මාලිංග, ප්‍රදීප් නොසිතූ ජයග්‍රහණයකට ශ්‍රී ලංකාව රැගෙන යයි

1228
කුසල් ජනිත් පෙරේරාගේ සටන්කාමී ඉනිමත්, වේගපන්දු යවන්නන්ගේ දක්ෂතාත් හේතුවෙන් අද (4) කාඩිෆ් ක්‍රීඩාංගණයේ දී ඇෆ්ගනිස්තානය සමඟ පැවති තරගයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 34ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

ඇෆ්ගනිස්තානය හමුවේ සිත් රිදවා ගමු ද? සනසා ගමු ද?

12 වැනි ලෝක කුසලානය තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන ක්‍රිකට් තරගය…

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 201ක් ලබා ගත්හ. එසේ වූවත් වර්ෂාව හේතුවෙන් අහිමි වූ පන්දුවාර ප්‍රමාණය ද සැලකිල්ලට ගනිමින් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කරන ලද ගණනය කිරීමේ දී ඇෆ්ගන්වරුන්ට ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වූයේ ලකුණු 187ක් පමණි. එසේ වූවත් ඔවුන් තම ඉනිමට වාර්තා කළේ සියලුම දෙනා දැවී ලකුණු 152ක් පමණි.

ඇෆ්ගනිස්තාන ඉනිමේ ආරම්භක කඩුල්ල ලකුණු 34ක් වෙද්දී ඉවත් කිරීමට ලසිත් මාලිංග සමත් විය. ඒ දිමුත් කරුණාරත්න විසින් රැක ගත් අසීරු උඩ පන්දුව හේතුවෙනි. අනතුරුව ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් විසින් ඇෆ්ගන් ඉනිමේ ඉදිරිපෙළ කඩුලු 5ම ලකුණු 57ක් වෙද්දී ඉවත් කිරීමට සමත් වීම කැපී පෙණුනි.

ඒ අතුරින් වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු හසරතුල්ලා සසායි ය. ඔහු පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තේ ය.

අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ඉහ-මොළ රත් කරමින් හයවැනි කඩුල්ල සඳහා ලකුණු 64ක සබඳතාවක් එක් කිරීමට නායක ගුල්බඩීන් නයිබ් සහ නජිබුල්ලා සද්රාන් සමත් වූහ. ඔවුන්ගේ සබඳතාව බිඳ දැමුවේ නුවන් ප්‍රදීප් ය. ඒ ගුල්බඩීන් නයිබ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි. ඒ වෙද්දී නයිබ් පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ලබා සිටියේ ය.

Photos: Sri Lanka vs Afghanistan | ICC Cricket World Cup 2019 – Match 07

කෙසේ වෙතත් ඇෆ්ගනිස්තාන ඉනිමේ කෙරුම්කරු වූයේ නජිබුල්ලා සද්රාන් ය. ඔහු පන්දු 56කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තේ ය. ඔහු හදිසි ලකුණක් කරා දිව යද්දී දිමුත් කරුණාරත්න පන්දුව කෙළින්ම කඩුල්ල වෙත දමා ගසමින් ඔහුගේ කෙරුම් හමාර කළේය. එම කඩුල්ලට අමතරව දැවී ගිය අනෙක් සියලුම කඩුලු වේගපන්දු යවන්නෝ ලබා ගැනීම කැපී පෙණුනි.

ඇෆ්ගනිස්තාන ඉනිම අසරණ කිරීමේ දී නුවන් ප්‍රදීප් ලකුණු 31කට කඩුලු 4ක් දවා ගත්තේ ය. එය ඔහුගේ ජාත්‍යන්තර එක්දින තරග පිටියේ හොඳම පන්දු යැවීම විය. ඊට පෙර ඔහුගේ වාර්තාව වූයේ ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 34කට ලබා ගත් කඩුලු 4යි. නුවන් ප්‍රදීප් තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි. ඔහුට අමතරව ලසිත් මාලිංග ලකුණු 39කට කඩුලු 3ක් දවා ගත් අතර ඉසුරු උදාන සහ තිසර පෙරේරා ද කඩුල්ල බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට පෙරමුණ ගත්තේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ය. ශ්‍රී ලංකාවේ ගෞරවයත්, ඔහුගේ ගෞරවයත් රැක ගත් කුසල් අද තරගයේ දී තම ජාත්‍යන්තර එක්දින තරග දිවියේ 12 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් තම ඉනිමට ඇතුළත් කර ගනිමින් ලකුණු 78ක් ලබා ගත්තේ ය. එම ඉනිම නොවන්නට ශ්‍රී ලංකාවේ ඉරණම මීට බොහෝ සෙයින් වෙනස් වන්නට තිබුණි.

එමෙන්ම ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු ප්‍රමාණයෙන් 35ක් ම අයත් වූයේ අතිරේක ලකුණු අතරට වීම ද විශේෂ වේ. පාදයේ වැදී ගිය ලකුණු 10ක්, නිපන්දු 3ක් සහ සීමාව ඉක්මවා ගිය පන්දු 22ක් ලෙසින් ඒවා ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් විය.

තරගය අතරමග දී ඇද වැටුණ වර්ෂාව නිසා තරගය තාවකාලිකව නතර කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 8ක් දැවී ලකුණු 182 රැඳී තිබුණි. වර්ෂාව හේතුවෙන් පැය තුනකට ආසන්න කාලයක් තිස්සේ ගිල ගත් තරගය නැවත ආරම්භ කරන්නේ පන්දු වාර 41ක තරගයක් ලෙසිනි.

