කොදෙව්වෝ නැවත තරගාවලිය සම කරයි

8
Sri Lanka U 19 Team Tour of West Indies

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 7කින් යුත් යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ 4 වැනි තරගය නිමා වන විට තරග 2-2ක් ලෙසින් සම කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සමත් වුණා.

Antigua Antigu හී Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (07) පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 182ක් ලබා ගත් අතර එම ඉලක්කරා යෑමේ දී වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වෙද්දී කඩුලු 8ක් දැවී ලකුණු 167ක් ලබා සිටියා.

එතැන් සිට තරගය නැවත ආරම්භ කිරීමට අවස්ථාව නොලැබීම හේතුවෙන් එහි දී ගණනය කෙරුණ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත තරගයෙන් කඩුලු 2ක ජයග්‍රහණයක් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් සතු වුණා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පෙර ජයග්‍රාහී කණ්ඩායම ම නම් කර තිබූ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙම තරගයට එක් වූවේ පෙර තරගයේ දී එක් ව සිටි Aadian Racha, Vitel Lawes සහ Jakeem Pollard තිදෙනා වෙනුවට Tyriek Bryan, Shaquan Belle සහ R’jai Gittens එක් කර ගනිමිනුයි.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට එක් වූයේ වෙනස්කම් ද්විත්වයක් සිදු කරමින්. ඒ පුලීශ තිලකරත්න සහ රසිත් නිම්සර වෙනුවට දිමන්ත මහවිතාන සහ කුගදාස් මාතුලන් කණ්ඩායමට එක් කර ගනිමිනුයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ද වෙනස්කම් ද්විත්වයක් සිදු කර තිබූ අතර ඒ අනුව Matthew Miller සහ Pajay Nelson වෙනුවට Isra-el Morton සහ Jakeem Pollard එක් කර තිබුණා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

විමත් දින්සර (නායක), විරාන් චමුදිත, දිමන්ත මහවිතාන, සෙනුජ වැකුණුගොඩ, කවිජ ගමගේ, චාමික හීනටිගල, ආදම් හිල්මි (කඩුලු රකින්නා), රමිරු පෙරේරා, සෙත්මික සෙනෙවිරත්න, කූගදාස් මාතුලන්, විග්නේශ්වරන් ආකාශ්.

බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

Joshua Dorne (නායක), Micah Greenidge (කඩුලු රකින්නා), Zachary Carter, Earsinho Fontaine, Tyriek Bryan, Jonathan Van Lange, Brendan Boodoo, Shaquan Belle, Isra-el Morton, R’jai Gittens, Jakeem Pollard.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු දිමන්ත මහවිතාන. ඔහු පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගන්නවා.

ඊට අමතර ව විරාන් චමුදිත පන්දු 31කට මුහුණ දෙමින් හතරෙ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට ලකුණු 48ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වුණා.

ඔවුන්ට අමතර ව නායක විමත් දින්සර පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ද සහ චාමික හීනටිගල පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Shaquan Belle ලකුණු 35කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Brendan Boodoo සහ Zachary Carter කඩුලු ද්විත්වය බැගින් ද,  Jakeem Pollard සහ Isra-el Morton කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ශ්‍රී ලංකා ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ පළමු 4 ලකුණු 22ක් වෙද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූව ද 5 වැනි කඩුල්ලට ලකුණු 76ක සබඳතාවක් එක් කිරීමට නායක Joshua Dorne සහ Brendan Boodoo සමත් වුණා.

එහි දී Joshua Dorne පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූවා. ඊට අමතර ව Brendan Boodoo පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.

තරගය වර්ෂාව හේතුවෙන් නතර කරද්දී Shaquan Belle පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා සිටියා.

බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ කඩුලු බිඳ දැමීමේ දී සෙත්මික සෙනෙවිරත්න සහ කුගදාස් මාතුලන් කඩුලු ද්විත්වය බැගින් ද, රමිරු පෙරේරා, චාමික හීනටිගල සහ විරාන් චමුදිත කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 182 (39.3) දිමන්ත මහවිතාන 34, විරාන් චමුදිත 24, විමත් දින්සර 22, චාමික හීනටිගල 21, Shaquan Belle 4/35, Zachary Carter 2/34, Brendan Boodoo 01/2

 

බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 167 (34.4) Joshua Dorne 50, Brendan Boodoo 34, Jonathan van Lange 23, Shaquan Belle නොදැවී 41, සෙත්මික සෙනෙවිරත්න 2/22, කුගදාස් මාතුලන් 2/45

බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 2ක ජයක්

දෙරට අතර පැවැත්වෙන 5 වැනි යොවුන් එක්දින තරගය සැප්තැම්බර් මස 09 වැනිදා Antigua හී Coolidge ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<