2009 වසරේ දී පළමු වරට ඇරඹි ඉන්දු – ශ්‍රී ලංකා කාන්තා විස්සයි විස්ස තරග ඉතිහාසයේ මේ දක්වා නිමා වූ තරග සංඛ්‍යාව 26ක්. ඉන් තරග 20ක ජයග්‍රහණ ඉන්දියාව සතු වෙන අතර තරග 5ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව සතු වෙනවා. අනෙක් තරගය නිමා ව ඇත්තේ විසඳුමකින් තොරවයි.
වසර 5ක් තුළ ලෝක කුසලාන තරගාවලි ත්‍රිත්වයක දී එකිනෙකා හමුවෙන දෙරට ක්‍රීඩිකාවෝ පළමු වරට ද්විත්ව තරගාවලියකට එක් වෙන්නේ 2014 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ඉන්දීය තරග සංචාරයේදීයි. තරග 3කින් යුත් එම තරගාවලියේ පළමු තරග ද්විත්වය පරාජය වෙන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.
එය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉන්දීය කණ්ඩායමක් පරාජය කළ පළමු අවස්ථාවයි. එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ශෂිකලා සිරිවර්ධන සතු වූ අතර ඉන්දීය කණ්ඩායම මෙහෙයවූවේ වත්මන් නායිකාව වන Harmanpreet Kaur.
අනතුරු ව දෙරට ක්‍රීඩිකාවෝ නැවත ද්විත්ව තරගාවලියක් සඳහා එක් වෙන්නේ 2016 වසරේ දී වන අතර ඊට ද සත්කාරකත්වය දක්වන්නේ ඉන්දියාවයි. තරග 3කින් යුත් එම තරගාවලියෙන් ශ්‍රී ලංකාවට 3-0ක දරුණු පරාජයකට මුහුණ දීමට සිදු වෙනවා. එවර ද ශ්‍රී ලංකා කණ්ඩායම ශෂිකලා සිරිවර්ධන විසින් මෙහෙය වූ අතර ඉන්දීය කණ්ඩායම මෙහෙයවූයේ Mithali Raj විසින්.
ඉන් අනතුරු ව 2018 වසරේ දී ප්‍රථම වරට ඉන්දීය කණ්ඩායමක් මෙරට පිවිසෙනවා. ඒ තරග 5කින් යුත් දීර්ඝ තරග සංචාරයක් සඳහායි. එම තරගාවලියේ දී ශ්‍රී ලංකා නායකත්වයේ කිරුළ චමරි අතපත්තු සතු වෙන අතර ඉන්දීය නායිකාව ලෙස කටයුතු කරන්නේ Harmanpreet Kaur.
එම තරගාවලියේ 2 වැනි තරගය වර්ෂාව හේතුවෙන් අතරමඟ අතහැර දමන ලද අතර සෙසු තරගවල ජයග්‍රහණය ඉන්දීය ක්‍රීඩිකාවන් සතු වුණා. ඒ අනුව තරගාවලිය අවසන් වෙන්නේ 4-0ක තරග ප්‍රතිඵලයක් සටහන් වෙමින්.
දෙරට ක්‍රීඩිකාවෝ අවසන් වරට ද්විත්ව තරගාවලියකට එක් වෙන්නේ 2022 වසරේදීයි. චමරි අතපත්තු සහ Harmanpreet Kaur විසින් මෙහෙයවූ මෙම තරගාවලියේ පැවැති තරග ත්‍රිත්වයෙන් තරග 2-1ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වෙනවා.
ඒ අනුව ඉන්දු – ශ්‍රී ලංකා කාන්තා විස්සයි විස්ස තරගාවලි ඉතිහාසය මෙතෙක් නිමා වී ඇත්තේ ඉන්දියාවට 4-0ක ජයග්‍රහණයක් හිමි වෙමින්.
මෙම අභිමානවත් ජයග්‍රහණ ඉතිහාසය ද තුරුල් කරගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ මෙවර තරගාවලිය හා එක් වෙන්නේ පසුගිය ජුනි මාසයේ දී එංගලන්තයේ කළ සාර්ථක තරග සංචාරයකට එක් වීමෙන් අනතුරුවයි. ඔවුන් එම සංචාරයේ දී තරග 3කින් සමන්විත වූ එක්දින තරගාවලිය 2-1ක් ලෙසින් ද තරග 5කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලිය තරග 3-2ක් ලෙසින් ද ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.
ඔවුන්ගේ ඉතිහාසය එසේ වූවත් අපේ ක්‍රීඩිකාවෝ එළැඹෙන මෙම තරගාවලිය සඳහා එක් වෙන්නේ පසුගිය වසරේ ඔක්තෝබරයේ දී පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුවයි.
