සත්කාරිකාවෝ ජයග්‍රහණයකින් තරගාවලිය ආරම්භ කරයි

Sri Lanka Women tour of India 2025/26

37
Sri Lanka Women tour of India 2025/26

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් අද (21) Visakhapatnam හි දී පැවැති පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 121ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවෝ තවත් පන්දු 32ක් ඉතිරිව තිබිය දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 122ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

මෙම තරගයේ දී ඉන්දීයාව වෙනුවෙන් මංගල විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට 20 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන Vaishnavi Sharma සමත් වෙනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

චමරි අතපත්තු (නායකාව), විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂිකා සිල්වා, කවීෂා දිල්හාරි, කෞෂිනී නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), මල්කි මදාරා, ඉනෝකා රණවීර, කාව්‍යා කාවින්දි, ශෂිනි ගිම්හානි.

 

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Harmanpreet Kaur (නායිකාව), Smriti Mandhana, Shafali Verma, Jemimah Rodrigues, Richa Ghosh †, Deepti Sharma, Amanjot Kaur, Arundhati Reddy, Kranti Gaud, Vaishnavi Sharma, Shree Charani

සුපුරුදු ලෙසින් ම ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ විශ්මි ගුණරත්න සහ නායිකා චමරි අතපත්තු විසිනුයි. ඔවුන් දෙදෙනාගේ සබඳතාව පන්දු 17ක දී එක් වූ ලකුණු 18කට සීමා වූවා. ඉන් ලකුණු 15ක් ම ලබා ගත් චමරි අතපත්තු ඉනිම හැර යන විට පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් ඇතුලත් කරගෙන තිබුණා.

ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට එක් වූයේ හෂිනි පෙරේරා. ඇය ඉනිමේ 2 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා සිටි අතර ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ ලකුණු 49ක් ලෙසයි.

අනතුරු ව පිටියට එක් වූ උප නායිකා හර්ෂිතා සමරවික්‍රම ද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටියේ නැහැ. ඇය ද පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා සිටිය දී දැවී යනවා.

ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්න. ඇය සිව් වැනි කඩුල්ලට පිටියෙන් ඉවත් වෙන විට පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබා සිටියා. ඇය දැවී යන ශ්‍රී ලංකා ඉනිම දැක් වුණේ ලකුණු 103ක් ලෙසයි.

අනතුරු ව නිලක්ෂිකා සිල්වා ගේ දුවද්දී දැවී යෑම සම්බන්ධයෙන් තරමක කුතුහලක් දැණුන ද අවසානයේ තෙවැනි විනිසුරුවරියගේ තීරණය වූයේ ඇය දැවී ගිය ක්‍රීඩිකාවක් ලෙසයි. ඒ වෙද්දී ඇය පන්දු 8ක දී ලකුණු 8ක් ලබා සිටියා.

ඇයගෙන් අනතුරු ව ඉනිමේ අවසන් පන්දුවේ දී කවීෂා දිල්හාරි (6) ද දුවද්දී දැවී යෑමකට ගොදුරු වූ අතර ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට කෞෂිනී නුත්‍යාංගනා නොදැවී ලකුණු 9ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Deepti Sharma, Kranti Gaud සහ Shree Charani අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ පළමු කඩුල්ල ලකුණු 13ක් ව තිබිය දී දැවී ගිය ද 2 වැනි කඩුල්ලේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නියන් දැඩි ප්‍රහාරයකට ලක් කිරීමට Smriti Mandhana සහ Jemimah Rodrigues සමත් වෙනවා.

ඔවුන් දෙදෙනා එක් ව පිටියේ රැඳී සිටිය දී ගෙවී ගිය පළමු Power Play අවස්ථාව නිමා කරන්නේ කඩුල්ලකට ලකුණු 55ක් ලකුණු පුවරුව රැගෙන එමිනුයි. ඔවුන් දෙදෙනාගේ 2 වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 54ක් වෙද්දී Smriti Mandhana දැවී යනවා. ඒ වෙද්දී ඇය පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 25ක් ලබා සිටියා. මෙම තරගයේ දී ඇය ලකුණු 18ක් ලබා ගැනීමත් සමඟින් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ ලකුණු 4000 සීමා ව පසු කිරීමට ද සමත් වූවා.

ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 14 වැනි අර්ධ ශතකය වාර්තා කළ Jemimah Rodrigues තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 69ක් ලබා සිටියා. ඊට අමතර අනෙක් අන්තයෙන් පන්දුවට පහර දෙමින් සිටි නායිකා Harmanpreet Kaur පන්දු 16කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 15ක් ලබා සිටියා.

ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ලට නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 55ක්.

ඉන්දීය ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වය ඉනෝකා රණවීර සහ කාව්‍යා කාවින්දී අතරේ බෙදී ගියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – කඩුලු 6ක් දැවී 121 (20.0) විශ්මි ගුණරත්න 39, හසිනි පෙරේරා 20, හර්ෂිතා සමරවික්‍රම 21, Deepti Sharma 1/20
  • ඉන්දීය කාන්තා කණ්ඩායම – කඩුලු 2ක් දැවී 122 (14.4) Smriti Mandhana 25, Jemimah Rodrigues නොදැවී 69, Harmanpreet Kaur නොදැවී 15, ඉනෝකා රණවීර 1/17

ඉන්දීය කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Jemimah Rodrigues (ඉන්දියාව)

දෙරට අතර පැවැත්වෙන 2 වැනි විස්සයි විස්ස තරගය දෙසැම්බර් 23 වැනිදා (රාත්‍රී) Visakhapatnam හි දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<