කොදෙව් කාන්තා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

Sri Lanka Women tour of West Indies 2026

2
Sri Lanka Women tour of West Indies 2026

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

දෙරට අතර පැවැති තරගාවලියේ පළමු තරග ද්විත්වය ජයග්‍රහණය කරමින් තරගාවලිය 2-0ක් ලෙසින් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ (25) පැවැති අවසන් තරගයට අභිමානයෙන් යුතුව සහභාගී වූව ද එම තරගයෙන් ඔවුන්ට කඩුලු 6ක පරාජයකට මුහුණ දීමට සිදු වෙනවා.

>>Matthews ගේ 100 වැනි තරගයේ ජය ශ්‍රී ලංකාවට<<

St George’s හී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගන්නවා.

ඒ අනු ව සුපුරුදු ලෙසින් ම හසිනි පෙරේරා සහ චමරි අතපත්තු ඉනිම ආරම්භ කළ ද චමරි අතපත්තු සිව් වැනි පන්දුවේ දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු ව දැවී යනවා. ඒ වෙද්දී ඇය එකඳු ලකුණක් හෝ ලබා සිටියේ නෑ.

අනතුරු ව පිටියට එක් වූයේ තම 50 වැනි එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගී වූ හර්ෂිතා සමරවික්‍රමයි. ඇය හසිනි පෙරේරා හා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 43ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ හසිනි පෙරේරා ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටියා.

ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට එක් වෙන්නේ පෙර තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගත් විශ්මි ගුණරත්න. ඇයට මෙම තරගයේ දී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 26ක් පමණයි. පන්දු 46කින් එක් වූ එම ඉනිමේ සීමා ලකුණු අතරට එක් වූයේ එක් හතරේ පහරක් පමණක් වීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් හර්ෂිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්න එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 78ක සබඳතාවක් එක් කරනවා.

ඉනිමේ සිව් වැනි කඩුල්ල ලෙසින් හර්ෂිතා සමරවික්‍රම දැවී යන විට පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 70ක් ලබා සිටි අතර එය ඇයගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 7 වැනි අර්ධ ශතකයයි.

මෙම තරගාවලියේ දී ඉනිම 3ක දී අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 171ක් ලබා ගත් හර්ෂිතා සමරවික්‍රම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ද නම් කෙරුණා.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී මැද පෙළින් පිටියට පිවිසි කවීෂා දිල්හාරි පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 45ක් ලබා සිටි අතර ශ්‍රී ලංකා ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 217ක් ලෙසින් කියැවුණා.

කඩුලු දවා ගැනීමේ දී Hayley Matthews සහ Karishma Ramharack කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව Afy Fletcher සහ Ashmini Munisar කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 12ක් වෙද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූව ද 3 වැනි කඩුල්ලේ දී පන්දු 148ක දී ලකුණු 124ක් එක් කිරිමට Hayley Matthews සහ Stafanie Taylor සමත් වෙනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Stafanie Taylor ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා සිටියා. අනතුරු ව ඉනිමේ සිව් වැනි කඩුල්ල ලෙසින් නායිකා Hayley Matthews ද දැවී යනවා.

ඇය දැවී යන විට පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 100ක් ලබා ගත්තා. තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට ද හේතු වූ ඇයගේ එම ශතක ඉනිම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 10 වැනි ශතකයයි.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ ඉනිමේ තවත් පන්දු 24ක් ඉතිරි ව තිබිය දී කඩුලු 4ක් පමණක් දැවී ලකුණ 218ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණයෙන් අවසන් කරද්දී Chinelle Henry පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවි ලකුණු 32ක් ද සහ Deandra Dottin පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද ලබා සිටියා.

ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 58ක දී නොදැවී එක් කරන ලද ලකුණු සංඛ්‍යාව 49ක්.

කඩුලු දවා ගැනීමේ දී මල්කි මදාරා ලකුණු 33කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව චමරි අතපත්තු සහ ඉනෝකා රණවීර කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 217 (50.0) හසිනි පෙරේරා 27, හර්ෂිතා සමරවික්‍රම 70, විශ්මි ගුණරත්න 26, කවිෂා දිල්හාරි නොදැවී 45, Hayley Matthews 2/33, Karishma Ramharack 2/39

 

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 218 (46.0) Hayley Matthews 100, Stafanie Taylor 38, Chinelle Henry නොදැවී 32, Deandra Dottin නොදැවී 24, මල්කි මදාරා 2/33

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Hayley Matthews (බටහිර ඉන්දීය කොදෙව්)

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – හර්ෂිතා සමරවික්‍රම (ශ්‍රී ලංකාව)

මෙම තරග සංචාරයට ඇතුලත් තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය මේ මස 28 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<