශ්‍රී ලංකාව)
- තරගාවලියේ වීරයා – චමරි අතපත්තු (ශ්‍රී ලංකාව)
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















