තෙවැනි දිනයේ දී දිල්රුවන් වේගවත් වාර්තාවක් අලුත් කරයි

865

ශ්‍රී ලංකා – එංගලන්ත තෙවන හා අවසන් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අවසන් වන විට ලකුණු 327ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 53ක් ලබාගෙන සිටින්නේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 274ක් පසුපසින් සිටිමිනි.

එංගලන්ත තුරුම්පුවෙන් දෙවන කඩුල්ලේ සාර්ථකත්වය බිඳ වැ‍ටේ

දිනයේ පළමු කාර්තු දෙකේ දී ශ්‍රී ලංකාවට වැඩි වාසි හිමිවූත්, අවසන් කාර්තුවේ දී එම වාසිය එංගලන්තය….

අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කිසිවෙක් නොදැවී ලකුණු තුනක් ලබාගෙන සිටි අතර ඊයේ (24) අයහපත් ආලෝක තත්වය නිසාවෙන් දෙවන දිනය නතර කරන විට නොදැවී ක්‍රීඩා කරමින් සිටි රෝරි බර්න්ස් හා කීටන් ජෙනින්ග්ස් පිළිවෙළින් ලකුණු 3* හා ලකුණු 1*ක් ලබාගෙන සිටියේය.

අද දිනයේ ක්‍රියාත්මක වූ පළමු පන්දුවෙන්ම වමතින් පිත්ත හසුරුවන ජෙනින්ග්ස්ව දවා ගැනීමට දකුණතින් දඟපන්දු යවන දිල්රුවන් පෙරේරා සමත් වූයේ තෙවැනි දිනය වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගනිමිනි. පළමු කඩුල්ලේ ජීවයත් සමඟින් දිල්රුවන් හා මාලින්ද පුෂ්පකුමාර ද එංගලන්ත ප්‍රබල මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනෙක් ලකුණු 39ක් තුල දවා ගැනීමට සමත් වූහ.

>>ශ්‍රී ලංකා – එංගලන්ත තෙවන ටෙස්ට් තරගයේ තෙවන දින සේයා රූ<< 

ඉන් අනතුරුව පිටියට පැමිණි වමතින් පිත්ත හසුරුවන බෙන් ස්ටොක්ස් හා දකුණතින් පිත්ත හසුරුවන ජෝස් බට්ලර් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ඉතාමත් හොඳ සබඳතාවයක් ගොඩනංවා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කළේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අවස්ථාවන් දෙකක දී ලබා දුන් නිපන්දු දෙකකුත් සවියක් කරගෙනයි.

ලක්ෂාන් සඳකැන්ගේ පන්දු දෙකක් හමුවේ ස්ටොක්ස් දෙවතාවක් දැවී ගිය නමුත් ඒ අවස්ථාවන් දෙකේ දී නැවත නිරීක්ෂණය කළ විට පෙනී ගියේ පන්දු දෙකම නිපන්දු බවයි. මේ තරගයේ එංගලන්ත පළමු ඉනිමේ දී මෙන්ම දෙවන ඉනිමේ දීත් සිය වාසනාව තහවුරු කර ගත් ස්ටොක්ස් හා බට්ලර් දිනයේ පළමු කාර්තුව අවසන් කළේ 110/4ක් ලෙස එංගලන්ත ලකුණු පුවරුව සටහන් කරමිනි.

ශ්‍රී ලංකා පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු 206ක වාසියක් ලබාගෙන දිනයේ දෙවන කාර්තුව ක්‍රීඩා කිරීම වෙනුවෙන් පිටියට පැමිණි ස්ටොක්ස් හා බට්ලර් ඔවුන්ගේ සබඳතාවයට තවත් ලකුණු 18ක් එකතු කරගෙන සිටිය දී, ස්ටොක්ස් එල්ල කළ පහරක් මිඩ් ඕන් කලාපයේ සිටි මාලින්ද පුෂ්පකුමාර විසින් රැකගැනීමත් සමඟම ඔහුගේ ඉනිම නිමාවිය. ඒ කඩුල්ල දිල්රුවන්ගේ නමට ඉදිරියෙන් සටහන් විය. අවස්ථාවන්  දෙකකින් ප්‍රයෝජන ගත් ස්ටොක්ස් ලකුණු 42ක් ලබා ගත්තේ 4 පහර 4ක් එල්ල කරමිනි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් එංගලන්ත දෙවන ඉනිම ඉහළට ඔසවා තැබූ බට්ලර් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 12 වැනි අර්ධ ශතකයට හිමිකම් කීවේ 4 පහර 3ක් සමඟ ලකුණු 64ක් ලබා ගනිමිනි. ඔහු එංගලන්ත ඉනිමේ 6 වන කඩුල්ල ලෙස දැවී ගියේ එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 168ක් ලෙස දැක්වෙන විටයි. මොයින් අලී ලකුණු 22යි. එම කඩුලු දෙකම ලක්ෂාන් සඳකැන් සතු විය.

තෙවන දිනයේ දෙවන කාර්තුවේ වාසිය සිය කණ්ඩායම දෙසට හරවා ගත් එංගලන්ත කණ්ඩායම එම කාර්තුව තුල කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 100ක් රැස්කර ගන්නා ලදි. ඒ වන විට නොදැවී ක්‍රීඩා කරමින් සිටියේ බෙන් ෆෝකස් (ලකුණු 20*) හා ආදිල් රශිඩ් (ලකුණු 21*) ය.

මහත්වරුන් ශ්‍රී ලංකාව White Wash කරයි ද?

