කොදෙව් කාන්තාවෝ ලකුණු 49කට දැවී යයි

Sri Lanka Women tour of West Indies 2026

3
Sri Lanka Women tour of West Indies 2026

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගය වර්ෂාව විසින් බිලි ගත්තා.

St George’s හී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (28දා) පැවැති මෙම තරගය පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ආරම්භ වෙන්නේ පන්දුවාර 18ක තරගයක් ලෙසයි.

තරගයේ කාසියේ වාසිය උරගා බැලීම සඳහා පිටියට පිවිසි දෙරට නායිකාවන් අතුරින් කාසියේ වාසිය ලබා ගත් බටහිර ඉන්දීය කොදෙව් නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම වෙත ලබා ගන්නවා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 49ක් පමණයි. එය බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් හමුවේ දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාවයි.

ඊට පෙර දෙරට ඉතිහාසයේ මෙම වාර්තාව වූයේ 2012 වසරේ දී Port of Spain හි දී පන්දුවාර 20ක දී කඩුලු 9ක් දැවී ලබා සිටි ලකුණු 80යි.

එමෙන් ම කොදෙව් කාන්තාවන්ගේ මෙම ඉනිම ඔවුන්ගේ විස්සයි විස්ස තරග ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩු ම ලකුණු ලැයිස්තුවේ 2 වැනි ස්ථානයට පත් ඉනිම බවට ද පත් වුනා. එම ලැයිස්තුවේ 1 වැනි ස්ථානයේ රැඳී තිබෙන්නේ 2022 වසරේ දී එංගලන්ත ක්‍රීඩිකාවන් හමුවේ Bridgetown හි දී සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 43යි.

බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ අවාසනාවන්ත මෙම ඉනිමේ දී කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා පැමිණීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ ඉඩ ලබා දුන්නේ නැහැ. එහි දී කවීෂා දිල්හාරි ලකුණු 5කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව සුගන්දිකා කුමාරි, මල්කි මදාරා සහ ඉනෝකා රණවීර කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.

සංචාරක ක්‍රීඩිකාවෝ එලෙසින් දක්ෂතා දක්වද්දී සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ වැඩිම ලකුණුලාභිනියන් වූයේ Qiana Joseph, Shemaine Campbelle සහ Aaliyah Alleyne. ඔවුන් තිදෙනා ම ලකුණු 7ක් බැගින් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන්ගේ ඉනිම පැවැතියේ පන්දු 17ක් පමණයි. වර්ෂාව හේතුවෙන් එම අවස්ථාවේ දී තරගය තාවකාලිකව නතර කරන ලද අතර නැවැත තරගය ආරම්භ කිරීමට අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. එම අවස්ථාවේ දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක් වූණේ කිසිවෙක් නොදැවී ලකුණ 7ක් ලෙසයි.

ඒ වෙද්දී නායිකා චමරි අතපත්තු පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහරක් ද සමඟින් නොදැවී ලකුණු 5ක් ද සහ හසිනි පෙරේරා පන්දු 7කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 2ක් ද ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 49 (13.3) මල්කා මදාරා 2/09, සුගන්දිකා කුමාරි 2/08, ඉනෝකා රණවීර 2/16, කවීෂා දිල්හාරි 3/05
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කිසිවෙක් නොදැවී 7 (2.5) චමරි අතපත්තු නොදැවී 5, හසිනි පෙරේරා නොදැවී 2

තරගයේ විසඳුමක් නෑ.

තරගාවලියේ 2 වැනි විස්සයි විස්ස තරගය අද (01) මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<