දෙරට තරග ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Harmanpreet Kaur මේ දක්වා තරග 17කට නායකත්වය දී ඇති අතර ඉන් තරග 13ක් ජයග්‍රහණය කරන ලද අතර තරග 3ක් පරාජය වී තරගයක් නොවිසඳුණ තරගයක් ලෙසින් අවසන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු මෙතෙක් නායකත්වය දී ඇති තරග සංඛ්‍යාව 14ක්. ඉන් ඇයට ජයග්‍රහණය කිරීමට හැකි වෙන්නේ තරග 2ක් පමණක් වන තරග 11ක් පරාජය වී ඇති අතර අනෙක් තරගය නිමා වී ඇත්තේ විසඳුමකින් තොරවයි.
>>ඉන්දියාවට යන ශ්‍රී ලංකා කාන්තා T20 සංචිතය ප්‍රකාශයට පත් කරයි<<
තරග කාලසටහන
- 1 වැනි විස්සයි විස්ස තරගය – දෙසැම්බර් 21 වැනිදා (රාත්‍රී) Visakhapatnam හි දී.
- 2 වැනි විස්සයි විස්ස තරගය – දෙසැම්බර් 23 වැනිදා (රාත්‍රී) Visakhapatnam හි දී.
- 3 වැනි විස්සයි විස්ස තරගය – දෙසැම්බර් 26 වැනිදා (රාත්‍රී) Thiruvananthapuram හි දී.
- 4 වැනි විස්සයි විස්ස තරගය – දෙසැම්බර් 28 වැනිදා (රාත්‍රී) Thiruvananthapuram හි දී.
- 5 වැනි විස්සයි විස්ස තරගය – දෙසැම්බර් 30 වැනිදා (රාත්‍රී) Thiruvananthapuram හි දී.
ශ්‍රී ලංකාව හා සමඟ තරගයට එක් වෙන ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සුපුරුදු ලෙසින් ම හිමි ව ඇත්තේ Harmanpreet Kaur වෙතයි. ඇයගේ සහායිකාව වී ඇත්තේ Smriti Mandhana. ඔවුන් දෙදෙනා ම ලෝක කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරු ලැයිස්තුවේ ඉහළින් ම ශ්‍රේණිගතව ඇති ක්‍රීඩිකාවන්.
Harmanpreet Kaur මේ වෙද්දී විස්සයි විස්ස තරග 182කට ක්‍රීඩා කරමින් ශතකයක් සහ අර්ධ ශතක 14ක් සමඟින් ලකුණු 3654ක් ලබා සිටිනවා. එය ලෝක විස්සයි විස්ස තරග ඉතිහාසයේ පිතිකාරිනියන් ලබා ඇති ඉහළ ම ලකුණු අතර 3 වැනි අසුනට හිමිකම් දක්ෂතාවයි. ඉන් ලකුණු 2724ක් ම ලබා ඇත්තේ නායකත්වයේ කටයුතු කරමින් වන අතර එම තරග සංඛ්‍යාව 127ක්. පන්දු යවන්නියක් ලෙසින් දක්ෂතා දක්වන ඇය මේ දක්වා ලබා ඇති කඩුලු සංඛ්‍යාව 32ක්.
ලෝක විස්සයි විස්ස තරග ඉතිහාසයේ ක්‍රීඩිකාවක විසින් රැස් කරන ලද වැඩිම ලකුණු අතර 2 වැනි ස්ථානයට පත් ව සිටින Smriti Mandhana මෙම තරගාවලිය හා එක් වෙන්නේ තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ ලකුණු 4000 කඩඉමට පිවිසීමට තවත් ලකුණු 18ක් පිටුපසින් සිටිමිනුයි. ඇය ගේ ලකුණු අතර ශතකයක් සහ අර්ධ ශතක 31ක් ද අන්තර්ගතයි.
ඉන්දීය කණ්ඩායමේ අසුන් හිමි වූ අනෙක් ක්‍රීඩිකාවන් අතර පිතිකාරිනියන් ලෙසින් වර්ගීකරණයට ලක් ව ඇති Jemimah Rodrigues, Shafali Verma සහ Richa Ghosh ද තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Deepti Sharma ද පන්දු යවන්නියන් අතුරින් Sneh Rana සහ Renuka Singh ගෙන් ද සමන්විතයි.
