ඉන්දියාව වේලාසනින් ම තරගාවලිය ජය ගනී

Sri Lanka Women tour of India 2025/26 

133
Sri Lanka Women tour of India 2025/26 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැතිවෙන තරග 5කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් ඉතිරි ව පවතිද්දී තරග 3-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ අද (26) සමත් වෙනවා.

Visakhapatnam හි දී පැවැති මෙම තරගයේ දී ද කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය නායිකාව සමත් වෙනවා. ඇයගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 112ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගනිමින් පිට පිට තෙවැනි ජයග්‍රහණය ද වාර්තා කළා. ඔවුන් ශ්‍රී ලංකා ඉලක්කය සපුරා ගන්නේ තවත් පන්දු 40ක් ද ඉතිරි කර ගනිමින්.

මෙම තරගයට පෙර පැවැති තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගයට පිවිසෙන්නේ වෙනස්කම් ත්‍රිත්වයක් සිදු කරමින්. ඒ අනුව පෙර තරගයට එක් වූ විශ්මි ගුණරත්න, කාව්‍යා කාවින්දි සහ ශෂිනි ගිම්හානි වෙනුවට ඉමේෂා දුලානි, මල්ෂා ෂෙහානි සහ නිමාෂා මීපගේ එක් කර තිබුණා. ඒ අතුරින් 26 වැනි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යැවීමේ දක්ෂතා දක්වන නිමේෂා මීපගේ අද ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් හිමි කර ගත්තා.

ඉන්දීය කණ්ඩායම අද තරගයට එක් වුවේ වෙනස්කම් ද්විත්වයක් සමඟින්. ඒ පෙර තරගයට එක් වූ Sneh Rana සහ Arundhati Reddy වෙනුවට Deepti Sharma සහ Renuka Singh එක් කර ගනිමින්.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

චමරි අතපත්තු (නායකාව), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂිකා සිල්වා, කවීෂා දිල්හාරි, ඉමේෂා දුලානි, කෞෂිනී නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), මල්කි මදාරා, ඉනෝකා රණවීර, මල්ෂා ෂෙහානි සහ නිමාෂා මීපගේ.

 

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Harmanpreet Kaur (නායිකාව), Smriti Mandhana, Shafali Verma, Jemimah Rodrigues, Richa Ghosh (කඩුලු රකින්නිය), Deepti Sharma, Amanjot Kaur, Kranti Gaud, Vaishnavi Sharma, Shree Charani, Renuka Singh.

සත්කාරක ක්‍රීඩිකාවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන් පළමු Power Play අවස්ථාව පසු කරද්දී කඩුලු 3ක් අහිමි කර ගනිමින් ලබා ගන්නේ ලකුණු 32ක් පමණයි. ඒ වෙද්දී චමරි අතපත්තු (3) වේලාසනින් ම ඉනිම හැර ගොස් තිබූ අතර අද තරගයේ දී ආරම්භක පිතිකාරිනිය ලෙසින් පිටියට පිවිසි හසිනි පෙරේරා 2 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණ්ු 25ක් ලබා සිටියා.

අනතුරු ව ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසින් හර්ෂිතා සරවික්‍රම (2) ද සහ සිව් වැනි කඩුල්ලට නිලක්ෂිකා සිල්වා (4) අඩු ලකුණුවලට තම ඉනිම් සීමා කර ගන්නවා.

ඉන් අනතුරු ව කඩුල්ලේ දී යම් සැනසිලිදායක ලකුණු සංඛ්‍යාවක් ශ්‍රී ලංකා ඉනිමට එක් කිරීමට එක් කිරීමට ඉමේෂා දුලානි සහ කවීෂා දිල්හාරි සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 26ක දී ලකුණු 40ක සබඳතාවක් එක් කරනවා. කවීෂා දිල්හාරි පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.

අනතුරු ව 6 වැනි කඩුල්ලට ඉමේෂා දුලානි ද දැවී යන අතර ඒ වෙද්දී ඇය පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය බවට ද පත් වෙනවා.

ඉන් අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමට පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් එක් කිරීමට කෞෂිනී නුත්‍යාංගනා සමත් වෙන අතර ඊට අමතර ව මල්ෂා ෂෙහානි ලකුණු 5ක් සහ මල්කි මදාරා නොදැවී ලකුණක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යවන Renuka Singh ලකුණු 21කට කඩුලු 3ක් ද සහ Deepti Sharma ලකුණු 18කට කඩුලු 3ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා ඉලක්කය පහසුවෙන් ම සපුරාගත් අතර එහි දී ආරම්භක පිතිකාරිනී Shafali Verma නොදැවී ලකුණු 79ක් ලබා ගත්තා. ඇය තම ඉනිමට පන්දු 42ක් පමණක් වැය කළ අතර හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් තම ඉනිමට ඇතුලත් කර ගත්තා. ඇය මෙම තරගාවලියේ දී වාර්තා කරන ලද 2 වැනි අර්ධ ශතකයයි මේ.

එහි දී ඇය 2 වැනි කඩුල්ලට Jemimah Rodrigues (9) හා එක් ව ලකුණු 40ක සබඳතාවක් ද ගොඩ නගනවා.

අනතුරු ව ඇය තරගය අවසන් වන විට නායිකා Harmanpreet Kaur හා එක් ව 3 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 48ක සබඳතාවක් එක් කරනවා. එහි දී ඇය පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 21ක් ලබා සිටියා.

ඉන්දීය ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වය ලබා ගැනීමේ ගෞරවය දිනා ගැනීමේ කවීෂා දිල්හාරි සමත් වුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – කඩුලු 7ක් දැවී 112 (20.0)හසිනි පෙරේරා 25, ඉමේෂා දුලානි 27, කවීෂා දිල්හාරි 20, කෞෂිනී නුත්‍යාංගනා 19, Renuka Singh4/21, Deepti Sharma 3/18
  • ඉන්දීය කාන්තා කණ්ඩායම –කඩුලු 2ක් දැවී 115 (13.2)Shafali Verma නොදැවී 79, Harmanpreet Kaur නොදැවී 21, කවීෂා දිල්හාරි 2/18

ඉන්දීය කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Renuka Singh (ඉන්දියාව)

දෙරට අතර පැවැත්වෙන සිව් වැනි විස්සයි විස්ස තරගය දෙසැම්බර් 28 වැනිදා (රාත්‍රී) Thiruvananthapuram හි දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<