පාකිස්තානයේ නැගිටීම සහ අපි

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ අතිශය අවමන් සහගත…

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තානය පළමුව පන්දු යැවීම තෝරා ගනිමින් පන්දුවට පහර දීම ශ්‍රී ලාංකිකයන් සතු කළේය. පෙර තරගයේ දී ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කළ ලහිරු තිරිමාන්න වෙනුවට අද තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ කුසල් ජනිත් පෙරේරා ය. පළමු කඩුල්ල වෙනුවෙන් දිමුත් කරුණාරත්න සමඟින් කුසල් ජනිත් පෙරේරා ඉතා හොඳින් පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකාව බලාපොරොත්තු සහගත ඉනිමකට එළඹෙතැයි පෙරනිමිති පහළ කළහ.

නමුත් පළමු කඩුල්ලට ලකුණු 92ක සබඳතාවක් ගොඩ නැගෙද්දී දිමුත් කරුණාරත්න පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටිය දී තම ඉනිම නිමා කර ගත්තේ ය. අනතුරුව පිටියට පිවිසියේ ලහිරු තිරිමාන්න ය. ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තේ ය. කුසල් සහ තිරිමාන්න අතර දෙවැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 52කි.

එතැන් සිට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව හොරු අරං ගියා සේ විය. ඇෆ්ගනිස්තානයේ දකුණතින් පිට දඟපන්දු යවන මොහොමඩ් නබී දැවී ගිය කඩුලු දෙකේම හිමිකාරීත්වය දැරූ අතර ඉනිමේ යවනු ලැබූ 22 වැනි පන්දුවාරයේ දී ශ්‍රී ලංකාවේ ඉරණම අසරණ කිරීමට ඔහුගේ දක්ෂතා ඉවහල් විය. තිරිමාන්න දැවී ගොස් යැවුණ දෙවැනි පන්දුවේ දී කුසල් මෙන්ඩිස්ගේ (2) කඩුල්ල ද දවා ගැනීමට ඔහු සමත් විය. ඉන් නොනැවතුන මොහොමඩ් නබී ඊළඟට යැවුණ දෙවැනි පන්දුවේ දී ඇන්ජලෝ මැතිව්ස්ගේ (0) ඉනිම ද නිමා කළේය.

මැදපෙළ නියෝජනය කළ ධනංජය ද සිල්වා (0) සහ තිසර පෙරේරා (2) ද අඩු ලකුණුලාභීන්ගේ පෙරහැරට එක් වෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව නොසිතූ ලෙසින් අඩපණ කිරීමට සහයෝගය දැක්වූහ. ඔවුන් දැවී යද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6ක් දැවී ලකුණු 159ක්ව තිබුණි. ඒ ලකුණු 17කට ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සහගත පිතිකරුවෝ 4 දෙනෙක්ම තම ඉනිම් ඇෆ්ගන්වරුන් ඉදිරියේ පූජා කිරීම හේතුවෙනි.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ කතා කරන්නට දෙයක් තිබුණි නම් තිබුණේ කුසල් ජනිත් සහ ඉසුරු උදාන අතර 7 වැනි කඩුල්ලට එක් වූ ලකුණු 19ක සබඳතාව ය. ඉසුරු උදාන අද සුපුරුදු රිද්මයෙන් බැහැර ව මන්දගාමී ඉනිමක යෙදුණ ද ඔහුට ද ලබා ගත හැකි වූයේ ලකුණු 10ක් පමණි. ඒ වෙනුවෙන් ඔහු පන්දු 21ක් වැය කළ අතර හයේ පහරක් ද එම ඉනිමට ඇතුළත් කළේය.

තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට සුරංග ලක්මාල් (2) සහ ලසිත් මාලිංග (0) නොදැවී පිටියේ රැඳී සිටියහ. වර්ෂාවෙන් අනතුරුව යැවුණ තෙවැනි පන්දුවාරයේ දී ලසිත් මාලිංගගේ (4) ඉනිම අවසන් වූ අතර නුවන් ප්‍රදීප් ද කිසිදු ලකුණක් නොලබා දැවී ගියේය.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙන විට සුරංග ලක්මාල් නොදැවී ලකුණු 15ක් ලබා ගෙන තිබූ අතර ඔහු ඒ සඳහා පන්දු 13කට මුහුණ දී හතරේ පහර 2ක් එල්ල කර තිබුණි.

පන්දු යැවීමේ දී මොහොමඩ් නබී ලකුණු 30කට කඩුලු 4ක් දවා ගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය. මේ දක්ෂතාව ඔහු ජාත්‍යන්තර එක්දින තරග දිවියේ තම පෞද්ගලික හොඳම පන්දු යැවීමේ වාර්තාව සම කිරීමකි. ඔහු මීට පෙර 2017 වසරේ දී අයර්ලන්තයට එරෙහිව ලකුණු 30කට කඩුලු 4ක් දවා ගෙන තිබුණේ ය.

Video: මේවා එක්දින තරග ගහන තණතීරු නෙමේ – හතුරුසිංහ

ඔහුට අමතරව දව්ලට් සද්රාන් සහ රෂීඩ් ඛාන් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වූහ.  

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙර තරගයට ක්‍රීඩා කළ ජීවන් මෙන්ඩිස් වෙනුවට වේගපන්දු යවන නුවන් ප්‍රදීප් නම් කර තිබුණි.

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තෙවැනි තරගය මේ මස 7 වැනිදා තරගාවලියේ 11 වැනි තරගය ලෙසින් බ්‍රිස්ටල් හි දී පැවැත්වීමට නියමිත ය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<