මේ අතර කණ්ඩායමට එක් වෙන ක්‍රීඩිකාවන් අතර පසුගිය වසරේ නිමා වූ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ දී පිතිකාරිනියක් ලෙසින් දක්ෂතා දැක් වූ 17 වැනි වියේ පසුවෙන G Kamalini ද එක් කර තිබෙනවා. ඇය අතිරේක කඩුලු රකින්නියක් ලෙසින් ද මෙම තරගාවලියට නම් කර තිබෙනවා.
ඇයට අමතර ව 20 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන Vaishnavi Sharma ද පළමු වරට මෙම කණ්ඩායමේ අසුනක් වෙන්කර ගෙන තිබෙනවා. ඇය පසුගිය වසරේ නිමා වූ වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දී කඩුලු 17ක් දවා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලුලාභිනිය ලෙසින් ද අභිශේක ලැබුවා.
ඉන්දීය විස්සයි විස්ස කාන්තා කණ්ඩායම
Harmanpreet Kaur (නායක), Smriti Mandhana (උප නායක), Deepti Sharma, Sneh Rana, Jemimah Rodrigues, Shafali Verma, Harleen Deol, Amanjot Kaur, Arundhati Reddy, Kranti Gaud, Renuka Singh Thakur, Richa Ghosh (කඩුලු රකින්නිය), G Kamalini (කඩුලු රකින්නිය), N Sree Charani, Vaishnavi Sharma.
- ලෝක කුසලාන මූලික සංචිතයට 25ක්; නායකත්වය දසුන්ට
- T20 ලෝක කුසලානය ඉලක්ක කර ශ්‍රී ලංකාවට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්!
- ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නැවතත් ක්රිකට් තේරීම් කමිටුවේ මුල් පුටුවට!
- මතීෂ ඉහළටම; ශ්‍රී ලංකාවෙන් 7ක් IPL යෑමට සූදානම්!
ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි විස්ස කාන්තා තරග ඉතිහාසයේ සුවිශේෂී කඩඉම්
172/3 (20.0) : දෙරට කණ්ඩායම් අතුරින් වැඩිම ලකුණු වාර්තා කරන ලද කණ්ඩායම බවට පත් ව ඇත්තේ ශ්‍රී ලංකාවයි. ඔවුන් නිමා වූ වසරේ දී Dubai හි දී මෙම දක්ෂතාව සිදු කරනවා.
ශ්‍රී ලංකාවට එරෙහි ව ඉන්දියාව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වෙන්නේ 2018 වසරේ දී කටුනායක දී කඩුලු 8ක් දැවී ලබා ගත් ලකුණු 168යි.
65/9 (20.0) : පන්දුවාර 20ක් තුළ ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඒ 2022 Sylhet හි දී.
මේ කඩඉමේ ඉන්දීය කණ්ඩායම ලබා ඇති අඩු ම ලකුණු සංඛ්‍යාව වෙන්නේ 2014 වසරේ දී Sylhet හි දී කඩුලු 9කට ලබා ගත් ලකුණු 106යි.
82 runs : කණ්ඩායම් ද්විත්වය අතර වාර්තා වී ඇති වැඩිම ලකුණු පරතරයකින් යුත් ජයග්‍රාහී කණ්ඩායම වන්නේ ඉන්දියාවයි. ඒ 2024 වසරේ දී Dubai හි දී ලත් ජයග්‍රහණයයි.
මේ කඩඉමේ ශ්‍රී ලංකාව ලත් ඉහළ ම ජයග්‍රහණය වෙන්නේ 2014 වසරේ දී Sylhet හි දී ලත් ලකුණු 22ක ජයග්‍රහණයයි.
574 : දෙරට ක්‍රීඩිකාවන් අතර වැඩිම ලකුණුලාභී පිතිකාරිනිය වෙන්නේ චමරි අතපත්තු. ඇය මෙම ලකුණු සංඛ්‍යාව ලබා ගන්නේ තරග 25ක ඉනිම් 25කට එක් වෙමින්.
ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනිය බවත් පත් ව ඇත්තේ Jemimah Rodrigues. ඇය තරග 14ක ඉනිම් 13ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 443ක් ලබා සිටිනවා.
80* : දෙරට තරග අතර ඉනිමක වැඩිම ලකුණුලාභී පිතිකාරිනිය බවට පත් ව ඇත්තේ චමරි අතපත්තු. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ 2022 වසරේ දී දඹුල්ලේ දී පැවැති තරගයකදීයි. මේ වෙනුවෙන් ඇය පන්දු 48කට මුහුණ දුන් අතර හතරේ පහර 14ක් සහ හයේ පහරක් ඊට ඇතුලත් වුණා.
මෙම වාර්තාවේ ඉන්දීය ක්‍රීඩිකාවන් අතුරින් ඉහළින් ම ඉන්නේ Jemimah Rodrigues. ඇය 2022 වසරේ දී Sylhet හි දී මෙම දක්ෂතාව සිදු කරන්නේ පන්දු 53ක දී හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 76ක් ලබා ගනිමින්.
