විග්නේශ්වරන්ගේ උත්සාහය අපතේ යයි

Sri Lanka U 19 Team Tour of West Indies

88

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 7කින් යුත් යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් කඩුලු 2ක ජයග්‍රහණයක් ලබා ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ තරගාවලියේ තරග 3-2ක් ලෙසින් ඉදිරියට පැමිණීමට ද සමත් වුණා.  

Antigua Antigu හී ශ්‍රීමත් Vivian Richards ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (09) පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 172ක් ලබා ගත් අතර එම ඉලක්කය ප්‍රතිවාදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ තවත් පන්දු 14ක් සහ කඩුලු 2ක් ඉතිරි ව තිබිය දී සපුරා ගත්තා.   

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එක් වූයේ වෙනස්කම් 4ක් සිදු කරමින්. ඒ අනුව පෙර තරගයේ දී කණ්ඩායම හා එක් ව සිටි සෙනුජ වැකුණුගොඩ, ආදම් හිල්මි, රමිරු පෙරේරා සහ කූගදාස් මාතුලන් විවේක ගන්වා තිබූ අතර ඒ වෙනුවට  පුලීශ තිලකරත්න, සනුජ නිඳුවර, ජේසන් ප්‍රනාන්දු සහ රසිත් නිම්සර එක් කර තිබුණා.  

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙම තරගයට එක් වූයේ වෙනස්කම් ද්විත්වයක් සිදු කරමින්. ඒ අනුව Afraz Budhoo සහ Aadian Racha කණ්ඩායමට එක් කර තිබූ අතර ඒ වෙනුවට Tyriek Bryan සහ R’jai Gittens විවේක ගන්වා තිබුණා.  

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

විමත් දින්සර (නායක), විරාන් චමුදිත, දිමන්ත මහවිතාන, පුලීශ තිලකරත්න, කවිජ ගමගේ, සනුජ නිඳුවර, චාමික හීනටිගල, ජේසන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), සෙත්මික සෙනෙවිරත්න, රසිත් නිම්සර, විග්නේශ්වරන් ආකාශ්. 

 

බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

Joshua Dorne (නායක), Micah Greenidge (කඩුලු රකින්නා), Zachary Carter, Earsinho Fontaine, Brendan Boodoo, Afraz Budhoo, Jonathan Van Lange, Shaquan Belle, Isra-el Morton, Aadian Racha, Jakeem Pollard. 

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනිම පැවැතියේ ඉතා මංදගාමීව. ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ දිමන්ත මහවිතාන සහ විරාන් චමුදිත පළමු කඩුල්ලට ලකුණු 38ක් එක් කිරීමට පළමු පන්දුවාර 10 ම වැය කරනවා.  

එම ඉනිමේ ඉහළ ම කඩුලු අතර ලකුණු සබඳතාව වූයේ ද එයයි. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ දිමන්ත මහවිතාන පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත් අතර චාමික හීනටිගල මැද පෙළින් පිටියට පිවිස පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා.  

ඊට අමතර ව  කවිජ ගමගේ පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 22ක් ද සහ සනුජ නිඳුවර පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 19ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී Aadian Racha සහ Shaquan Belle කඩුලු 3ක් බැගින් දවා ගත් අතර Jakeem Pollard කඩුලු ද්විත්වයක් ද,  Brendan Boodoo සහ Isra-el Morton කඩුල්ල බැගින් ද දවා ගත්තා. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 3ක් වෙද්දී දැවී ගිය ද 2 වැනි කඩුල්ල සඳහා ලකුණු 101ක් එක් කිරීමට Micah Greenidge සහ Earsinho Fontaine සමත් වෙනවා. ඔවුන් දෙදෙනා අතුරින් Earsinho Fontaine පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 48ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව තවත් ලකුණු 3ක් පමණක් ඉනිමට එක් වෙද්දී Micah Greenidge 3 වැනි කඩුල්ල ලෙසින් දැවී ගියා. ඒ වෙද්දී ඔහු පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 40ක් ලබා සිටියා.  

ශ්‍රී ලංකා යෞවනයන්ට හිසරදයක් වෙමින් සිටි එම කඩුලු ද්විත්වය දවා ගත් විග්නේෂ්වරන් ආකාශ් තරගයේ 39 වැනි පන්දුවාරයේ පන්දු 3ක් තුළ තවත් කඩුලු ද්විත්වයක් දවා ගනිමින් තරගයේ පාලනය යම් තරමකට  ශ්‍රී ලංකාව වෙතට වෙතට නතු කර ගත්තා.  

එහෙත් එතැන් සිට අවශ්‍ය වූ ලකුණු 28 කිසිදු කඩුල්ලක් ලබා නොදෙමින් සපුරා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වෙනවා. බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී Jonathan van Lange පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද සහ Aadian Racha පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 17ක් ද ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී විග්නේශ්වරන් ආකාශ් ලකුණු 30කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව චාමික හීනටිගල, රසිත් නිම්සර සහ කවිජ ගමගේ කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 172 (48.0) දිමන්ත මහවිතාන 38, කවිජ ගමගේ 22, චාමික හීනටිගල 36, Jakeem Pollard 2/12, Aadian Racha 3/37, Shaquan Belle 3/43

බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 173 (47.4) Micah Greenidge 40, Earsinho Fontaine 48, Jonathan van Lange නොදැවී 24, විග්නේශ්වරන් ආකාශ් 4/30

 

බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 2ක ජයක්. 

දෙරට අතර පැවැත්වෙන 6 වැනි යොවුන් එක්දින තරගය සැප්තැම්බර් මස 12 වැනිදා Antigua හී ශ්‍රීමත් Vivian Richards ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.   

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<