කොදෙව්වෝ තෙතබරිත වීමෙන් ඉලක්කය මන්දගාමී කරයි

2250
Kasun Rajitha (L) of Sri Lanka celebrates the dismissal of Kraigg Brathwaite (R) of West Indies during day 2 of the 2nd Test between West Indies and Sri Lanka at Daren Sammy Cricket Ground, Gros Islet, St. Lucia, on June 15, 2018. / AFP PHOTO / Randy Brooks

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (15) අයහපත් කාලගුණයට ඉඩ දී නිමාවේ දී තම පළමු ඉනිමට ක්‍රීඩා කරන කොදෙව්වෝ කඩුලු 2ක් දැවී ලකුණු 118ක් ලබා සිටියහ. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලබාගත් ලකුණු 253ට පිළිතුරු සොයන කොදෙව්වෝ තවත් ලකුණු 135ක් පිටුපසින් පසු වෙන්නේ පළමු ඉනිමේ ඉදිරියට පැමිණීම සඳහා තවත් කඩුලු 8ක් අතැතිව ය.

නාය ගිය ඉනිම චන්දිමාල් හුදකලා සටනකින් ගොඩ දමයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින්…

බාබඩෝස් හි පිහිටි ඩැරන් සැමි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනය නිමාවේ දී කොදෙව් ආරම්භක පිතිකරු ඩෙවොන් ස්මිත් පන්දු 134කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා ගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටී. ඔහු විසින් අද රැස් කරනු ලැබුවේ තම ටෙස්ට් තරග දිවියේ 7 වැනි අර්ධ ශතකයයි. ඔහුත් සමඟ අනෙක් අන්තයෙන් ෂායි හොප් (02*) නොදැවී පිටියේ රැඳී සිටී.

දිනයේ වැඩි කාලයක් වර්ෂාව වෙනුවෙන් වැය කිරීමට දෙපිලේ ම ක්‍රීඩකයන්ට සිදු වූහ. තරගයේ ආරම්භය ද නියමිත වේලාවට වඩා විනාඩි 30කට ආසන්න ප්‍රමාණයක ප්‍රමාදයෙන් සිදු විය.

තරගයේ පළමු දිනයේ දී කිසිවෙක් නොදැවී ලකුණු 02ක් ලබා සිටි කොදෙව් ක්‍රීඩකයෝ දෙවැනි දින දිවා විවේකයට තරගය නතර කරන විට ලබා සිටියේ කිසිවෙක් නොදැවී ලකුණු 65ක් පමණි. ඒ වෙද්දී ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ ඩෙවොන් ස්මිත් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 29ක් සහ කිරන් පවෙල් ලකුණු 3ක් ද ලබා සිටියහ.

දිනයේ පළමු කඩුල්ල ලබා ගැනීමට කෝඩුකාර කසුන් රාජිත සමත් විය. මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තැබූ කසුන් දකුණතින් මඳ වේගපන්දු යවන්නෙක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වෙද්දී පළමු පෙළ තරග 35කට ක්‍රීඩා කරමින් කඩුලු 93ක් දවා ගනිමින් සිටිය දී ය.

තම මංගල කඩුල්ල ලෙසින් ක්‍රෙග් බ්‍රැත්වෙයිට් පිටියෙන් ඉවත් කිරීමට කසුන් රාජිත සමත් වෙන්නේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල විසින් ලබා ගන්නා ලද උඩ පන්දුවක් හේතුවෙනි. ඒ වෙද්දී කොදෙව් ලකුණු පුවරුව 59 නතර ව තිබුණ අතර බ්‍රැත්වෙයිට් පන්දු 79ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා සිටියේය.

නවෝද්, නිශාන් සහ චෙහාන් අර්ධ ශතක ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවති තරග අතරින්…

විනිසුරු අලිම් ඩාර් විසින් බ්‍රැත්වෙයිට් දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙසින් නම් කළ ද ඔහුගේ එම තීරණය ක්ෂණයකින් බ්‍රැත්වෙයිට් අභියෝගයට ලක් කළේය. ඒ කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ගත හැකි පළමු Review අවස්ථාව ලබා ගනිමිනි. නමුත් තෙවැනි විනිසුරුගේ ද තීරණය වූයේ බ්‍රැත්වෙයිට් දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙසයි. කසුන් රාජිත තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල කඩුල්ල එසේ දවා ගනිද්දී ඔහු විසින් ඒ වෙනුවෙන් පන්දු 46ක් යවා තිබුණි.