50s + : දෙරට ක්‍රීඩිකාවන් අතුරින් වැඩිම අර්ධ ශතක ප්‍රමාණයක් වාර්තා කළ පිතිකාරිනිය වන්නේ ඉන්දියාවේ Mithali Raj. අර්ධ ශතක ත්‍රිත්වයක් ඇයගේ ලකුණු ගිණුමේ තැන්පත්.
ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු අර්ධ ශතක 2ක් වාර්තා කරමින් මෙම ලැයිස්තුවේ ඉහළින් ම සිටිනවා.
6s : දෙරට ක්‍රීඩිකාවන් අතුරින් වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩිකාව බවට පත් ව ඇත්තේ Harmanpreet Kaur. ඇය තරග 24ක ඉනිම් 19ක දී හයේ පහර 12ක් වාර්තා කරමින් මෙම වාර්තාවේ රැඳී සිටිනවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම දක්ෂතාවේ රැඳී ඇත්තේ චමරි අතපත්තු. ඇය ලබා සිටින හයේ පහර සංඛ්‍යාව 10ක්.
4s : දෙරට ක්‍රීඩිකාවන් අතුරින් වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩිකාව වන්නේ ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු. ඇය හතරේ පහර 80ක් වාර්තා කරමින් මෙම ලැයිස්තුවේ පළමු වැනියා වී සිටිනවා.
මෙම ලැයිස්තුවේ ඉන්දියාවෙන් ඉදිරියෙන් ම සිටින්නේ Jemimah Rodrigues. ඇය ලබා ඇති හතරේ පහර සංඛ්‍යාව 48ක්.
19 : දෙරට ක්‍රීඩිකාවන් අතුරින් වැඩිම කඩුලු ලබා ඇති පන්දු යවන්නිය වී ඇත්තේ ඉන්දියාවේ වමතින් දඟ පන්දු යවන Ekta Bisht. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ තරග 8ක ඉනිම් 8ක දී පන්දුවාර 32.0ක් පමණක් යවමින්.
මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරියෙන් ම සිටින්නේ වමතින් මඳ වේග පන්දු යවන උදේශික ප්‍රබෝධනී. ඇය ලබා ඇති කඩුලු සංඛ්‍යාව 18ක්.
4/12 (4.0) : දෙරට ක්‍රීඩිකාවන් අතුරින් තරගයක දී වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම ඉන්දියාවේ දකුණතින් පිට දඟ පන්දු යැවූ Diana David සතු වෙනවා. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ 2010 වසරේ දී Basseterre හි දී.
මෙහි ශ්‍රී ලංකා වාර්තාව වන්නේ වමතින් දඟ පන්දු යවන ඉනෝකා රණවීර විසින් 2016 වසරේ දී Ranchi හි දී ලකුණු 10කට දවා ගත් කඩුලු 3යි.
13 : දෙරට ක්‍රීඩිකාවන් අතුරින් වැඩිම දවා ගැනීම් ප්‍රමාණයකට දායක වූ ක්‍රීඩිකාව වෙන්නේ ශ්‍රී ලංකාවේ අනුශ්කා සංජීවනී. ඇය උඩ පන්දු 5ක් සහ කඩුල්ල බිඳ දැමීම් 8ක් සමඟින් මේ දක්ෂතාව සිදු කරනවා.
මෙම ලැයිස්තුවේ ඉන්දීය දක්ෂතාව වෙන්නේ Taniya Bhatia රැකගත් උඩ පන්දු 4 සහ කඩුලු බිඳ දැමීම් 7ත් සමඟින් වූ කඩුලු දවා ගැනීම් 11යි.
98 : දෙරට ක්‍රීඩිකාවන් අතුරින් වාර්තා වී ඇති ඕනෑම කඩුල්ලක් සඳහා වන වාර්තාව වෙන්නේ ඉන්දියාවේ Shafali Verma සහ Smriti Mandhana දෙදෙනා එක් ව 2024 වසරේ දී Dubai හි දී 1 වැනි කඩුල්ලට එක් කළ මෙම ලකුණු සංඛ්‍යාවයි.
ශ්‍රී ලංකාවේ මෙම වාර්තාව වෙන්නේ 2022 වසරේ දී දඹුල්ලේ දී විශ්මි ගුණරත්න සහ චමරි අතපත්තු එක් ව 1 වැනි කඩුල්ලට එක් කළ ලකුණු 87යි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