ඇදවැටීම්, සිත් බිඳීම්, නැවත නැගිටීම් සමඟින් සිදුවන්නට ඇති සියලු දේ සිදු වූ අපූරු තරගාවලියක්….

ලකුණු 210කට කඩුලු 7ක් දැවී ගොස් තිබූ පසුබිමක 8 වන කඩුල්ල වෙනුවෙන් රශිඩ් හා ෆෝකස් අතර ගොඩනැගුණු ලකුණු 44 සබඳතාවය අවසන් කරමින් එක් 4 පහරක් සමඟ ලකුණු 24ක් ලබා සිටි රශිඩ් දැවී යාමත් සමඟම එංගලන්ත පසුපෙළ කඩුලු 3ක් ලකුණු 15ක් වැනි  අඩු ලකුණු ප්‍රමාණයක් තුල දවා ගැනීමට පුෂ්පකුමාර හා දිල්රුවන් ඇතුළු ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් සමත් විය.

එසේම මේ තරගය පුරාවටම පිටියේ විනිසුරුවරුන් ලබා දුන් තීරණ කිහිපවතාවක දී ම වෙනස්වීම කාගේත් අවධානයට ලක්විය. පන්දු යැවීමේ දී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8 වැනි කඩුලු 5 අවස්ථාව සාර්ථක කර ගත් දිල්රුවන් ශ්‍රී ලංකාව තුල වේගවත්වම ටෙස්ට් කඩුලු 100ක් දවා ගත් ක්‍රීඩකයා බවට ද පත්විය. මාලින්ද පුෂ්පකුමාර කඩුලු 3යි.

ලකුණු 327ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි ශ්‍රී ලංකා වමත් ආරම්භක පිතිකරුවන් දෙදෙනා හට ගොඩනැංවීමට හැකි වූයේ ලකුණු 15ක සබඳතාවයක් වන අතර ඒ සබඳතාවය නිමා වූයේ ලකුණු 6ක් ලබා සිටි ගුණතිලකගේ දැවී යාමත් සමඟයි.

ඉන් අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා පළමු ඉනිමේ අර්ධ ශතකලාභී ධනංජය ද සිල්වා, ජැක් ලීච්ගේ පන්දුවකට දැවී ගියේ කඩුල්ල මුව කිරීමේ වරදට හසුවීම නිසාවෙනි. එම අවස්ථාවේ දී ද පිටියේ විනිසුරු වූ සුන්දරම් රවී කඩුල්ල මුවාකිරීමේ වරදට හසු වූ ධනංජයව නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස නම් කළත් වහාම ක්‍රියාත්මක වූ එංගලන්ත නායක ජෝ රූට් එම තීරණයට අභියෝග කරමින් ධනංජයගේ කඩුල්ල ශ්‍රී ලංකාවට අහිමි කළේය.

ඒත් සමඟම අනෙක් අන්තයේ ස්ථාවර වීමට වෙරදැරූ දිමුත් කරුණාරත්න ද ලකුණු 23කට දැවී ගියේ දෙවන ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසයි.

කුසල් මෙන්ඩිස් සමඟින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ ඇන්ජලෝ මැතිව්ස් (ලකුණු 5) හට ද සාර්ථක වීමට එංගලන්ත පන්දු යවන්නන් අවස්ථාවක් ලබා නොදුන් අතර වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ තෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 53ක් ලබාගෙන ඉතාමත් අසීරු තත්වයක පසුවිය.

කෙසේ හෝ ලකුණු 327 ඉලක්කය ශ්‍රී ලංකාව හඹා ගියහොත් එස්. එස්. සී පිටියේ දී ටෙස්ට් තරගයක් හඹා ගොස් ජය ගැනීම වෙනුවෙන් රැස්කරගත් වැඩිම ලකුණු ප්‍රමාණය බවට මෙය පත්වන අතර එම වාර්තාවට දැනට හිමිකම් කියන්නේ 1998 දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වූ ටෙස්ට් තරගයක දී ලකුණු 326ක් රැස්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායමයි.

එංගලන්ත පළමු ඉනිම – 336 (92.5): ජොනී බෙයාර්ස්ටොව් 110, බෙන් ස්ටොක්ස් 57, ජෝ රූට් 46, ලක්ෂාන් සඳකැන් 4/95, මලින්ද පුෂ්පකුමාර 2/64.

ශ්‍රී ලංකා පළමු ඉනිම – 240 (65.5): දිමුත් කරුණාරත්න 83, ධනංජය ද සිල්වා 73, කුසල් මෙන්ඩිස් 27, ආදිල් රෂීඩ් 5/49, බෙන් ස්ටොක්ස් 3/30.

එංගලන්ත දෙවන ඉනිම  – 230 (69.5): ජෝස් බට්ලර් 64, බෙන් ස්ටොක්ස් 42, බෙන් ෆෝකස් 36*, දිල්රුවන් පෙරේරා 5/88, මාලින්ද පුෂ්පකුමාර 3/28

ශ්‍රී ලංකා දෙවන ඉනිම (තෙවන දිනය අවසානයේ) – 53/4 (17): දිමුත් කරුණාරත්න 23, කුසල් මෙන්ඩිස් 15*, මොයින් අලී 2/16.

දිනෙන් දින උණුසුම් වන කෙළිබිමේ තොරතුරු හා මෙම තරගයේ තරග වාර්තා, එසැණ තොරතුරු, වීඩියෝ , ලකුණු සටහන් හා සේයාරූ, ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<