බ්‍රැත්වෙයිට් දවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් විසින් ද ඊට පෙර Review අවස්ථාවක් ලබා ගත්තේ ය. ඒ ලහිරු කුමාරගේ පන්දු යැවීමක් හමුවේ ය. එහෙත් එය තෙවැනි විනිසුරු නිශ්ප්‍රභ කෙරුණි. කඩුල්ල මුවා කරමින් වරදක් කළේ යැයි සැක කළ එම අවස්ථාව වෙද්දී බ්‍රැත්වෙයිට් ලබා සිටියේ ලකුණු 7ක් පමණි.

ඔහුගේ දැවී යෑමත් සමඟින් පිටියට පිවිසියේ කිරන් පවෙල් ය. එතැන් සිට කිසිදු උපද්‍රවයකින් තොරව ඩෙවොන් ස්මිත් සහ කිරන් පවෙල් ඉනිම දිවා විවේකය දක්වා ගෙන ගියහ.

දිවා විවේකය අතරතුර ක්‍රීඩාංගණයට වැටි වැස්ස තරගයේ ආරම්භය ප්‍රමාද කළේ තරගයෙන් විනාඩි 110ක කාලයක් විනාශ කරමිනි.

වර්ෂාවෙන් අනතුරුව නැවත තරගය ආරම්භ කළ තැන සිට පන්දුවාර 4ක් ගිය තැන නැවත වර්ෂාව තරගයට බාධා එල්ල කරන්නේ ලකුණු පුවරුව කඩුල්ලක් දැවී ලකුණු 82ක් ව තිබිය දී ය. ඒ වෙද්දී ඩෙවොන් ස්මිත් නොදැවී ලකුණු 34ක් ද කිරන් පවෙල් නොදැවී ලකුණු 15ක් ද ලබා සිටිය හ.

එම වර්ෂා විවේකයෙන් පසුව ලකුණු පුවරුවට තවත් ලකුණු 10ක් එක්වූ තැන නැවත වතාවක් වර්ෂාවට හිස නමන්නට දෙපිළේ ක්‍රීඩකයන්ට සිදු විය. පෙර නතර කළ තැන සිට එම අවස්ථාව දක්වා යැවුණේ ඉනිමේ පන්දු 11ක් පමණි. ඒ වෙද්දී ඩෙවොන් ස්මිත් නොදැවී ලකුණු 41ක් ද කිරාන් පවෙල් ලකුණු 18ක් ද ලබා සිටිය හ. සවස 4.00ට පමණ පතිත වූ එම වර්ෂාව පැය එකහමාරකට පමණ කාලයක් පැවති අතර වර්ෂාවෙන් පසුව තරගය ආරම්භ වී පැවතියේ තවත් විනාඩි කිහිපයක් පමණි.

මෙම විනාඩි කිහිපයේ දී උපරිමයෙන් ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූ හ. ඒ කොදෙව් ඉනිමේ දෙවැනි කඩුල්ල ද දවා ගනිමිනි. ලහිරු කුමාර විසින් යැවුණ පන්දුවකට කිරාන් පවෙල් විසින් දෙවැනි ස්ලිප් හී සිටි කුසල් මෙන්ඩිස් වෙත උඩ පන්දුවක් දැවී යද්දී කොදෙව් ලකුණු පුවරුව 115ක් ව තිබුණි.

පවෙල් දැවී යන විට පන්දු 45කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා සිටියේ ය.

නවක පිතිකරු වූයේ ෂායි හොප් ය. ඩෙවොන් ස්මිත් සහ ෂායි හොප් අතර තෙවැනි කඩුල්ලට පන්දු 21ක් ගත කරන තැන වෙළාගත් අයහපත් කාලගුණ තත්ත්වය තරගයේ පැවැත්මට බාධා විය. එතැන් සිට නැවත ආලෝක තත්ත්වයක් අපේක්ෂා කිරීමට නොහැකි බැව් වටහා ගත් පිටියේ විනිසුරුවන් තරගයේ දෙවැනි දිනයට බේල්ස් ඉවත් කරන ලදි.

පන්දු යැවීමේ දී කසුන් රාජිත සහ සුරංග ලක්මාන් කඩුල්ල බැගින් ලබා ගත්හ. තම මංගල ටෙස්ට් තරගයට සහභාගී වූ  කසුන් රාජිත පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ තෙවැනියා වෙමින් ඉනිම පළමු දිනයට අත්හරින විට ලකුණ 25කට කඩුල්ලක් දවා සිටියේ ය.

තරගය තෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිත ය.

ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 253 (79.0) කුසල් පෙරේරා 32, කුසල් මෙන්ඩිස් 45, දිනේෂ් චන්දිමාල් නොදැවී 119, කෙමාර් රොච් 4/49, ෂැනොන් ගේබ්‍රියෙල් 5/59

බටහිර ඉන්දීය කොදෙව්; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 118 (44.3) ක්‍රෙග් බ්‍රැත්වෙයිට් 22, ඩෙවොන් ස්මිත් නොදැවී 53, කිරාන් පවෙල් 27

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<